මේ වෙනස්කම් හරිම සාමාන්‍යයි

ජනවාරි 8, 2020

මවු පදවිය කියන්නේ ජීවිතේ ලොකුම වෙනසයි. ඒ වෙනස වැඩිබුරම දැනෙන්නේ හා හා පුරා කියා මවුපදවියට හිමිකම් ලැබූ මවකටයි. දරු පැටියා දෝතට අරන් නිවෙසට ගියාට පස්සෙ අම්මා කෙනකුට මුළු ලෝකයම අමතක වෙනවා. ඒත් කණ්ණාඩිය දිහා බැලුවොත් නම් සිරුර අභ්‍යන්තරව වගේම බාහිරව ද විශාල පෙරළියකට මුහුණ පා ඇති බව පේනවා.

මේ කිසි වෙනස්කමක් දුක් වීමට, පසුතැවීමට හේතුවක් නොවෙයි. මේවා බොහොමයක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙනවා. වෛද්‍ය උපදෙස් ලබාගෙන අම්මාගේ උත්සාහයෙන් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් ශාරීරික වෙනස්කම් තිබෙනවා.

ආදරණීය හැඟුමන් – කලින් මෙන් ආදරයෙන් බැඳීමට හැකි මානසිකත්වයක් ඇතිවන්න අවුරුද්දක පමණ කාලයක් ගත වෙනවා. එය අසාමාන්‍ය නැහැ. මේකට තවත් හේතුවක් වෙන්නේ දරුවා ගැනයි පවුල ගැනයි අවධානය යොමු කෙරුවත් තමන් ගැන අවධානය යොමු නොකිරීම.

ප්‍රසූතියෙන් පසු අම්මාට වෙහෙසක් දැනෙනවා. එයත් සරාගී සිතිවිලි අඩුවීමට බලපාන හේතුවක්.

ඊස්ට්‍රජන් මට්ටම ගැබිනි සමයේදී ඉහළ නඟිනවා. දරුවා බිහිකළ පසු හෝර්මෝන මට්ටම පහළ බසිනවා. ඊස්ට්‍රජන් මට්ටම හා සරාගී සිතිවිලි අතර විශාල බැඳීමක් තියෙනවා. ඊස්ට්‍රජන් මට්ටම යථා තත්ත්වයට පත්වීමට කාලයක් ගතවෙනවා.

උදරයේ ප්‍රමාණය - දරුවා බිහිකළ පසු උදරය යථා තත්ත්වයට පත්වේවිකියා සමහර අම්මලා හිතනවා. ඒත් ගර්භාෂය ගර්භණී කාලයට පෙර තත්ත්වයට පත් වීම සඳහා සති 6 - 8 ක් ගත වෙනවා. ඉක්මනින් උදරය යථා තත්ත්වයට පත්වීමට නම් වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම කළ යුතුය.

පාදයේ ප්‍රමාණය - ගැබිනි සමයේදී පාද ඉදිමෙනවා. දරු ප්‍රසූතියෙන් පසු පාදයේ විශාලත්වය අඩු නොවන මවුවරුන් සිටිනවා. අස්ථි බන්ධන ලිහිල් වී සිරුරේ බර වැඩිවී පාදවල වක්‍රය අඩුවෙනවා. පාදයේ දිග වෙනස් වෙනවා.

 

උපදෙස්

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

විජිත් විද්‍යාභූෂණ

2020/01/08 තරුණි බලන්න