ජීවිතයට ආදරය කරන්න

සැප්තැම්බර් 25, 2019

සෞඛ්‍ය ගැන කතා කරන විට අංක එකට සිහියට නැඟෙන්නේ කායික සෞඛ්‍යයයි. මානසික සෞඛ්‍යයට හිමි වී ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය. චිත්ත වේග, හැඟීම් සම්බන්ධ සෞඛ්‍යයක් ඇති බව සමාජයේ වැඩි දෙනෙක් නොදනිති.

චිත්ත වේග සුව සම්පන්න වීම ජීවිතයකට ඉතා වැදගත්ය. අපේ සිතිවිලි, හැඟීම්, චර්යා සෞඛ්‍ය සම්පන්න චිත්ත වේග ඇති අය හොඳින් පාලනය කර ගනී.

චිත්ත වේග සෞඛ්‍ය සම්පන්න වීම කියන්නේ හැම විටම සතුටින් සිටීම නොවෙයි. සෞඛ්‍ය සම්පන්න චිත්ත වේග ඇත්නම් හැඟීම් සුබවාදී වුව ද අසුබවාදී වුව ද උපේක්ෂා සහගතව විඳ දරා ගැනීමට හැකිය. ආතතිය, කෝපය වැනි හැඟීම් මේ අයට තිබුණ ද ඒවා මුළු මානසික සෞඛ්‍යයම පිරිහෙන තරමට බරපතළ තත්ත්වයට පත් නොවෙයි. මේ නිසා චිත්ත වේග සෞඛ්‍යය කුසලතාවකි.

* චිත්ත වේග සෞඛ්‍ය යහපත් කර ගන්නේ කෙසේද?

චිත්ත වේග සෞඛ්‍ය යහපත් වීමට මුල පිරිය යුත්තේ දරුවාට අකුරු කිරීම ඇරඹුණු දා සිටය. එහෙත් මාපිය ගුරුවරුන් සිදු නොකරන්නේ ද එයමය.

උසස් පෙළ විභාගයට පෙනී සිටි දියණියකට පසුගිය වාරයේ ලකුණු අසූ ගණන් අනූ ගණන් තිබූ විෂයන්වල ලකුණු මට්ටම් හැත්තෑ ගණන් දක්වා අඩුවීම දැනුණේ ජීවිතයම අසමත් වූ ලෙසිනි. ඇය වස පානය කළේ එනිසාය. විභාගය යනු ජීවිතයම නොවෙයි. එය එක් අංශයක් පමණක් බව ඇය වටහා ගෙන නොසිටියාය. මාපියන් ද ඇයට අනිවාර්යයෙන්ම වෛද්‍ය විද්‍යාලයට තේරෙන ලෙසට බල කළා විය යුතුය. කෙසේ වුවත් කලට වේලාවට ප්‍රතිකාර ලැබීම නිසා අකාලයේ මිලිනවීමට ගිය මල් කැකුළියකගේ දිවි බේරිණි.

* චිත්තවේගී සෞඛ්‍ය ඉහළ නංවන්නේ කොහොමද?

