දතට අනතුරක් වුණොත් මොකද කරන්නේ?

අගෝස්තු 21, 2019

ඟකාර ළමා වියේදීත් වඩාත් ක්‍රියාශීලී තරුණ වයසේදීත් දත්වලට වැඩිපුර අනතුරු සිදු වෙයි. පසුගිය වසර 10 – 20 දී මාර්ග අනතුරු සීඝ්‍රයෙන් වැඩි වී ඇති අතර ඒ සමඟ දත්වලට සිදුවන අනතුරු සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.

සීට් බෙල්ට් පැලඳීමෙන් ජීවිතයට මෙන්ම දතට වන අනතුරු බොහොමයක් වළක්වා ගත හැකි නමුත් අවාසනාවකට ඒ ආරක්ෂක පිළිවෙත වැඩි දෙනෙක් අනුගමනය නොකරති.

මුහුණට අනතුරක් සිදුවිය හැකි ක්‍රීඩාවක හෝ කාර්යයක නිරත වෙනවා නම් මුඛ ආවරණයක් (මවුත් ගාඩ්) පලඳින්න. මුඛ ආවරණ මඟින් දත්වලට එල්ලවන කම්පනය දරමින් සිදු විය හැකි හානිය වළක්වයි.

යතුරු පැදිවලින් ගමන් කිරීමේදී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හෙල්මටයක් පැලඳීම වැදගත්ය.

ජීවත්වීමට ආහාර ගත්ත ද, ආහාර ගැනීමට ජීවත් වුව ද ආහාර සමඟ අනිවාර්යයෙන් සබැඳි තවත් වටිනා දෙයක් තිබේ. ඒ අපේ දත් දෙපෙළයි. බත් ඇටයේ සිට සියලුම ආහාර සැපීමට උපකාරී වන්නේ දත් තිස් දෙකයි. එක් දතක් හෝ අඩු වුවහොත් ඒ අඩුව ආහාර සැපීමේදී හොඳින්ම දැනෙයි.

ජීර්ණයේ මූලික කර්තව්‍ය සිදු කිරීමේදී වටිනා කාර්යභාරයක් සිදු කළ ද දතෙහි අගය දැනෙන්නේ එය අහිමි වූ විටය.

සොබා දම මියෙන තුරු සුරැකෙන දත් දෙපෙළක් අපට ලබා දුන් නමුත් අපේම වැරැදි සෞඛ්‍ය පුරුදු නිසා සුදෝ සුදු මුතුවන් දත් එකින් එක අහිමි කර ගනී. වැරැදි සෞඛ්‍ය පුරුදු පමණක් නොව හදිසි අනතුරු ද අවාසනාවන්ත ලෙස අපට දත් අහිමි කරයි.

 දොස්තරගෙ වැඩ කරන කොන්දොස්තරලා

දතකට / දත්වලට අනතුරක් සිදු වුණොත් වැඩි දෙනෙක් තමන්ම වෛද්‍යවරයාගේ කාර්ය කිරීමට යයි. හිතුමතයට ප්‍රතිකාර කර ගනී.ඕනෑම අනතුරක් සිදු වූ විට තමන්ම ප්‍රතිකර්ම කිරීමට නොයා වහාම වෛද්‍ය ප්‍රතිකාර පතා යොමු විය යුතුය. ළඟම ඇති රෝහලට යාම ඕනෑම කෙනකුට පහසුවෙන් කළ හැක්කකි.

 බාහිරින් මනින්න එපා

ඇතැම් විට පිටින් බැලූ විට දතට කිසිදු අනතුරක් සිදු වී ඇති බවක් නොපෙනෙයි. දතේ පළුදුවීමක් සෙලවිමක් ද නැත. එහෙත් දත / දත් වැදුණු වේගය අනුව, වැදුණු තැන අනුව දතට / දත්වලට වන හානිය වෙනස් වෙයි. වේගයෙන් දැඩි තැනකට වැදුණොත් දතේ / දත්වල ස්නායු මිය යයි. දත් මුල් දිය වී යයි. අවර්ණ / දුර්වර්ණ වෙයි.

 දිගුකාලීනව පරීක්ෂා කළ යුතුයි

මේ ඉතා සියුම් පරීක්ෂාවක් නිසා දිගින් දිගටම රෝගියා එක්ස් කිරණ පරීක්ෂණවලට ලක් කරයි. මාස 3, මාස 6, අවුරුද්ද ආදී වශයෙන් දිගින් දිගටම පරීක්ෂා කරයි. ඇතැම් විට වසර විස්සක් වැනි දිගු කලක් ගියාට පසුවත් සංකූලතා මතුවීමට පුළුවන. වෛද්‍ය උපදෙස් පිළිපදිමින් පරීක්ෂාවට ලක්වෙන විට දත / දත් මියයාමේ අවදානමක් පැන නොනඟියි.

 දත කැඩිලා නම් . . .

