උණුසුම තිබුණත් කොරෝනා අවදානම ලංකාවටත්

මාර්තු 18, 2020

 

“හච්චිං”

“අපෝ වැස්සක් වගේ.”

“ඔයයි හච්චිං ඇරියෙ. හරියට මං ඇරියා වගේ ඇඟ පුරාම.”

“ඉස්කෝලෙ ඉඳලා ආපු ගමන් බත් පිඟාන අතට ගත්තා. කන්න ඉස්සෙල්ලා සබන් ගාලා අත හෝදන්න කියලා මන්තරයක් ජප කරන්න වගේ කිව්වත් අහන්නෑනෙ.”

“පාරෙ දකුණු පැත්තෙන් යන්න”. “සබන් ගාලා අත හෝදන්නෙ නැතුව කන්න එපා.”

‘අ’ යන්න ‘ආ’ යන්න කියලා දෙනකොටම දරුවන්ගේ මොළගෙඩිවලට මේ වැදගත් පණිවුඩ දුන්නත් ඒවා නෙළුම් කොළයට වැටුණු දිය බින්දුවක් වගෙයි. කකුළු අම්මලා තාත්තලා ඇදේට යන්නේ නැතුව කෙළින් යන්න කියලා දරුවන්ට උපදෙස් දෙනවා වගේ අම්මලා තාත්තලත් ඒ වැරැද්ද කරද්දි එක අතකට දරුවන් ඒ අවවාද නොපිළිගන්න එකත් පුදුමයක් නෙවෙයි.

පොදු වාහනයක ගමන් කරද්දී මුව ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් වසාගෙන එහෙමත් නැත්නම් වැලමිට නවා කිවිසුම් යවන සෞඛ්‍ය නීතිවලට ආචාර සම්පන්න පුද්ගලයන් අපට අතේ ඇඟිලි ගණනටවත් මුණ ගැහෙනවාද? වැඩි දෙනෙක් නාසයෙන් ගලන සොටු දියර අතින් පිසදමා ඒ අතින් පොදු වාහනේ පොලු ඇතුළු සෑම තැනක්ම අල්ලන්නේ තමන්ගේ සනීපාරක්ෂාව ගැන නොසිතමින් වගේම අනිත් අයගේ සුවතාවය ද අනතුරේ දමමින්.

කිවිසීමෙන් කැස්සෙන් සෙම්ප්‍රතිශ්‍යාවේ, ඉන්ෆ්ලුවෙන්සාවේ, ක්ෂය රෝගයේ සිට අලුත්ම ගෝලීය වසංගතය වන කොරෝනා ද නිරෝගී කෙනෙකුට ශරීරගත වෙන්න පුළුවන්.

බීබීසී සයන්ස් ෆෝකස් සඟරාවට අනුව කහින විට අපේ සෙම් බිඳිති මීටර් හයක (අඩි 20 කට ආසන්න දුරක) දුර පැතිරෙනවා. කිවිසින විට සෙම් බිඳිති මීටර් අටක (අඩි 26 කට වැඩි) දුර පැතිරෙන්නේ පැයට හැතැප්ම 200 ක වගේ අධික වේගයකින්.

කහින විට සෙම් බිඳිති පිටවන වේගය පැයට සැතැප්ම 50 ක්. කෙනෙකු කිවිසින විට සෙම් බිඳිති 40,000 කට වැඩි ගණනක්ද කහින විට සෙම් බිඳිති 3,000 ක් පමණ ද පිට වෙනවා. මේ බොහොමයක් බිඳිති අපේ පියවි ඇහැට පේන්නෙ නැහැ. මේවා අඩුවශයෙන් මිනිත්තු 10 ක්වත් පරිසරයේ රැඳෙනවා. ටිෂූ කඩදාසියකට කිවිසුම් ඇරියත් විසබීජ රැඳුණු සෙම් බිඳිති එහි කාලයක් පවතින නිසා ඒවා වළ දැමිම හෝ පුළුස්සා දැමීම වැදගත්. එය අපට අප වෙනුවෙන් හා අප සමඟ ජීවත් වන්නන් වෙනුවෙන් කළ යුතු යුතුකමක් වගේම වගකීමක්.

* උණුසුම් කාලගුණයක් තිබුණත්

දෙසැම්බර් මාසයේ සිට ලැව් ගින්නක් වගේ පැතිරීමට ගත් අලුත්ම වෛරස් තර්ජනය. කොරෝනා දැන් අපේ රටටත් පැතිරිලා. අපේ රටෙන් වාර්තා වුණු මුල්ම රෝගියා චීන සංචාරක කාන්තාවක වුණත් දැන් අපේම කෙනකුටත් රෝගය වැලඳිලා.

අපේ අසල රට වූ ඉන්දියාවේ මාර්තු 11 වැනි දින වන විට රෝගයට හැටහය දෙනකු ගොදුරු වෙලා ඉන්දියාව මේ කාලයේ උණුසුමෙන් දැවෙන රටක්. පරිසරයේ අධික උෂ්ණත්වය නිසා ඉන්දියාවේ පදික ජනතාව හීට් ස්ට්‍රෝක් (අධික උෂ්ණත්වය නිසා සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රියාවලිය අඩපණ වී ආඝාත තත්ත්වයට පත්වීම) තත්ත්වයට පත්වී මහමඟ ඇද වැටෙන කාලයක වුණත් කොරෝනා වෛරසය (කොවිඩ් - 19) ඒ රටටත් බලපාලා. ඒ නිසා උෂ්ණාධික රටක් කියලා ශ්‍රී ලාංකේය අපට හිත හදා ගන්න බැහැ.

 

කොවිඩ් - 19 වසංගතයෙන් ආරක්ෂාවීමට ගත හැකි පියවර

දෙවැනි එළිසබෙත් මහරැජනට අතට අත දීමේ චාරිත්‍රය නතර කිරීමට මුල්වූ, රටකින් රටකට නිදහසේ යාම ඇති අවස්ථාව ලෝක වාසීන්ට අහිමි කරන, ව්‍යාපාරික ලෝකයම පඹ ගාලකට ඇද දැමූ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි ප්‍රබලම පියවර අපි සැම හෝඩියේ පන්තියේදී ඉගෙන ගත්ත පාඩමක්. ඒ සබන් ගා අත සේදීමේ පුරුද්දයි.

අමතක නොකර සබන් ගා අත සේදිය යුතු අවස්ථා

කිවිසුමකින්, කැස්සකින්, සොටු සීරීමෙන් පසු,

පිරිසක් සමඟ ගැවසීමෙන් පසු,

ගමනක් ගොස් පැමිණි පසු,

විශේෂයෙන් පොදු වාහනයක ගොස් පැමිණි පසු,

වැසිකිළි යාමෙන් පසු,

 

2020/03/16 තරුණි බලන්න