වෛරසය වැලඳීමට ඇති අවදානම වැඩි නිසා

කුඩා දරුවන්ගේ බර කිරීම තාවකාලිකව නවතලා
මැයි 13, 2020

ආදරණීය අම්මේ......

ඔබත් කිරි සිහිනය දකින මවක් ද ?

මේ කාලයේ ඔබ කියවිය යුතුම ලිපියක්

කිරි සිහිනය ....... අපේ රටේ දහසක් මවුවරුන්ගේ සිහින ප්‍රාර්ථනයයි. මොන තරම් ගැටලු, බාධක, අභියෝග ආවත් දරු සිහිනය දැකීම සමස්ත මානව වර්ගයා වෙත සොබා දහම පිරිනැමූ අපූරු දායාදයක්. දරුවකුගේ මුවගේ සිනහව දකින්නට මවක් මොනතරම් කාලයක් බලා සිටිනව ද ?

ඒත් ඇය මේ කාලයේ මුහුණ දී තිබෙන්නේ තරමක අනපේක්ෂිත අත්දැකීමකට. ඇය පමණක් නොව මුළු ලෝකයම........ හැබැයි එය අනිත් සැමටම වඩා දරුවකු ලැබීමට සිටින මවකගේ හදවතට තදින්ම දැනෙනවා. තම දරුවාගේ මුව මඬල දකින්න ඇත්තේ තව දින කිහිපයයි..... නැතිනම් මාස කිහිපයක් විය හැකියි..... තම කුසේ සිටින දරුවා නිරෝගිමත්ද? දරුවා ලැබෙන්න රෝහලට යන්න ගැටලුවක් වෙයිද? සායනයට යන්න පුළුවන් වෙයිද? නියමිත පරිදි සායනයට යන්නට නොහැකිවුවහොත් ප්‍රශ්නයක් ඇති වේවිද? විටමින් පෙති ගන්නේ කෙහොමද? මෙවැනි ගැටලු රැසක්ම අම්මලාට තියෙනවා. එම ගැටලුවලට විසඳුම් ලබා ගන්නේ කොහොමද යන්න දැනගැනීමට අප එක් කර ගත්තේ වසර ගණනක අත්දැකීමක් තිබෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්. ඇය සමඟ කළ පිළිසඳරේදී එවැනි ගැටලු රාශියකට උපදෙස් සහ පිළිතුරු ලබා ගන්න අපට හැකියාව ලැබුණා.

දරුවෙක් ලැබෙන්න සිටින මවක් නැතිනම් දරු ගැබක් හටගත් සෑම මවක්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් උපදෙස් ලබා ගන්නවා. එම සේවය මේ කාලයේ ලබා දීම සිදුවන්නේ කොයි ආකාරයෙන්ද?

මේ කොරෝනා වෛරස් සිද්ධිය අපට තරමක වෙනස් වූ අත්දැකීමක් හා අභියෝගයක්. මෙවැනි අත්දැකීමක් අප කිසිම දවසක ලබා තිබුණේ නැහැ. මෙම වෛරසය ලංකාවේ පැතිරෙන්න පටන් ගත් දිනයේ පටන් සති දෙකක කාලයක් සායන පැවැත්වීමේ කටයුතු අප තාවකාලිකව නැවැත්වුවා. නමුත් ඉන් පසුව එය සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණා. අපගේ මාතෘ සායන පැවැත්වෙන දින සහ විස්තර මවගේ සායන සටහන් පතේ සටහන් කර තිබෙනවා.

එසේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දුරකථන අංකය සහ මව පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ දුරකථන අංකය ද සටහන් කර තිබෙනවා. ඒ නිසා කිසියම් ගැටලුවක් ඇති වුණොත් එම අංකවලට කතා කිරීමෙන් තොරතුරු දැන ගන්න පුළුවන්.

දරුවෙක් ලැබෙන්න ඉන්න මවකට ලබා දෙන එන්නත් උපදෙස් සහ පරීක්ෂණ කටයුතු සිදුවන්නේ කොයි ආකාරයකට ද ? එසේම දරුවෙකු ඉපදුණු පසු මාසයක් පාසා දරුවාගේ බර මැනීමේ කටයුතු සිදුවන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් දරුවකු ලැබෙන්න සිටින මවකට එන්නතක් ලබා දීම සිදුවන්නේ සති 12 ක් සම්පූර්ණ වූ පසුවයි. එයට අමතරව විටමින් පෙති ලබා දීම පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් සිදු කරනවා. එය මේ දිනවල එම මවුවරුන්ගේ නිවාස වලට ගොස් ලබා දීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් කටයුතු කරනවා. බොහෝ විට ඔවුන්ට ලබා දෙන උපදෙස් සහ පරීක්ෂක කටයුතු පිළිබඳ සාමාන්‍ය දැනුමක් සෑම මවකට තිබෙනවා. ඒ නිසා දරුවෙක් ලැබෙන්න සිටින මවකටම අවශ්‍ය සියලුම කටයුතු කිසිම බාධාවකින් තොරව සාමාන්‍ය ආකාරයට සෑම ප්‍රදේශයකම දැන් අඛණ්ඩව සිදු වෙනවා.

නමුත් දරුවන්ගේ බර කිරීම තාවකාලිකව නවතා තිබෙනවා. එසේ නවතා තිබෙන්නේ කුඩා දරුවන්ට මෙම වෛරසය වැලඳීමට ඇති අවදාමන වැඩි නිසයි. බර කිරීමේදී එකම උපකරණයක් භාවිත කිරීමට සිදුවීම, විශාල පිරිසක් එක් රැස්වීම නිසා රජය විසින් තාවකාලිකව එය නවතා තිබෙනවා. නමුත් ත්‍රීපෝෂ ලබාදීම පමණක් සිදු කරනවා. මේ කාලයේදී දරුවකුගේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීමට මවකට තිබෙන අවස්ථාව වැඩි නිසා දරුවන්ගේ බර පිළිබඳව ගැටලු සාපේක්ෂව අඩු වී තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්.

