දුම්වැටිය බෝම්බයකටත් වඩා ජීවිත අළු කරයි

ජුනි 5, 2019

මේ යළිත් බෝම්බ බිය ඉස්මතු වූ කාලයක්. අපේ සිත් බියෙන් දැවී යනවා. එසේ නොවුණත් ගිනි මද්දහනේ ගමන් කරද්දී ගත හිරු එළියේ උණුසුමට දැවෙන්නේ සිත ද අසහනයෙන් දවමින්. සියල්ල අතරේ ලෝක ක්‍රිකට් උණුසුමින් ද දැවෙන්නට අරන්. මේ සියලු දැවීයාම්වලට වඩා අති විශාලම දැවී යාම වන්නේ දුම්වැටියෙන් දැවී යාමයි.

කිහිපදෙනකුගේ මේ නොහොබිනා පුරුද්ද නිසා අප සැම දිනපතාම තුන් ආකාරයකට දැවී යනවා. දුම්වැටිය පානය කරන්නා දුම්වැටිය නිසා දැවී යනවාට (සක්‍රීය දුම්පානය) අමතරව ඔහු අසල සිටින්නා ද ඒ දුම ආඝ්‍රාණය කරනවා. (අක්‍රීය දුම්පානය) දුම් පානය කරන තැනැත්තා අවට ඇති සියලුම ද්‍රව්‍යය ද දුමෙන් නැහැවෙන අතර එසේ තැවරුණු දුම ද අපට ආශ්වාස වෙනවා (තෘතීක දුම්පානය) මේ සියලු දුම්පාන මඟින් සිදුවන්නේ අපේ ජීවිත පෙණහලු පිළිකාවෙන්, ස්වසන රෝගවලින්, හදවත් රෝග, ආඝාතය (ස්ට්‍රොක්) ඇතුළු බෝ නොවන රෝග ගණනාවකින් දැවී අළු වී අකාලයේ මරණයට පත්වීමයි. පිරිමින්ගේ නම් ලිංගික බෙලහීනතාවටත් එය වගකිව යුතුයි.

සක්‍රීය දුම්පානය, අක්‍රීය දුම්පානය, තෘතීක දුම්පානය නිසා වසරකට විශාල ගණනක් රෝහල් ගත වෙනවා. මරණයට ප්‍රධාන වශයෙන් හේතුවන කාරණා අතර පෙරමුණේම දුම්වැටි මාරයා සිටිනවා.දුම්වැටි භාවිත කරන්නන්ගෙන් අඩක් පමණම මිය යන්නේ දුම්වැටි නිසයි. ලොව සිදුවන මරණවලින් වළක්වා ගත හැකි මරණ සඳහා ප්‍රධාන හේතුව දුම්කොළ සහ දුම් කොළයෙන් තැනුණු දුම්වැටියයි.

වසරකට ලෝක ජනගහනයෙන් මිලියන 8 ක් පමණ දුම්කොළ නිසා මිය යනවා. ඉන් මිලියනයක් පමණ දුම්වැටි භාවිත නොකර අක්‍රීය දුම්පානයෙන්, ද්විතියික දුම් පානයෙන්, තෘතීක දුම් පානයෙන් දුම ආඝ්‍රාණය කළ අයයි. එනම් දුම්පානය කරන්නන් අවට සිටි, ඔවුන් ගැවසෙන තැන්වල සිටි අයයි. අප අද අදම ක්‍රියාත්මක නොවුණොත් මේ මරණ ගණන බිලියනයක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

අපේ රට පරංගි ආක්‍රමණය කරන තුරු දුම් කොළය නමැති හලාහල විස අපට ආගන්තුක දෙයක් වී තිබුණා. එහෙත් දැන් දුම්වැටිය ලෙසින් පමණක් නොව බීඩි සහ බුලත් ආදී වෙනත් ක්‍රම මඟින් ද දුම්කොළ මාරයා ශ්‍රී ලාංකිකයන් ගිලගෙන. ලංකාවේ දුම්වැටි නිසා වසරකට විසි දහසකට අධික පිරිසක් මිය යනවා. අපේ රටේ මරණවලින් සියයට හැත්තෑ පහක්ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින්. ඒවා පිටුපස දුම්වැටි මාරයාගේ සෙවනැල්ල ද වැටි තියෙනවා.

ක්ෂණික හානි

දුම්වැටියේ දුම ක්ෂණිකව අහිතකර ප්‍රතිඵල ලබා දෙනවා. මෙමඟින් වහාම ස්වාස නාළිකා ප්‍රදාහයට පත් වෙනවා. ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි වී පෙණහලු ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙනවා.

දුම්පානය කරන්නාට සහ ද්විතියික තෘතීක දුම්පානය කරන්නන්ට දිගුකාලීනව පෙණහලු අවහිරවීමේ රෝගයට (ඛ්ර්‍ණර්‍ථච්), ක්ෂය රෝගයට, ඇදුම වැනි ස්වසන රෝගවලට පෙණහලු පිළිකා ඇතුළු පිළිකාවලට පදනම වැටෙනවා.

 

උපදෙස් - දුම්කොළ සහ මධ්‍යසාර

පිළිබඳ ජාතික අධිකාරියේ වෛද්‍ය

පාලිත අබේකෝන්

මමෝ වෛද්‍ය විශේෂඥ ජයමාල් ද සිල්වා

ශ්වසන රෝග විශේෂඥ සමන් කපිලවංශ

 

2019/06/05 තරුණි බලන්න