හඳුනා නොගත්තොත් දරුවාගේ පෙනීමට වාගේම ජීවිතයටත් තර්ජන එල්ල කරන රෙට්නොබ්ලාස්ටෝමා

මැයි 27, 2020

( මැයි 10 - 16 ත් අතර යෙදී තිබුණු ලෝක රෙට්නොබ්ලාස්ටෝමා පිළිබඳ දැනුවත් වීමේ සතිය නිමිත්තෙනි )

දරුවකු ලොව දකින්නේ මවගෙන්. මව ලොව දකින්නේ දරුවාගෙන්. එය සොබාදමේ අපූරු බැඳීමක්. මේ දෙදෙනාගේ දෙනෙතට දෙනෙත හමුවන්නේ මෙලොවට ජනිතවූ මොහොතේ පටන්ය. මවකට දරුවාගේ දෙනෙත් දෙස බලා ඔහුගේ / ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ද යම් නිගමනයකට එළඹිය හැකියි.

මේ එසේ විමසිලිිමත්වී දැනගතයුතු රෝග තත්ත්වයක්. මේ රෝගය හඳුන්වන්නේ රෙට්නොබ්ලාස්ටෝමා නමින්. රෙටිනොබ්ලාස්ටෝමා ලෝකයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ට ඇසේ ඇති විය හැකි පිළිකා තත්ත්වයක්. අලුත උපදින සෑම දරුවන් විසි දහසකින් එක් දරුවකු රෝගයට ගොදුරු වෙනවා. අපේ රටේ අවුරුද්දකට රෙටිනොබ්ලාස්ටෛීමා රෝගය සහිත දරුවන් විසි දෙනකු පමණ හමුවෙයි.

* මෙබඳු දරුවන් හඳුනා ගන්නේ කෙසේද?

රෝගය නිශ්චිතව හඳුනා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය වෙනවා. ඒත් රෝගය ඇතැයි සැක කළ හැකි ලක්ෂණ නිවෙසේදීම හඳුනා ගන්න පුළුවන්.

* නිවෙසේදී හඳුනාගත හැකි රෝග ලකුණු මොනවාද?

සාමාන්‍යයෙන් අලුත උපන් දරුවකු සති හයක් පමණ වන විට මවගේ මුහුණ දෙස බලා ප්‍රතිචාර දක්වමින් සිනාසෙනවා. මේ විදියට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වෙනවා නම් පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න. ඒ උපදෙස් මත අක්ෂි වෛද්‍ය විශේෂඥයකු මුණ ගැසෙන්න පුළුවන්.

* මේ දරුවන්ගේ ඇසේ දැකිය හැකි වෙනස්කම් මොනවාද?

දරුවාගේ ඇසේ බබා ලෙස හඳුන්වන කළු ඉංගිරියාවේ මැද කොටස සාමාන්‍යයෙන් තද කළු පැහැතියි. තද කළු පැහැයක් නැතිව වෙනසක් දැකිය හැකි නම් විශේෂයෙන් ඇසේ මැද සුදු හෝ කහ පැහැ ලපයක් ඇත්නම් ඉතා ඉක්මනින් අක්ෂි වෛද්‍යවරයකු කරා දරුවා රැගෙන යන්න.

දරුවා වපර කිරීම ද රෙටිනොබ්ලාස්ටෝමා රෝගයේ ලකුණක් වෙන්න පුළුවන්.

ඒත් මේ ලක්ෂණ දරුවන්ගේ වෙනත් අක්ෂි රෝගවලදී ද දැකිය හැකි නිසා අනිසි බියක් ඇතිකර ගන්න එපා.

 

*රෝගයට ප්‍රතිකාර තිබෙනවාද?

 

ඔව්. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ සාර්ථක ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබෙනවා. රෝගය මුල් අවස්ථාවේම හඳුනාගත් විට සියයට සියයක්ම වගේ සාර්ථකව පිළියම් කිරීමට පුළුවන්. රෝගය මුලින්ම හඳුනා ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි.

* ප්‍රතිකාර මොනවාද ?

පිළිකා නාශක ඖෂධ මෙන්ම ලේසර් ප්‍රතිකාර ද තිබෙනවා. ඇතැම් අවස්ථාවල සැත්කම් මඟින් ද රෝගය සුවපත් කරනවා.

මෙවැනි ප්‍රතිකාර මඟින් සියයට සියයක්ම රෝගය සුව කිරීමට පුළුවන්.

පමා වුණොත් හොඳ ප්‍රතිඵල ලබන්න අමාරුයි.

* රෙට්නොබ්ලාස්ටෝමා රෝගය නිසා දරුවන් අන්ධ වෙනවාද?

රෝගය ඇති වන්නේ දරුවාගේ ඇසේ වර්ධනය වන දෘෂ්ටි විතානයේ සෛලවලයි. රෝගය නිසා ස්නායු සෛල ටිකින් ටික විනාශ වෙනවා. රෝගය උත්සන්න වන විට ඇසේ දෘෂ්ටි විතානයේ සෛල විනාශ වෙන නිසා යළි යථා තත්ත්වයට පත් කරන්න බැරි තරමට ඇසේ පෙනීම දුර්වල වෙනවා. දෘෂ්ටිවිතාන සෛල විනාශ කරන රෙට්නොබ්ලාස්ටෝමා රෝගයට නිසි ප්‍රතිකාර නොලැබුණොත් ඊළගට ගොදුරු කරගන්නේ මොළයේ ස්නායු සෛලයි. අවාසනාවකට මේ අවස්ථාවට පත්වුණු දරුවකු බේරා ගැනීමට තවමත් වෛද්‍ය විද්‍යාවේ පිළියමක් සොයා ගෙන නැහැ.

මේ රෝගය ගැන සුළුවෙන් හිතන්න එපා. එය දරුවාගේ පෙනීමට වගේම ජීවිතයටත් තර්ජනයක් එල්ලකරන රෝගයක්.

 

 

උපදෙස් - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි ශල්‍ය වෛද්‍ය - හිරණ්‍ය අබේසේකර

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.