ගත සිත සුවය පිරි අනුවේදනීය දරුවකු හ දමු

ඔක්තෝබර් 2, 2019

මවක් පියෙක් තම දරුවා සමඟ සෙනෙහසින් බැඳෙන්නේ මේ පුංචි අමුත්තා කුසට පැමිණි දා සිටය. ඉන්පසු දෝතට ගෙන පියවර ඔසවන දිනය දක්වාම දරු පැටියා ළමැදට තුරුළු වී උණුසුම් වෙයි.

වයස අවුරුදු දහය දක්වා එක් අවධියකුත්, දහයේ සිට දහ නවය දක්වා ගැටවර වියත් දක්වාම දරුවා වැඩෙන්නේ මවගේත්, පියාගේත් හුස්ම පොද හෘද ස්පන්දනය බවට පත් වෙමිනි. ලාංකේය මාපියන්ට නම් ඔහු / ඇය විවාහ වනතුරුම දරුවෙකි. ඒ තරමටම බැඳීම වැඩිය.

මනසින් බැඳී සිටිය ද කයින් මනසින් සුවපත්, අනුවේදනීය යහපත් දරුවකු සමාජයට ප්‍රවේශ කිරිමට අප මුල පුරනවාද? බොහෝ දෙනා උත්සාහ ගන්නේ නුවණින් සපිරි උසස් රැකියාවක නියැළෙන පුද්ගලයකු බවට තම දරුවා පත් කිරීමට පමණයි.

 මවු කුසේදීම පදනම

දරුවාගේ මොළයේ වර්ධනය කුසෙහි වැඩෙන කාලයේ සිට දිගටම සිදුවන්නකි. මේ ක්‍රියාවලිය දරුවා ලබන අත්දැකිම් සහ අභියෝග අනුව පාලනය වෙයි. මොළයේ සීග්‍ර වර්ධනයක් හා මූලික වර්ධනය ඉපදී පළමු වසර පහ ඇතුළත සිදු වෙයි. එනිසා මාපියන්ගේ යහ සිතුවිලි දරුවාට ඉතා වැදගත්ය. ශාරීරික ගැටලුවලින් තොර දරුවකු ගැබ තුළ වැඩෙන්නේ මව සමබල ආහාරයක් ගත් විටය. දරුවා ගැන අප කුසෙහි වැඩෙද්දීම අවධානය යොමු කළ යුත්තේ කායික, මානසික සංවර්ධනයේ වැදගත්ම කාලයක් මවු කුසේදී ගත කරන නිසයි.

 මාපියන්ගේ වැරැදි

සෙනෙහස වැඩිකම නිසාම මාපියන් තම දරුවා සම්බන්ධයෙන් සිදු කරන වැරැදි රාශියකි.

* සැසඳීම – ඉගෙනීම, දස්කම් සැසඳීම සුදුසුම නැති දෙයක් වුව ද බොහෝ මාපියන් විසින් එය සිදු කරනු ලබයි.

තම දරුවා අසල ගෙදර ළමයාට වඩා එක් ලකුණක් හෝ වැඩියෙන් ශිෂ්‍යත්ව විභාගයේදී ගත යුතු බව සිතූ පියෙක් මෙසේ සිතීමේ වරදට ලැබුවේ අපූරු දඬුවමකි. දරුවන් දෙදෙනාම එකම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම ඒ දඬුවමයි. අන් දරුවන් හා සසඳමින් තම දරුවාට බැණීම, චෝදනා කිරීම නිසා අනවශ්‍ය ලෙස දරුවා ආතතියට, අසහනයට පත් වෙයි. දරුවාගේ පෞරුෂත්වයට සෘණ බලපෑම් සිදු වෙයි.

අතක ඇඟිලි අසමාන මෙන්ම දරුවන් ද අසමානය. දරුවාගෙන් දරුවාට හැකියාවන්, කැමැති විෂයයන්, වර්ධන වේගය හා ශක්තීන් වෙනස්ය. මේ කිසිදු දෙයක් ගැන නොසිතා දරුවාට බැණීමට, දඬුවම්දීමට, චෝදනා කිරීමට යාමෙන්,

  •  දරුවා වත්මනෙහි දක්වන දක්ෂතා ද අඩුවීමට පුළුවන. කළ යුත්තේ දුර්වලතාවට හේතු විමසා බලා පිළියම් යෙදීමයි.
  •  ආත්ම විශ්වාසය පහළ බසින නිසා පෞරුෂත්වයට හානි සිදු වෙයි. ආත්ම වටිනාකම අඩු වෙයි.
  •  අවමානය නිසා කොන්වීමට බලයි.
  •  තම දක්ෂතා අගය නොකර අන් දරුවන්ගේ දක්ෂතා අගය කිරීමෙන් මාපියන් සමඟ ඇති බැඳීම දුරස් වෙයි.
  •  සසඳන දරුවා කෙරෙහි වෛරයක් ඇති කර ගනී. එය වැඩෙන පෞරුෂත්වයකට ඉතා හානි කරයි.

මාපියන් වශයෙන් දරුවන් ගැන කළ යුත්තේ එකම එක සැසඳීමකි. ඒ දරුවාගේ වර්ධනය, හැසිරීමේ වෙනස ගැන කරන සැසඳීමයි. වෙනසක් ඇත්නම් නොපමාව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට, ළමා මනෝ වෛද්‍ය විශේෂඥයකුට යොමු කළ යුතුය.

සමහර ළමයින් අධි ක්‍රියාකාරීය. ආගමික ස්ථානයකදීවත් මොවුනට තැන්පත්ව සිටිය නොහැකිය. එක පේළියකට සිටීමට අසීරුය. යමක් කිරීමට පෙර සිතා නොබලන නිසා අනතුරුවීමට තිබෙන ඉඩ වැඩිය. මොහොතක් හෝ යම් වැඩක නිරතවීමට නොහැකිය. සෙල්ලමක පවා එකදිගට නොයෙදී තවත් සෙල්ලමකට මුල පුරයි. තමන්ගේ බඩු නැති කරයි. නම කතා කළ ද නෑසුණ සේ සිටියි. මෙවැනි ලකුණු හය මාසයකට වැඩි කාලයක් පවතිනවා නම් ඒ දරුවා අධි ක්‍රියාකාරී විය හැකිය. ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු නොකර “මේ ළමයා යක් පැටියෙක්” වැනි දේ පවසමින් කල් හැරීම දරුවාට කරන විශාල වරදකි.

 කෑම කැවීම යුද්ධයක් කර ගැනීම

දරුවන්ට ඇති සෙනෙහස වැඩිකම නිසාම පන්න පන්නා ආහාර දීමට මා පියන් පුරුදු වී සිටියි. දරුවාට නියමිත තැනක හැන්දෙන් කැවීමට පුරුදු කළ යුත්තේ එය විනෝදජනක අත්දැකීමක් කරමිනි. දරුවාට රූපවාහිනිය ඉදිරියට ගොස් කැවීම තවත් බරපතළ වරදකි. තමන් ගන්නා ආහාරය කුමක් ද කියාවත් දරුවා දන්නේ නැත. එහි රස හඳුනන්නේ නැත. මෙවැනි දරුවන් පසු කල වැරැදි ආහාර රටාවකට යොමුවීමේ ඉඩකඩ වැඩිය. දරුවා ඉල්ලන ඉල්ලන ක්ෂණික ආහාර, පැණිරස, ලුණු, තෙල් අධික ආහාර දීම තවත් වරදකි. මවට පියාට පෙර දරුවා බෝ නොවන රෝගවලට ගොදුරු වන්නේ මෙවැනි වැරැදි නිසාය. පවුලේ සැවොම එකට ආහාර නොගැනීම තවත් වරදකි.