  •  තමන්ගේ චිත්ත වේග ගැන සහ ඒවාට දක්වන ප්‍රතිචාර ගැන සැලකිලිමත් වන්න. ආතතිය, දුක, නොරිස්සුම් සහගත බව, කෝපය වැනි හැඟීම් ඇතිවන අවස්ථා වටහා ගෙන එවැනි අවස්ථාවල සුබවාදී වීමට පියවර ගන්න.
  •  හැඟීම් සුබවාදීව ප්‍රකාශ කරන්න
  • දුක, කෝපය, ආතතිය ඇති විට වැඩි දෙනකු වටහා ගන්නේ ඔහු / ඇය හැසිරෙන කතා කරන ආකාරයෙනි. එවැනි අවස්ථාවක වුව ද සෞම්‍ය ලෙස හැසිරෙන්න.
  •  යමක් කිරීමට පෙර සිතා බලන්න
  • චිත්ත වේග ප්‍රබලය. එනිසා යමක් කීමට, කිරීමට පෙර සිතා බලන්න. ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකියි.කළ දේ ගැන පසුතැවීමේ තේරුමක් නැත.
  •  ගැඹුරින් හුස්ම ගැනීම, භාවනා කිරීම, ව්‍යායාම කිරීම ආදී ක්‍රම මඟින් ආතතිය අවම කර ගන්න.
  •  රාජකාරිය – නිවෙසේ කටයුතු - සමාජ කටයුතු සියල්ල සමබර කර ගන්න. සුබවාදී අරමුණු ඇති කර ගන්න. මෙවැනි දේ මඟින් ආතති පාලනය සිදු කළ හැකියි.
  •  කායික සෞඛ්‍යයට මානසික සෞඛ්‍යය මෙන්ම චිත්ත වේග සෞඛ්‍යය ද බලපායි. එමෙන්ම මානසික සෞඛ්‍ය සහ චිත්ත වේග සුවයට කායික සෞඛ්‍යය ද බලපායි. කායික සෞඛ්‍ය නීරෝගිව තබා ගත යුත්තේ එනිසාය. සමබල ආහාර, සුවබර නින්ද, ව්‍යායාම ඒ සඳහා ඉතා වැදගත්ය.
  •  අප සමාජ සත්වයන්ය. ඒ නිසා ජන සමාජයේ අනෙක් මිනිසුන් සමඟ සම්බන්ධතා පැවැත්වීම අත්‍යවශ්‍යය. දිවා ආහාරයකට සියල්ලන් හා එක්ව යාම වැනි කටයුතුවලට දෛනික ජීවිතයේ වැදගත් තැනක් හිමිකර දිය යුත්තේ එනිසාය.
  •  තමන්ගේ ජීවිතයේ වටිනාකම තේරුම් ගැනීමත් අන් අයගේ ජීවිතවලට වටිනාකමක් එකතු කිරීමට උපකාරීවීමත් වැදත්ය.

ද වතුර විදුරුවේ හිස් වූ අඩ ගැන නොව පිරුණු භාගය දකින්න. ජීවිතය සුබවාදීව දකින්න. සුබවාදී මිනිසුන් ඇසුරු කරන්න.

චිත්ත වේග සුවය සුරැකීමේදී ඉහත දැක් වූ සියල්ල ජීවිතයට එක්කර ගැනීම වැදගත්ය. තමන්ගේ ජීවිතයට මෙන්ම දරුවන් ඇතුළු පවුලේ සෙසු සාමාජිකයන්ගේ ජීවිතයට එක් කර ගැනීම එදිනෙදා ආහාර පාන ගැනීම මෙන්ම ජීවිතයට පලදායක වෙයි.

මේ ජීවන කුසලතාව තම දිවියට එක් කර නොගැනීම නිසා පසුගිය වසරේ දිනකට අපේ රටේ අට දෙනෙක් සියදිවි නසා ගත්හ. එය ජනගහනයෙන් ලක්ෂයකට පහළොස් දෙනෙකි. රටවල් 193 කින් පමණ තවමත් ලංකාව සිටින්නේ සිය දිවි නසා ගන්නන් වැඩි රටවල් අතරින් පහළොස් වැනි ස්ථානයේය. සිය දිවි නසා ගැනීමෙන් එක් අයකු මිය යන්නේ ඊට දස දෙනකු උත්සාහ කර තිබියදීය.

චිත්ත වේග පාලනය කර අභියෝග ජය ගැනීමේ හැකියාව නොතිබීම ලබා උපන් ජීවිතයේ වටිනාකම තමන්ට නොදැනීමට එක් ප්‍රධාන හේතුවකි. පිළිකා වැනි කායික රෝග, විෂාදය වැනි මානසික රෝග, මත්වතුර ආදී බොහෝ කරුණු

මේ කෙරෙහි බලපායි. පවුලේ එවැන්නෙක් සිටී නම් ඒ පුද්ගලයා ගැන සැවොම අනුවේදනයෙන් සිටිය යුතුයි. උපකාර කළ යුතුය.

සියදිවි නසා ගන්නේ වීරයන් නොවෙයි. පරාජිතයන්ය. එය දරුවන්ට කුඩා වියේ සිට වටහා දිය යුතුයි.

 

උපදෙස්

මහාචාර්ය සමුද්‍රා කත්‍රිආරච්චි

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන