පාන්දරට ඇයි මේ දාහයක්?

ජුනි 26, 2019

පැහැබර අහස කළුකරමින් ඇදෙන අඳුරු වලා රොදත් සමඟ වැහි බිංදු වැටෙනවා. මේ එළැඹිලා තියෙන්නේ නිරිතදිග මෝසම් කාලෙ නිසා ඒ වැස්සේ නම් අරුමයක් නෑ තමයි.

ඒත් ඉතිං මෙච්චර වහිද්දී පරිසරය සිසිල් වෙන්නෙ නැතුව ඇයි මේ උණුසුමක් දැනෙන්නෙ? කාගෙත් හිතට නැඟෙන්නේ අළුයම දැනෙන දාහයයි.

නිදි පැදුරෙන් ඇස් අරින්නෙ දරාගන්න බැරි දාහය හින්දමයි. මේ හින්දා දැන් උදේ පාන්දරට කාටකාටත් හරිහැටි නින්දක් නැහැ. ගතට වගේම සිතටත් ගෙනෙන්නේ වෙහෙසකාරී බවක්. ඇයි මේ?

කාලගුණ, දේශගුණ විපර්යාස හින්දානේ මේ වගේ දේවල් ඇති වෙන්නේ. ඒ නිසා මේ පැනයට හොඳම විසඳුම සොයන්න අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇමතුවා.

සාමාන්‍ය තත්ත්වයක්

“පළමුවෙන්ම කියන්න තියෙන්නේ එහෙම විශේෂ තත්ත්වයක් ඇතිවෙලා නැහැ කියලයි. පසුගිය අවුරුද්දෙත් මේ කාලෙ මේ විදිහටම තමයි ගෙවුණේ. දැන් කාටත් ඒ බව අමතක වෙලා. ඒ හින්දා ඔබ කිසිසේත්ම බිය විය යුතු නැහැ. බිය වෙන්න ඕනෙත් නැහැ. දැන් නිරිතදිග මෝසම් වැසි කාලය උදාවෙලා තියෙන්නේ. වැස්ස ලැබෙන්නේ අපේ රටේ නිරිතදිග කොටසටයි. පළාත් ලෙසින් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම වැනි පළාත්වලට තද වැසි ලැබෙන කාලයයි. වයඹ පළාතටත් සුළු වර්ෂාපතනයක් ඇතිවිය හැකියි. ඒත් අනෙක් පැතිවලට වියළි කාලගුණයක් වගේම දැඩි වියළිබවක් ඇතිවිය හැකියි.

පසුගිය මාර්තු, අප්‍රේල් මාසවල අපේ රටට දැඩි උෂ්ණත්වයක් බලපෑවා. තවමත් එහි බලපෑම් තියෙනවා. නිරිතදිග පැත්තට වැස්ස නිසා ඒ පැතිවල සිසිල්බවක් රැඳෙනවා. ඒ වගේම නිරිත දිගින් එන සුළං ප්‍රවාහයක් තියෙන නිසා ඒ පැතිවලට සුළං හමා එනවා.ඒ නිසාම සිසිල් බවක් මිසක් දැඩි උණුසුමක් ඇතිවෙන්නේ නැහැ. උදේ කාලයට රස්නයක් දැනෙනවා නම් එයට හේතුවන්නේ ජල වාෂ්ප සමඟ එන සුළං ප්‍රවාහයයි. ඒ නිසා ඒ ගැන බිය විය යුතු නැහැ.

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වලට වර්ෂාව අඩුයි. සුළං ප්‍රවාහය නිරිතදිග කොටස හරහා එන නිසා ඒ පැතිවල උෂ්ණත්වය සමනය වීමක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ පැතිවල උෂ්ණත්වය වැඩි. ත්‍රිකුණාමලය, වව්නියාව වැනි පෙදෙස්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ට වඩා ඉහළ යනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්."

අපේ ක්‍රියාකාරකම්

අපේම ක්‍රියාකාරකම් නිසා පරිසරය වෙනස්වෙලා. කාලගුණය, දේශගුණය වෙනස්වෙලා. ගහක් කොළක් නැහැ. තියෙන ගස්කොළන් ටිකත් ඉවක්බවක් නැතුව කපාදානවා. කැලෑ ගිනි තියනවා. කොන්ක්‍රීට් පුරවරයකට වෙලා ඉන්නකොට රස්නය දරාගන්න බැරිවුණාමයි ගහක කොළක සිසිලස මතක්වෙලා එහි අරුමය තේරෙන්නේ. ගහකොළ කපාදානවා වගේම බිම තියෙන තණකොළ ටික ගලවලා බිමත් කොන්ක්‍රීට් කරනවා. පොළොවෙන් එන සිසිල් බවත් ඒ විදිහට නැතිකර ගන්නවා. විවිධ විස වායුවලින් අපේ වායුගෝලය පිරිලා. ඒ හින්දා වායුගෝලයත් නිතරම උණුසුම්. ප්ලාස්ටික්, ඉටි කොළ හා වෙනත් අපද්‍රව්‍ය දමා ජල සම්පතත් දූෂණය කරනවා. මේ විදිහට අපි අපිම කරගත්ත දේවල්වල අනිසි ප්‍රතිඵල විදිහට තමයි අද දවසේ මේ සියලු වෙනස්කම්වලට මඟ පෑදිලා තියෙන්නේ. අපිට මේ තරම් අපහසුතා විඳින්න වෙලා තියෙන්නේ. ඒ නිසා නිසි කලට වැසි ලැබෙනවා වෙනුවට දරාගන්න බැරි රස්නයක් ඇති වෙන්නේ. ඒ නිසා ඔබේ නිවෙස අවට ගස් කොළන් කපා දමනවා වෙනුවට ගහක් කොළක් සිටුවා පරිසරය ස්වාභාවිකව සිසිල් කරගන්න වෙහෙසෙන්න. පරිසරය දූෂණය වෙන කිසිම දෙයක් ඔබ අතින් නොවන්න වගබලා ගන්න. එහෙම කළොත් මේ විදිහට රස්නයක් දැනෙන එකක් නැහැ.

ඇඟට අපහසු නම්

අධික දාහයක් දැනෙනවා නම් වැඩිපුර ජලය පානය කරන්න. සැර අව්වේ ගමන්බිමන් යන්න එපා. දිවා කාලයේ එළිමහනට යනවා නම් කුඩයක් රැගෙන යන්න. විශේෂයෙන්ම ඉර මුදුන්වෙන වෙලාවට එළිමහනට නොයා ඉන්න. උණු ජලය වෙනුවට සිසිල්කරගත් ජලය පානය කරන්න. දිනපතා ඇල් ජලයෙන් නාන්න. ඇඟ සෝදන්න. රාත්‍රීයටත් දහදිය දමනවා නම් ඇඟ සෝදගන්න පුළුවන්. ඒත් වඩාත් වැඩි අපහසුතා දානෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

2019/06/26 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.