අධික රුධිර පීඩනයට ඖෂධ ගැනීම කෙණ්ඩා පෙරළීමට හේතුවක්

මැයි 27, 2020

අධික රුධිර පීඩනය රෝග රැසකට අතවනනවා

රුධිර නාල අපේ සිරුර පුරා දිව ගොස් අවශ්‍ය පෝෂණය, ඔක්සිජන් ලබා නොදෙන්නට අපට ජීවත් වීමට වරම් නොලැබෙයි. රුධිර පීඩනය අවශ්‍ය තරමට වඩා වැඩි වුණත් අඩු වුණත් එය ගැටලුවකි. නීරෝගි කෙනකුගේ තිබිය යුත්තේ 90/60 ථථඩ්ට් - 120/80 ථථඩ්ට් රුධිර පීඩනයකි. ඊට වඩා රුධිර පීඩනය වැඩි වීම ජීවිතයට තර්ජනයක් වන රෝග තත්ත්ව ගණනාවකටම හේතුවෙයි. හෘදරෝග, හෘදයාබාධ, ආඝාතය, හෘද අකර්මණ්‍යතාව, වකුගඩු ආබාධ, ඒ අතරින් ප්‍රධාන තැනක් ගනියි. තමන්ගේ රුධිර පීඩනය දැන ගැනීමට ඇති හොඳම මඟ රුධිර පීඩනය මැන බැලීමයි. වයස අවුරුදු 40 ට වැඩි සෑම පුද්ගලයකුම අඩු වශයෙන් වසරකට වරක් වත් රුධිර පීඩනය මැන ගත යුතුය. වයස අවුරුදු 65 ට වැඩි වීම, ස්ථුල වීම, අධික රුධිර පීඩනයෙන් පෙළෙන නෑයකු සිටීම, ලුණු අධික ආහාර ගැනීම, ඇතිතරම් ව්‍යායාම නොකිරීම, අධික ලෙස මත්පැන්, කෝපි පානය කිරීම, දුම්පානය, සුව නින්දක් නොලැබීම අධික රුධිර පීඩන අවදානම ඉහළ නංවන සාධකය. නීරෝගිමත් ජීවන රටාවක් අනුගමනය කිරීම අධික රුධිර පීඩනයෙන් ආරක්ෂා වී සිටීමේදී ඉතා වැදගත්ය.

උපදෙස් -

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

******************

මාංස පේශියක් හෝ් ඊට වැඩි ගණනක් ක්ෂණිකව හැකිළී ඇතිවන වේදනාව අපි කෙණ්ඩා පෙරළීමක් ලෙස හඳුන්වනවා. ජීවිතයේ වරක් හෝ දෙවරක් එය අත් නොදුටු කෙනෙක් ඇත්තෙම නැති තරම්.

ක්‍රීඩකයන් මේ අත්දැකීම නිතරම ලබන්නේ පමණට වඩා මාංසපේශි ක්‍රියාකරවීම, විජලනය ආදී තත්ත්වයන්ට නිතරම මුහුණ දෙන නිසයි. එකම ඉරියව්වක දිගු වේලාවක් සිටීම තවත් හේතුවක්. එකම මාංස පේශිය දිගු වේලාවක් ක්‍රියාකරවීමෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වන බව ඔබත් අත්දැක ඇති. එක දිගට ලිවීමේදී, බිත්තියේ තීන්ත ගෑමේදී ගෙවත්තේ එක දිගට යම් කාර්යයක නිරත වීමේදී මේ තත්ත්වයට මුහුණ දෙන අය ඕනෑතරම්. විවේකයෙන් සිටියදී නින්දේදී කෙණ්ඩා පෙරළීමේ අත්දැකීම ලබන අය ඉන්නවා.

* හේතුව කුමක්ද?

හේතූන් රැසක් බලපානවා. මාංසපේශි පමණට වඩා භාවිත කිරීම, විජලනය, තුවාල, මාංසපේශි ඇදීම් සුලබම හේතූන්. පාදවල කෙණ්ඩා පෙරළීමට නම් පාදයට නිසි පමණ රුධිරය නොලැබීම බලපානවා. ව්‍යායාම කිරීමේදී හා පාදයට රුධිරය සපයන නාල පටු වීමෙන් ඇතිවන වේදනාව ව්‍යායාමය නවතා මිනිත්තු කිහිපයකින් නැතිවී යනවා. කොඳුඇට පෙළේ ස්නායු තෙරපීමෙන් පාදවල වේදනාවක් කෙණ්ඩා පෙරළීමක් ඇති වන්න පුළුවන්. වැඩි දුරක් ඇවිදින විට මේ වේදනාව දරුණු වෙනවා. අධික රුධිර පීඩනයට ගන්නා ඖෂධ දිගින් දිගටම ගත යුතුයි. එවිටත් සිරුරට අවශ්‍ය තරම් පොටෑසියම් නොලැබී යනවා. එයත් කෙණ්ඩා පෙරළීමට හේතුවක්. පොටෑසියම් ස්නායු සහ මාංසපේශි ක්‍රියාකාරිත්වයට අවශ්‍යයි.

*ප්‍රතිකාර තිබෙනවාද?

දිගැදීමේ ව්‍යායාම මඟින් කෙණ්ඩා පෙරළිම අඩුකර ගැනීමට පුළුවන්. ඒ වාගේම විජලනයෙන් වැළකී සිටීමත් වැදගත්. විවේකයෙන් සිටීමෙන් සහනයක් ලැබෙනවා. දවසකට වතුර වීදුරු දහයක්වත් බොන්න. ව්‍යායාම කිරීමට පැය දෙකකටවත් පෙර ජලය පානය කරන්න. සිරුරේ ජලය සියයට එකක් අඩු වුණත් කෙණ්ඩා පෙරළීමට ඇති ඉඩ වැඩිවෙනවා. දිගැදීමේ ව්‍යායාම ඉතා වැදගත්.

පොටෑසියම් වාගේම සින්ක් ඌනතාව ද කෙණ්ඩා පෙරළීමට බලපානවා. සින්ක් සිරුරට අවශ්‍ය කුඩා ප්‍රමාණයක් නමුත් ඒ ප්‍රමාණය අවශ්‍යයි. ඇට වර්ග, තද තද කොළ පැහැ පලා වර්ග සින්ක්වලින් පොහොසත්.

විටමින් බී 12 අපේ මොළයේ ස්නායු ක්‍රියාකාරිත්වයට නැතිවම බැහැ.

සිරුරට නිසි විවේකයක් නොලැබීම තවත් හේතුවක්. සුව දායක නින්දකින් මාංසපේශි යථා තත්ත්වයට පත් වෙනවා.

කලවා පෙදෙසේ කෙණ්ඩා පෙරළීමට මැග්නීසියම් ඌනතාවත් බලපානවා. වැඩිපුර කෝපි, තේ පානය කිරීම, ජලය අවශ්‍ය තරම් පානය නොකිරීම මැග්නීසියම් ප්‍රමාණය අඩුවීම කෙරෙහි බලපානවා. මැග්නීසියම් ඌනතාව ඇත්නම් එප්සම් ලුණු ස්නානය කරන ජලයට එක්කරන්න.

වෙනත් රෝග තත්ත්ව ද මේ කෙරෙහි බලපානවා. දියවැඩියාව පාලනය නොකිරීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරිත්වය, අධික ලෙස මත්පැන් පානය කෙණ්ඩා පෙරළීමේ අවදානම ඉහළ නංවනවා.

 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය

දිමුතු ධර්මවර්ධන