හදිසි අනතුරක දී රෝගියා නිවැරැදිව එසවීමේ වැදගත්කම

අගෝස්තු 14, 2019

හදිසි අනතුරකට මුහුණු දුන් පුද්ගලයකු දුටු විගස ඕනෑම කෙනකු උනන්දු වන්නේ හැකි ඉක්මනින් එම තැනැත්තා රෝහල වෙත රැගෙන යාමටයි. ඒ තත්පරයක පමාවකින් වුව ජීවිතයක් අහිමි වී යා හැකි බැවිනි.

එවැනි අවස්ථාවක ක්ෂණිකව ක්‍රියාත්මක වීම තුළින් අනතුරට ලක්වූ තැනැත්තාගේ ජීවිත අවදානම වළක්වා ගතහැකිය. ඇතැම් විට රෝහලකට රැගෙන යාමට ප්‍රමාද වුවහොත් වෛද්‍යවරයකුට වුව එම තැනැත්තාගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වනු ඇත.

මෙලෙස ක්ෂණිකව ක්‍රියාත්මක වී රෝහල් ගතකිරීම අත්‍යවශ්‍ය නමුදු සුදුසු වාහනයක, අනතුරේ ස්වභාවය තවත් බරපතළ නොවන ආකාරයට සිදුකිරීම වඩාත් වැදගත් වේ. මන්ද ඇතැම්විට රෝගියා ඔසවා ඇති ආකාරය අනුව රෝගියාගේ ජීවිතය බේරාගැනීම අසීරු වූ අවස්ථා අසන්නට ලැබේ. එබැවින් රෝගී පුද්ගලයකු ඔසවා ගන්නා ආකාරය මෙන්ම ඔහු රෝහල වෙත ක්‍රමවත්ව රැගෙන යන ආකාරයත් අපි දැනුවත් විය යුතුමයි. සාමාන්‍යයෙන් රෝගියකු ඔසවන විට ඔහුගේ හිස, ගෙල, කඳ ඍජුව තබාගෙන ඔසවා ගැනීමට ඔබ වගබලාගත යුතුය. විශේෂයෙන්ම සිහිසුන් වූ රෝගීන් මෙන්ම ඉතාමත් අවදානම් තත්ත්වයේ පසුවන රෝගීන් සැමවිටම හිස, ගෙල, කඳ යන කොටස් ඍජුව සිටින ආකාරයට ඔසවන්නට, එහාමෙහා කරන්නට තරයේ මතක තබාගත යුතුය.

මෙහිදී හිස, ගෙලත් සමඟ එක් පුද්ගලයකු අල්ලාගන්න. අනතුරුව ඔබට හැකිනම් පපුව ප්‍රදේශයෙන් තවත් පුද්ගලයකුත්, කලවා ප්‍රදේශයෙන් තවත් අයෙකුත් වශයෙන් වාඩිවී දණ ගසාගන්න. මෙහිදී දකුණු කකුල නමා දණගසා 1,2,3 යැයි පවසා සියලුදෙනාම එකවර රෝගියා දණහිස දක්වා ඔසවන්න. ඉන්පසුව නැවතත් 1,2,3 යැයි පවසා නමාගත් අනෙක් කකුල ද දිගහැර රෝගියා පපුවට හේත්තු වන ආකාරයට ගෙන තුන්දෙනා විසින්ම රෝගියා රැගෙන යන්න.

එසේ නොමැති නම් හිස ප්‍රදේශයට එක් අයකු, පපුව දෙපසට දෙදෙනකු, කලවා දෙපසට දෙදෙනකු වශයෙන් එකතු වී රෝගියාගේ ශරීරයට යටින් අත් දමා පතුරක් ලෙසින් දෑත් සකසාගන්න. ඉන්පසුව 1,2 භන යනුවෙන් පවසා දණහිස දක්වා ඔසවා 1,2 භන යැයි ඉහළට ඔසවා රැගෙන යන්න.

මෙලෙස ඔසවාගත් රෝගියා ඔබ රෝහල වෙත රැගෙන යායුත්තේ සුදුසු වාහනයකයි. එනම් ගිලන් රථයක් හෝ රෝගියා පහසුවෙන් දිගහැර රැගෙන යාමට හැකියාව සහිත රථයකිනි. එමඟින් රෝගියාට තවත් හානිවීම වළක්වා ගත හැකිවේවි.

 

උපදෙස් කොළඹ ජාතික රෝහලේ

ජාතික පුහුණු කිරීමේ

හෙද නිලධාරිනී

පුෂ්පා රම්‍යානි සොයිසා