මේ හදිසි තත්ත්වය යටතේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා තම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට පැමිණ සිටින මවකට දරුවෙකු බිහි කිරීමට හෝ වෙනයම් ආබාධයක් නිසා රෝහලකට ඇතුළුවීමට සිදුවුවහොත් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගෙන් උපදෙස් ලබා ගැනීමට සිදු වුවහොත් කළ යුත්තේ කුමක්ද?

සාමාන්‍යයෙන් මවක් තම පදිංචි ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට පැමිණි විට එය එම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට දැනුම් දීම අනිවාර්යයෙන් කළ යුතුයි. එවිට අදාළ උපදෙස් එම මවට ලබා දෙනවා. නමුත් මේ අවස්ථාවේදි එසේ කළ නොමැති නම් දරුවා ලැබීමට දින ආසන්නව ඇති නම් දරුවා ලැබීමට කල් ඇතිව රෝහල වෙත පැමිණිය යුතුයි. එවිට එම රෝහලේ කාර්ය මණ්ඩලයට මවගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම පහසුවක්. නැතිනම් දරුවා ලැබෙන්නට ආසන්න අවස්ථාව ළඟා වූ පසු රෝහලකට ඇතුළු වීමෙන් මෙවැනි කාලයක මවගේ තොරතුරු නිවැරැදිව ලබා ගැනීමට නොහැකි වීම නිසා ගැටලු රාශියක් ඇති වෙන්න පුළුවන්. එහිදී රෝහලේ කාර්ය මණ්ඩලයත්, මවත්, විශාල පීඩනයකට මුහුණ දෙනවා. මේ ගැන මවුවරු හොඳින් අවබෝධ කර ගත යුතුයි.

එසේ රෝහලකට ඇතුළුවීමේදී විශේෂයෙන් මේ කාලයේ රැගෙන ආ යුතුවන්නේ මොනවාද?

එය ඉතාම වැදගත්. දරුවෙක් ලැබෙන්න සිටින මවක් සාමාන්‍යයෙන් රැගෙන ආයුතු බඩු ලැයිස්තුවක් තිබෙනවා. එයට අමතරව මේ කාලයේ මවක් රෝහලට ඇතුළු වන විට ඉතා පිරිසිදු, මවට පහසුවෙන් පැලදීමට හැකි ආරක්ෂිත මුඛ ආවරණ කිහිපයක් රැගෙන ආ යුතුයි. එසේ රැගෙන එන මුඛ ආවරණ මවට විශාල වේලාවක් පැලඳ සිටීමට සිදුවෙනවා. ප්‍රසුත වේදනාවක් හෝ අනෙකුත් ගැටලු සහ සංකූලතා ඇති අවස්ථාවක මුඛ ආවරණයක් පැලඳ සිටීම අපහසුයි. නමුත් සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කාලයේ කළ යුතුම කටයුත්තක්. මුඛ ආවරණය සාමාන්‍යයෙන් පැය 12ක් වැනි දිගු කාලයක් පැලඳ සිටීම අපහසුයි. එම නිසා එම ආවරණය ඉවත්කර වෙනත් මුඛ ආවරණයක් පැලඳීමට සිදු වෙනවා. එම නිසා මුඛ ආවරණ කිහිපයක් රැගෙන ඒම ඉතාම ප්‍රයෝජනවත්. මෙවැනි කාලයක දරුවකු ලැබෙන්න සිටින මවක් මුඛ ආවරණ කිහිපයක්(අවම වශයෙන් 2 ක්) කල් ඇතුව ළඟ තබා ගත යුතුයි. එසේම මවගේ සායනික සටහන් පතද රැගෙන ඒම නිවැරැදි තොරතුරු ලබා ගැනීමට පහසුවක්.

පවතින වාතාවරණය සමඟ සාමාන්‍යයෙන් සායන පවත්වන දිනය හා වේලාව දැන ගන්නේ කොහොමද?

ඔව්..... මෙවැනි කාලයක විශාල පිරිසක් එක් රැස්වීම අවදානම් නිසා සායන පැවැත්වෙන දිනය නිවැරැදිව දැන ගැනීම වැදගත්. ඔබ සායන පැවැත්වෙන දිනට පෙර දිනයේ අදාළ රෝහලට හෝ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබාදී එම දිනය පිළිබඳව දැන ගැනීම වැදගත්. එවිට ඔබට කිසිම බාධාවකින් තොරව පැමිණ කටයුත්ත සිදු කර ගන්න පුළුවන්. එසේම ඔබට කිසිම බාධාවකින් තොරව උපදෙස් සහ විටමින් ලබාදීම කර ගැනීමට හැකියාව තිබෙනවා. බොහෝවිට මේ දිනවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සායන පැවැත්වෙන දින පිළිබඳ මවුවරුන් දැනුවත් කරනවා. එසේ දැනුවත් කළ පසු සායනයට පැමිණීමට පෙර දිනයේ අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනිය අමතා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඔබට සුළු සෙම්ප්‍රතික්ෂාවක්, කැස්සක් ඇතිනම් ඒ බව දැනුම්දීම, සැමවිටම සත්‍ය තොරතුරු නොසඟවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දීම ඔබගේ ආරක්ෂාවටත් හෙට දිනයේ උපදින ඔබගේ දරුවාගේ ආරක්ෂාවටත් වැදගත් වේවි.

 

උපදෙස් - පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී

ඩබ්. ඒ. ටී. වර්ණසූරිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.