අම්මගෙ කට හඬ ගීයකට වඩා මිහිරියි

සැප්තැම්බර් 18, 2019

 

* මුල් කාලයේ බබාගේ ඇඟෙන් සියයට පනහක්ම තියෙන්නෙ ඔළුව කොටස.

* අන්තිම මාස තුන වෙද්දී ගර්භාෂය පෙයාර්ස් ගෙඩියක හැඩය ගන්නවා. උඩින් ලොකුයි, පහළින් කුඩයි. සති 37 දී බබාලා සියයට 97 කගේම හිස පහළට හැරිලා.

* බබා දඟලන්නේ සති 9 විතර ඉඳන්. සති 12 දී වටයක් කැරකෙනවා වගේ කරනම් ගහන්නත් පුළුවන්. පෙකණිවැල පටලවා ගෙන සෙල්ලම් කරනවා. අංශක 180 ට, 360 ට කරනම් ගහනවා.

* අම්මයි මාවයි සම්බන්ධ කරන පෙකණි වැල අඟල් 20 ක් දිගයි.

* අම්මගෙයි බබයි ආදරණීය බැඳීමේ පාලම කුස තුළදීම වචනවලින් ගොඩ නැඟෙනවා. අන්තිම මාස වෙද්දි බබා අම්මගෙ වගේම තාත්තගෙත් කට හඬ අඳුනනවා. මේ කාලෙදි නිතරම බබා එක්ක කතා කරන්න.

* කුසෙහි වැඩෙද්දී දරු පැටියා ඈනුම් අරිනවා. අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණවලින් මේ ඈනුම් ඇරීම හොඳින් පෙන්නුම් කරනවා. ඉක්කා වැටෙන්නේ ඉපදුණාට පසුව නෙවෙයි. එහෙත් මේ ඉක්කා වැටීම් සොයා ගැනීමට බැරි තරම් සියුම්. ඉක්කාව හොඳින් දැක බලා ගැනීමට පුළුවන් ගර්භණී සමයේ අවසාන කාල පරිච්ඡේදයේදියි. ඒත් ගොඩක් අම්මලාට දරුවා ඉක්කා ගසනවා දැනෙන්නේ නැහැ.

 

සති විසි අට උදා වෙන්නෙ අම්මගෙ දෝතට පැනලා ළමැදට උණුසුම් වෙන්න තියෙන ආසාව තව තවත් වැඩි කරමින්. මං දැන් අම්මගෙ කිරි සුවඳ හිතින් විඳිනවා. ඇසට නොපෙනෙන අබ ඇටයක් තරම් කුඩාවට පටන් ගත්ත මගේ ගමනේ කෙළවරට ඇවිත්. අන්තිම මාස තුන නැත්නම් ගර්භණී භාවයේ අවසන් කාර්තුව උදාවෙලා.

 

මේ දවස්වල අම්මට රෑට ඒතරම් නින්ද යන්නෙ නෑ වගේ. රෑ මැදියමට ඇහැරිලා පොතක් කියවනවා. උණුසුම් තේ කෝප්පයක් බොනවා. මිහිරි සෞම්‍ය සංගීතයකට සවන් දෙනවා. ආයෙත් ඇඳට ගිහින් නිදාගන්න උත්සාහ කරනවා. පුදුමයක් නෙවෙයි. මං ඉක්මනට උස් මහත් වෙන නිසා අම්මට අමාරු ඇතිනෙ.

සති විසි අට වෙද්දි මගේ ඇස් පියන් බාගෙට අරින්න පුළුවන්. ඇස් පිහාටුත් වැඩිලා. ශරීර උෂ්ණත්වය පාලනය වෙනවා. රටාවකට හුස්ම ගන්නත් පුළුවන්. දැන් මගේ ප්‍රමාණය වම්බටු ගෙඩියක් තරම්. අඟල් 10 ක් විතර දිගයි. බර රාත්තල් 2.2 ක් (ග්‍රෑම් 1000 ක්) විතර වෙනවා.

මං එච්චර දඟ නොකළත් දවසින් දවස ලොකු වෙන නිසා අම්මට පොඩි පොඩි ප්‍රශ්න ගොඩයි. හරි නින්දක් නැතිව අම්මට හිසේ කැක්කුම හැදෙන දවසුත් තියෙනවා. අම්මගෙ උදර ප්‍රදේශය තුනීවෙලා ඇදිලා සංවේදී වෙලා නිසා නිතර උදරය හෙමින් පිරිමදිනවා දැනෙනවා. මට ඇහුණා වෛද්‍යතුමා හොඳට වතුර බොන්න කියලා අම්මට උපදෙස් දෙනවා.

මගේ දඟකාරකම් අඩු වෙලාවට මිහිරි සංගීතයක් අහන්න නැත්නම් උදරය පිරිමදිමින් තාත්තත් එක්ක එකතුවෙලා මට කතා කරන්න. මගෙන් ප්‍රතිචාර ලැබේවි.

පයින් ගැහීම, දිගැදීම, බදා ගැනීම වගේ පුංචි පුංචි චණ්ඩිකම්වල ලොකු අඩුවක් නෑ. සති තිහේදි ඇස් ඇරලා බලනවා. හිසකෙස් හොඳට වැඩිලා නිසා මුණට ලස්සනක් එකතු වෙලා. දැන් මගේ ඇට මිදුලුවල රතු සෛල හැදෙන්න අරගෙන. සති තිහකට පස්සෙ තව සති 10 යි ගෙවන්න තියෙන්නෙ. මේ වෙන කොට බර රාත්තල් තුනකට කිට්ටුයි.

