එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇතිවන වේදනාව ඉවසන්නම බෑ

අගෝස්තු 14, 2019

වයස අවුරුදු දහයේ සිට එළඹෙන්නේ දියණියගේ නව යොවුන් වියයි. (ගැටවර වියයි). මේ වයස හරියට පූදින්න අර අඳින රෝස කැකුළක් වගේ සුන්දරයි. මල්වර වීමත් සමඟ දෝණිගේ සැහැල්ලු බව සුන්දරත්වය මාසයේ දින කිහිපයකදී අතුරුදන් වෙනවා.

ඒ ඔසප් වීමේදී ඇතිවන වේදනාව නිසයි. උසුලා ගත හැකි වේදනාවක් මේ කාලයේදී ඇතිවීම සාමාන්‍යයි. ඒත් ඉවසන්න බැරි තරම්, බිම පෙරළි පෙරළි ඉන්න හිතෙන තරම් වේදනාව බරපතළ නම් එය සාමාන්‍ය යැයි සිතා නොසලකා සිටීම නම් නොකළ යුතුමයි.

බොහෝ විට ඉවසීමට නොහැකි වේදනාවට හේතුව වන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් නම් තත්ත්වයයි. කාන්තාවන් දහ දෙනකුගෙන් එක් අයෙක් මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා.

ගර්භාෂය ආස්තරණය කරන පටක සාමාන්‍යයෙන් ශරීරයේ වෙනත් තැන්වල දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් සමහර තරුණියන්ගේ, කාන්තාවන්ගේ ගර්භාෂ පටක විවිධ හේතූන් නිසා ගර්භාෂයෙන් පිටත වෙනත් තැන්වල රෝපණය වෙනවා. කාන්තාවන්ගේ ලිංගික හෝර්මෝන වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්වලට මේ ගර්භාෂ පටක ප්‍රතිචාර දක්වනවා. මාස් ශුද්ධියේදී ගර්භාෂයේ ආස්තරණය බිඳ වැටෙද්දී ඒ සමඟම මේ ගර්භාෂයෙන් පිටත තැන්පත් වූණු පටකවලින් ද රුධිරය පිට වෙනවා. මේ රුධිරය යෝනි මඟින් සිරුරින් පිටතට බැහැර වන්නේ නැහැ. ඔසප් වෙන වාරයක් ගණනේ මෙසේ රුධිරය ශ්‍රෝණියේ එකතු වී ප්‍රදාහයක් ඇති වෙනවා.

ප්‍රදාහයන් නිසා උග්‍ර වේදනාවක් ඇති වෙනවා. ප්‍රදාහයන් සුව වුවත් කලක් යන විට කැළැල් වූ පටක ඉතිරි වෙනවා. මේ කැළැල් වූ පටක කෙඳි සහිතයි. උදර කුහරය තුළ මේවායින් ආස්තරණ පටලයක් සෑදෙන අතර ඒ පටලයෙන් ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල, අන්ත්‍ර එකට බැඳෙනවා. ඔසප් වීම මාසයෙන් මාසයට මහත්ම වේදනාකාරී තත්ත්වයක් බවට පත් වෙනවා. එපමණක් නොව මඳසරු භාවයටත් එන්ඩොමෙට්‍රියෝසිස් හේතු වෙනවා.

ගර්භාෂ ආස්තරණ පටක ගර්භාෂයෙන් පිටත වැඩිපුරම තැන්පත් වෙන්නේ ශ්‍රෝණි කුහරේයි. පැලෝපීය නාල මත, ඩිම්බ කෝෂ මත, ගර්භාෂයෙන් පිටත වගේම අන්ත්‍ර, වකුගඩු වැනි තැන්වල ද ගර්භාෂ ආස්තරණ පටක තැන්පත් වෙන්න පුළුවන්.

එන්ඩොමෙට්‍රියෝසිස් ලකුණු

අතිශය වේදනාකාරී ඔසප්වීමට අමතරව තවත් ලක්ෂණ ගණනාවක්ම මේ තත්ත්වය නිසා ඇති වෙනවා. * කායික සබඳතා පැවැත්වීමේදී උග්‍ර වේදනාව, * ශ්‍රෝණි පෙදෙසේ වේදනාව, * තුනටියේ හා කලවා පෙදෙසේ වේදනාව, * මල මුත්‍ර පිට කිරීමේදී වේදනාව, * ඔක්කාරය, * වෙහෙස, * පූර්ව ඔසප් ලකුණු ඇතිවීම.

(කාංසාව, ආතතිය, නොසන්සුන්තාව වැනි මානසික වෙනස්වීම්, වෙහෙස, නිදා ගැනීමේ ගැටලු, උදර වේදනාව, මල බුරුලට යාම, පියයුරු මෘදු වීම, සංවේදී වීම, හිසරදය වැනි ලකුණු පූර්ව ඔසප් ලකුණුයි. මේවා ඔසප්වීමට පෙර හට ගන්නවා.) * ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවීම, * ඔසප් වීම් අතර රුධිරය පිටවීම,

බලපාන හේතු

කරදරකාරී එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වයට හේතු ගණනාවක් බලපානවා.

* ඔසප් රුධිරය සමඟ ගර්භාෂ සෛල පිට නොවී ආපසු පැලෝපීය නාලවලට ගමන් කර ශ්‍රෝණි කුහරය තුළට යාම. මෙසේ ගිය ගර්භාෂ පටක ශ්‍රෝණි බිත්තිවල ඇලී ශ්‍රෝණි අවයව මත ඇලෙනවා. ඒ වැඩී ඝන බවට පත් වී ඔසප් වන විට රුධිරය පිට වන්නට ගන්නවා.

 

උපදෙස් - ලංකා එන්ඩොමෙට්‍රියෝසිස් සංගමයේ මහාචාර්ය හේමන්ත සේනානායක නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥවරුන් වන වෛද්‍ය මධුර ජයවර්ධන, ප්‍රබෝදන රණවීර ශල්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික සිල්වා පැවැත් වූ දෙසුම් ඇසුරිනි.

 

2019/08/14 තරුණි බලන්න