දතක කොටසක් කැඩිලා නම් වෛද්‍යවරයා දතේ ස්නායුව නිරාවරණය වී ඇත් ද නැත් ද බලයි. මෙවැනි විටෙක දතේ කැඩුණු කොටස වෛද්‍යවරයා වෙත රැගෙන යාම ඉතා වැදගත්ය. කැඩුණු දත් කොටස තිබූ අයුරින්ම සවි කිරීමට හැකි නවීන වෛද්‍ය තාක්ෂණික ප්‍රතිකර්ම තිබේ.

අලුතින් කෘත්‍රිමව දත් කොටසක් සම්බන්ධ කිරීමට වඩා දතේම කොටස සවි කිරීමෙන් තිබූ ලස්සන පෙනුම නැවත ලබාගත හැකියි. තිබූ දත් කොටස සවි කිරීම වෛද්‍යවරුන්ට ද පහසු කටයුත්තකි.

 කැඩුණු කොටස නැවත කැඩීමේ අවදානමක්

කැඩුණු දත් කොටස කැඩුණු බවක් නොපෙනෙන ලෙස සවි කළ ද යළි ඒ දත් කොටස වැදුණොත් සම්බන්ධ කළ තැනින් ගැල වී යාමට වැඩි ඉඩක් පවතින බව අමතක නොකරන්න. එවැන්නක් සිදු වුවහොත් වහාම කැඩුණු දත් කොටස සමඟ වෛද්‍ය ප්‍රතිකාර පතා යොමු විය යුතුය.

 දත හෙල්ලෙනවා නම් . . .

දතේ කොටසක් නොකැඩී ඇතැම් විට දත / දත් සෙලවීමට පමණක් ඉඩ තිබේ. එය ද ප්‍රතිකාර පැතිය යුතු තත්ත්වයකි.

දතක් දිගටම සෙල වුණොත් දත මියයාමේ දත් මුල දියවීමේ අවදානම වැඩියි. අනතුර වූ සැණින් ප්‍රතිකාර පතා යොමු වීමෙන් සෙලවෙන දත ස්ථිරව සවි කිරිමට පුළුවන. සෙලවෙන දත අනෙක් නීරෝගි දත්වලට සම්බන්ධ කිරීමෙන් (ස්පිලින්ට් මඟින්) සෙලවීම වළක්වා ස්ථිරව සවිවීමට මඟ පාදයි. මේ සම්බන්ධ කිරීම සති දෙකක් තබා ඉවත් කරයි. ඒ වන විට දන්ත මූලය අස්ථි සන්ධියටම සවි වී අවසන්ය. සමහර අනතුරුවලින් දත එළියට ඇදීමට මෙන්ම දන්ත අස්ථිය තුළට කිඳා බැසීමට ද පුළුවන. මේ සියල්ලම වෛද්‍ය තාක්ෂණයෙන් නිවැරැදි කළ හැකිය.

ප්‍රතිකාර පමා කිරීමෙන් තුවාල වියළී වඩාත් හොඳින් පිළියම් කළ නොහැකි තත්ත්වයට පත් වෙයි. ඇතැම් විට කවරාකාරයකින් හෝ පිළියම් කළ නොහැකි තත්ත්වයටම පත් වෙයි. සිදු වූ හානිය දෙගුණ තෙගුණ වීමටත් ප්‍රමාදය හේතු වෙයි.

 කැඩුණු දතක් රැගෙන යාම

කුඩා දරුවකුගේ දතක් කැඩුණොත් පිටිකිරි හෝ තැඹිලි වතුර ස්වල්පයක කැඩුණු දත් කොටස දමා වහාම ළඟම රෝහලට යන්න. (සේලයින් වතුරේ ද දැමිය හැකියි). පැයක් ඇතුළත රැගෙන යාම ඉතා වැදගත්ය. දත ඇල්ලීමේදී දන්ත මූලයෙන් ඇල්ලීමෙන් වැළකී සිටින්න. දත අපිරිසුදු තැනකට වැටුණා නම් අගිස්ස ගලා යන ජලයෙන් සෝදන්න. දත තිබූ තැනම සවි කර තද කරගෙන රෝහලකට යන්න.

වැඩිහිටියකුට නම් කැඩුණු දත මුව තුළ කෙළවල ගිල්වා ගෙන ප්‍රතිකාර පතා වහා රෝහලකට යා හැකිය. කැඩුණු දත රැගෙන යාම වගේම කැඩුණු දත රැගෙන යන මාධ්‍ය ද ඉතා වැදගත්ය. දතේ සෛල මිය නොයා තැබිය හැක්කේ පිටි කිරි හෝ තැඹිලි වතුරේ දමා රැගෙන ගිය විටයි.

 

උපදෙස් - දන්ත සංරක්ෂණ

විශේෂඥ වෛද්‍ය

සිරිමෙවන් සමරකෝන්