 දක්ෂතාවලට බාධා කිරීම

අනුවේදනයට ඉඩක් නොදීම

සෑම දරුවකුම ගණිතයට, විද්‍යාවට දස්කම් ලබා උපදින්නන් නොවෙයි. ක්‍රීඩා, චිත්‍ර, නැටුම්, සංගීතය ආදී විවිධ වු විෂයයන්ට දරුවෝ දස්කම් පාති. බොහෝ මාපියන් මේ දක්ෂතා වළලා දමා දරුවාට විභාග ඉලක්ක කරමින්ම පමණක් ඉගැන්වීමට හුරු පුරුදු වී සිටියි. ක්‍රීඩාවට, කලාවට දක්ෂ දරුවා ඒ විෂයයන්ගෙන් ඈත්කර ගණිත පන්ති යැවීමෙන් දරුවා මානසික අර්බුදයකට මුහුණපායි. තමන් දක්ෂ දෙයින් ඈත් කරන විට ඒ හැකියාවන් අගය නොකරන විට මාපිය බල කිරීම නිසා හදාරන විෂයයන් ද දුර්වල වෙයි. එපමණක් නොව දක්ෂතාවන් ද දුබල වෙයි.

දක්ෂතාවලට ඉඩක් දෙන විට දරුවා දුම්වැටි, මත්ද්‍රව්‍ය, මත්පැන් ආදියට ඇබ්බැහිවීමේ ඉඩ අඩුය. එපමණක් නොව පාසල් වියේදී විරුද්ධ ලිංගික, සම ලිංගික සබඳතා ඇතිවීමේ ඉඩ ද අඩු වෙයි.

ළමයාගේ ජීවිතය පාසලට, අමතර පන්තිවලට, විභාගවලට පමණක් කොටු කර ඇති මෙවන් කාලයක කෙළි සෙල්ලමට, පරිසරයේ, කලාවේ සුන්දරත්වය විඳීමට ඉඩක් නොලැබෙන තරම්ය. මෙයින් සිදුවන්නේ මාපියන් ද නොදැනුවත්වම දරුවන් ලේ මස් සහිත රොබෝවරුන් බවට පත්වීමය.

ස්මාට් ෆෝන්, පරිගණකය තවදුරටත් දරුවා යාන්ත්‍රික කර තිබේ. මාපියන්ට එවැනි දරුවකු නිර්මාණය වීම පහසුවෙන්ම වළකාලීමට පුළුවන. ‘අනේ අර නංගි වැටුණා. නැඟිටින්න උදව් කරන්න’, ‘අර සීයා පව්. දවස් ගණනකින් කාලා නෑ වගේ’ මෙවැනි වදන්වලින් සමාජයේ අනෙක් පුද්ගලයන් කෙරෙහි දරුවාගේ අනුවේදනයක් සහකම්පනයක් ඇති වෙයි.

ගැහැනු දරුවාට වුවත් පිරිමි දරුවාට වුවත් එක හා සමානව හැඬීමට ඉඩ දිය යුතුය. එය ඔවුනගේ ජීවිතයට ඉතා වැදගත්ය.

අසරණ සුරතල් සතකු රැගෙන ආ විට බණිනු වෙනුවට සතාට පිහිටවීමට උපකාරී වන්න. සතුන්ට කරුණාව දැක්වීම මඟින් දයාව, කරුණාව වැනි හැඟීම්වලට අත්පොත තැබිය හැකියි. සුරතල් සතකු නිවෙසේ සිටින විට විශේෂයෙන්ම සුනඛ සුරතලකු නිවෙසේ සිටින විට දරුවාගේ ප්‍රතිශක්තිය (රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව) ඉහළ යන බව අලුත්ම පර්යේෂණ මඟින් හෙළි වී තිබේ.

කලා විෂයයන්ගෙන් ද දරුවන්ගේ අනුවේදනය දියුණු වෙයි. දරුවා රූපවාහිනී තිරය ඉදිරියේ රූකඩයක් කරනවාට වඩා ස්මාට් ෆෝනයේ වහලෙක් කරනවාට වඩා පොත පත කියවීමට හුරු කිරීම ද ඉතා වැදගත්ය.

 

උපදෙස් - යොවුන්, ළමා මනෝ වෛද්‍ය විශේෂඥ

සුදර්ශි සෙනෙවිරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.