දිනකට ගැබ්ගෙල පිළිකා රෝගීන් තිදෙනෙක් හඳුනා ගන්නවා

ජුනි 19, 2019

ගර්භාෂය අප සියලු දෙනාගේම මහගෙදරයි. ලෝකයට ජීවය දෙන මේ මහ ගෙදරම එහි හිමිකාරියට මාරයා ගෙන දෙන ස්ථානය විය හැකියි.

ඒ හියුමන් පැපිලෝමා වෛරසය (එච්පීවී) ශරීරගත වී පිළිකා තත්ත්වය දක්වා දුරදිග යා හැකි නිසයි. හියුමන් පැපිලෝමා වෛරස් ආසාදනය වීම කායික සබඳතා පවත්වන්නන්ගෙන් වැඩි දෙනෙක් ජීවිත කාලයේ වරක් හෝ අත් දකිනවා. එහෙත් සෙම්ප්‍රතිශ්‍යාව ඉබේ සුව වනවාක් මෙන්ම මේ ආසාදනය ද බොහෝ විට ඉබේ සුව වෙනවා. අවාසනාවකට සුළු පිරිසකට මේ ආසාදනය පිළිකාවක් දක්වා දුරදිග යාමට පුළුවන්..

එච්පීවී වෛරසය පැතිරෙන්නේ කවරාකාරයකින් හෝ ලිංගික සබඳතා පවත්වන්නන්ටයි. කිසි දිනක කායික සබඳතාවක් පවත්වා නැති අයට රෝගයට ගොදුරු වීමේ අවදානමක් නැහැ.

වෛරසය ශරීරගත වී ආසාදනය වූ පමණින් බොහෝ කාන්තාවන්ට රෝග ලකුණු පහළ වන්නේ නැහැ.

ආසාදනය පූර්ව පිළිකා තත්ත්වයට පත් වූ පසු ද පිළිකා ලකුණු පහළ නොවන්න පුළුවන්. (එහෙත් පූර්ව පිළිකා තත්ත්වය පැප් පරීක්ෂණයකින් නම් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා) රෝගය උත්සන්න වූ විට රෝග ලක්ෂණ තදබල ලෙසින් පෙන්නුම් කෙරෙනවා. පිළිකා සෛල පැතිරී ඇති අවයව අනුව රෝග ලකුණුවල තදබල බව අඩු වැඩි වන්න පුළුවන්.

ඇති විය හැකි රෝග ලකුණු

* යෝනි මඟින් අසාමාන්‍ය ස්‍රාවයන් පිටවීම (උදා: රුධිරය සහිත ඉතා දුගඳ ස්‍රාව).

* අසාමාන්‍ය ලෙස රුධිරය පිටවීම - ශාරීරික එක්වීමකින් පසු ආර්තව වීම් දෙකක් අතරතුර හෝ සම්පූර්ණ ඔසප් වීම නතර වුණු පසු එනම් ආර්තවහරණයෙන් පසු රුධිරය පිටවීම (රුධිර බිඳුවක් හෝ පිටවීම)

* ශ්‍රෝණි වේදනාව, කොන්දේ වේදනාව

* කායික සම්බන්ධවීමේදී වේදනාවක් දැනීම

* අධික ලෙස හෝ දිගු කලක් ඔසප් වීම

* මුත්‍රා කිරීමේදී අපහසුතාවක් දැනීම

* මුත්‍රා පාලනය කිරීමට ඇති හැකියාව

නැතිවීම

* දිගින් දිගට පවතින වෙහෙස

* හේතුවක් නැතිව කෙට්ටු වීම

* පාදයේ වේදනාව

2019/06/19 තරුණි බලන්න