සති 31 දි මිනිස් පැටියකුගෙ පෙනුම සම්පූර්ණයෙන්ම වගේ ලැබිලා. මේ කාලෙදි මගේ බර බලන් ඉන්නකොට වැඩි වෙනවා.

කකුල්වල නියපොතු හැදෙන්නත් සති 32 දි මුල පිරිලා. ඇඟ පුරාම තිබුණු සිනිදු රීම හැළෙන්න ගත්තා. දැන් මගේ බර රාත්තල් තුනකට කිට්ටුයි.

සති තිස් තුනක් වෙද්දි ආලෝකයට මගේ ඇහැ ගොඩක් සංවේදීයි. තවමත් හිස් කබලේ අස්ථි මෘදුයි. නැමෙනසුලුයි. ඒත් අනිත් තැන්වල අස්ථි ඝන වෙලා.

සති තිස් හතරෙදි අතේ ඇඟිලි අග නියපොතු හැදෙන්න අරන්. දැන් නම් අඩිකෝදුවක් විතර දිගයි. (අඟල් 12 / මිලිමීටර් 300). බර රාත්තල් 4 1/2 ක් (ග්‍රෑම් 2,100 ක්).

රෝස මල් පෙත්තක් වගේ හම රෝස පාට වෙන්නෙ, සිනිදු වෙන්නෙ සති 35 ක් විතර වෙද්දියි. දෑත් දෙපා රවුම් වෙලා හුරුබුහුටි පෙනුමක් ලැබිලා.

මං දැන් කොච්චර උස් මහත් වෙලා ද කිව්වොත් සති තිස් හයේදි අම්මගෙ මහ ගෙදර සම්පූර්ණයෙන්ම මගෙන් වැහිලා. වෙනදා අම්මට මාව දැනෙන්න නිතර පයින් ගැහුවත් දැන් ඒකටවත් ඉඩක් නැහැ. ඒත් එහෙම කියලා මගේ දැඟලිල්ලේ, පෙරළිල්ලේ, දිගැදීමේ අඩුවක් වෙලා නෑ. සති තිස් හයේදී කඳුළු ග්‍රන්ථි හැදිලා. ඒත් කඳුළු නිපද වෙන්නෙ ඉපදිලා සති කීපයක් ගිහිල්ලා. ඇඬුවට මගේ ඇස්වල කඳුළු නෑ.

ඇඟ පුරාම බැලූ බැලූ අත රුධිර නාල විනිවිද පේනවා. සමේ වර්ණක හැදෙන්න අරගත්තා විතරයි. හැම බබාලම මුලින් සුදු පාටයි. වර්ණක ව්‍යාප්ත වුණාමයි මට ආවේණික පාට ලැබෙන්නෙ. අම්මා සුදුයි, තාත්තා කළුයි. මේ පාට දෙකෙන් මොන පාට ලැබුණත් කැමැතියි.

ගර්භාෂයෙන් පිට තියෙන අලුත් ලෝකයට ගැළපෙන්න මගේ හැම දෙයක්ම හැදිලා ඉවරයි.

මං ලොකුම පිනුමක් ගහන්නෙ සති තිස් හතේදි විතර. අම්මගෙ තුරුළට එන මුල් පියවර විදියට හිස ශ්‍රෝණි පෙදෙසට හැරෙනවා.

මගේ හිසේ වට රවුමයි, උදරයේ වට රවුමයි එකම ප්‍රමාණයක් ගන්නෙ සති 38 දියි. දැන් කකුලෙ නියපොතු හොඳින් වැඩිලා. මේ වෙනකොට හමේ රෝම ගොඩක් හැලිලා. මගේ බර රාත්තල් 6 1/2 ක් (ග්‍රෑම් 2,900 ක්) විතර වෙලා. දිග අඟල් 21 ක් විතර දිගයි. හමේ ඉටිගතිය නැත්තටම නැති වෙලා.

ඔන්න මං දැන් අම්මලා වගේම මල පිට කළා. කලලාවාරික තරලයෙන් බීපුු දේවල් මල විදියට පිට වුණා.

පෙණහලු පරිණත වෙලා, හොඳට හුස්ම ගන්න පුළුවන්. වැදෑමහ දැන් ටික ටික අඩු වේගෙන යනවා.

සති 40 ත් සමඟ ගර්භණී සමයේ තුන්වැනි කාර්තුවත් ඔන්න අවසන් වුණා. මං බලන් හිටිය දවස උදාවේගෙන එන්නෙ. මේ වෙන කොට මගේ බර රාත්තල් 6 – 9 ක්. දිග අඟල් 19 – 22 ක්. දැන් නම් ඉතින් මිනිස් පැටියෙක්ම තමයි.

මට පෝෂණය, ඔක්සිජන් දෙන අම්මයි මාවයි යා කරන පාලම, පෙකණි වැල පාවෙවී තියෙනවා. සමහරුන්ගේ පෙකණිවැල වළලු කරේ, මැණික් කටුවේ එතිලා තියෙනවා. ඇඟිලි අතරේත් රැඳෙනවා. සමහරුන්ගේ බෙල්ල වටේත් එතෙනවා. කොහොම වුණත් බයක් වෙන්න දෙයක් නෑ.

ආ . . . මට අමුත්තක් දැනෙනවා. පුංචි ආතතියක් වගේ ආතතිය මගේ ජීවිතයට අලුත් දෙයක්. මෙහෙම මුල් වරට මගේ ඇඟේ ආතති හෝර්මෝන නිපද වෙන්නේ අම්මගෙ මහ ගෙදරට (ගර්භාෂයෙන්) එහා තියෙන බාහිර ලෝකයට සූදානම් කරන්නලු.

 

 

උපදෙස් නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

විජිත් විද්‍යාභූෂණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.