හෝර්මෝන සමතුලිතතාව

සැප්තැම්බර් 4, 2019

 

නීරෝගි බවට හරිම වැදගත්

 

 

ගැහැනු පිරිමි බවේ ගති ලක්ෂණවල ප්‍රධාන තීරකයකු වන්නේ හෝර්මෝනය. හෝර්මෝන ගැන එතරම් නොසිතුව ද සිරුරේ සමබරතාව වගේම හෝර්මෝනවල සමබරතාව ද නීරෝගි දිවි පැවැත්මකට වැදගත්ය.

හෝර්මෝන සිරුරේ රසායනික පණිවුඩකරුවන්ය. ඒවා අපේ රුධිර ධාරාවට ගොස් පටක, අවයව කරා ගමන් කර ඒවායේ නිසි කි‍්‍රයාකාරිත්වයට මඟ පාදයි. මෙසේ ක්‍රියාත්මක වන හෝර්මෝන සිරුරේ විවිධ කාර්ය භාරයන්ට අත්‍යවශ්‍යය.

* වර්ධනය

* පරිවෘත්තිය (අප ගන්නා ආහාරවලින් ශක්තිය

ලැබෙන්නේ පරිවෘත්තියෙනි)

* ලිංගික ක්‍රියාකාරිත්වයන්

* මානසිකත්වය, ඒ ක්‍රියාකාරිත්වයන් අතරින් ප්‍රධාන වෙයි.

හෝර්මෝන අසමතුලිත වූ විට දියවැඩියාව, බර වැඩි වීම හෝ බර අඩු වීම, මඳ සරු බව, අස්ථි දුබලවීම වැනි බොහෝ ගැටලු ඇති වෙයි. ප්‍රතිඔක්සිකාරකවලින් පිරි ආහාර නොගැනීම, ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, දිනපතා ව්‍යායාම නොකිරීම, ආතතිය, සුවදායක නින්දක් නොලැබීම හෝර්මෝන අසමතුලිතතාව ඇති කරන කරුණු අතරින් ප්‍රධාන වෙයි.

කාන්තාවන්ගේ හිසකෙස්වල ස්වභාවයට, කට හඬට, සමේ ස්වභාවයට ඊස්ට්‍රජන් හෝර්මෝනය බලපායි. පිරිමින්ගේ කෙස්, කටහඬ සහ සමට බලපාන්නේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනයයි.

හිසකේ ගැල වී යන්නේ නම් වියළි නම්, රළු නම් ඒ හෝර්මෝන මට්ටමේ යම් ගැටලුවක් නිසා විය හැකියි.

කාන්තා සිරුරෙන් මෙන්ම පිරිමි සිරුරෙන් ද එකම හෝර්මෝන වර්ග නිපදවෙන අතර ඇත්තේ නිපදවෙන හෝර්මෝන මට්ටම්වල වෙනස පමණි. තයිරොයිඩ් හෝර්මෝනය වන කෝටිසෝල් සහ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටොස්ටෙරෝන් ලිංගික හෝර්මෝන ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම සිරුරුවලින් නිපද වෙයි. දෙපිරිසගේම යහපත් සෞඛ්‍යයට මේ හෝර්මෝන එක ලෙස වැදගත්ය.

කෝටිසෝල් හොර්මෝනය වැඩි වූ විට ආතතිය වැඩි වෙයි. ආතතිය වැඩි වීම සෞඛ්‍යයට බලපායි. ක්ෂණිකව බර වැඩි වීම, සමේ පැහැපත් ස්වභාවය අහිමි වීම, හිසකේ කැඩී යාම, මංසපේශි දුබල වීම වැනි ලකුණු ඇති වන්නේ කෝටිසෝල් හෝර්මෝනය වැඩි වු විටය. ඊස්ට්‍රජන් හෝර්මෝනයේ අසමතුලිතතාව කාන්තාවන්ගේ මානසිකත්වය වෙනස්වීම කෙරෙහි බලපායි. කතුන්ගේ ඔසප් චක්‍රයට, ලිංගික ආසාවන්ට, ශක්තියට ඊස්ට්‍රජන් මට්ටම බලපායි.

සමහර දිනවල ඇතිවන උදාසීන බවට කුමක් හෝ රෝගී තත්ත්වයක් ගැන වැඩි දෙනෙක් සැක කළ ද එයට වගකිව යුත්තේ හෝර්මෝන මට්ටමේ වෙනසක් වීමට පුළුවන.

* ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝන සහ

අපේ පිරිමි පක්ෂය

පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඔවුනගේ ලිංගික ආසාවන්ට, කෑම රුචියට, ගැඹුරු හඬට, රැවුල ආදි මුහුණේ රෝමවලට බලපායි. එපමණක් නොව ශක්තියට සහ ශුක්‍රාණු

නිෂ්පාදනයට ද ටෙස්ටොස්ටෙරෝන් නැතිවම බැරිය. පිරිමින්ට ඊස්ට්‍රජන් හෝර්මෝනය අඩු මට්ටමකින් පවතී. වයසත් සමඟ ටෙස්ටොස්ටෙරෝන් හෙවත් පිරිමි හෝර්මෝන මට්ටම පහළ බසින්නට ගනී. ඊස්ට්‍රජන් මට්ටම ඉහළ නඟින්න ගනී. එහි ප්‍රතිඵල ලෙස වෙහෙස දැනීම, ශක්තිය අඩු වීම, පුරස්ථ ග්‍රන්ථියේ, හෘදයේ ගැටලු ඇතිවීම වැනි අර්බුද රැසක් ඇති වෙයි. පියයුරුවල ද මේද තැන්පත් වීමට ගනී.

පිරිමින්ගේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම ගැහැනුන්ට වඩා අඩුය. එහෙත් දෙපිරිසේම මානසිකත්වයට, ජවයට, සුව නින්දකට, චර්යාවන්ට, මේද නිසි ලෙස බෙදා හැරීමට හෝර්මෝනය බලපායි.

 

2019/09/04 තරුණි බලන්න

 

උපදෙස්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

දිමුතු ධර්මවර්ධන