උදෑසන පානයට දෝත මෙන් හතර ගුණයක් ජලය

ජුනි 17, 2020

ස්වස්ථතාව හෙවත් නිරෝගීබව සැමදා එක ලෙස පවත්වාගෙන යෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් මනා දිවි පැවැත්මක් නිරන්තරයෙන්ම උරුම කරනුයේ නිරෝගී බවින් පිරිපුන් ජීවිතයකි.

ආයුර්වේදයට අනුව දෛනික චර්යාවන් දිවා චර්යා සහ නිශා චර්යා ලෙසින් කොටස් කරයි. එනම් දිවා චර්යා අයත්වන්නේ සූර්යයාටයි. නිශා චර්යා සඳුට අයත් වේ. එනම් ඉරත් සමඟ අවදි වී සඳුත් සමඟ නින්දට යයි. මෙම චර්යාවන් රෝගී පුද්ගලයින්ට, වයෝවෘද්ධ අයට, ළදරුවන්ට එතරම්ම අදාළ නොවේ. ඔවුන්ට සුදුසු ලෙස ඒවා වෙනස් වේ.

අවදිවීම, පිරිසුදු වීම, අඳුන් ගෑම, නස්න යෙදීම, දුම්බීම සහ බුලත් සැපීම, ඇඟේ සහ හිසේ තෙල් ගෑම, ව්‍යායාම,නෑම, වැඳුම් පිදුම් කිරීම, රාජකාරි කටයුතුවල නියැළීම, කෑම බීම නින්ද.... මේ සියල්ල දෛනික කර්තව්‍යයන් ලෙසින් මනාව පවත්වාගෙන යා යුතු වේ.

බ්‍රහ්ම මූර්තියෙන් අවදිව

දවසේ ආරම්භය සිදුවන්නේ අවදි වීමෙනි. බ්‍රහ්ම මුහුර්තියෙන් අවදිවීම ආයුර්වේදය අනුමත කරයි. ඒ පාන්දර 4.25 - 5.15 ත් අතර වේලාවයි. සාමාන්‍ය පිළිගැනීමට අනුව අළුයම 4.00 න් පසු අවදි වීම උදේ 6.00 ට පෙර අවදිවීම සුදුසුයි. බ්‍රහ්ම මූර්තියම කලින් අවදිවීම ආයුර්වේදය අනුමත නොකරයි. වේලාව දෙවිවරුන්, ඍෂිවරුන්.... ආදීන්ට වෙන් කරයි. විද්‍යාත්මකව ගත්තක් හිරු කිරණ යාන්තමට අප වෙත එන වේලාව බ්‍රහ්ම මූර්තියයි. අපේ ශරීර උෂ්ණත්වය බොහෝවිට පරිසර උෂ්ණත්වය සමඟ සැසඳෙයි. උදේ 6.00 ට පසුවත් නිදාගැනීම සුදුසු නැත. ඒ වෙලාව වනවිට පමණට වඩා අධෝරක්ත කිරණ පෘථිවිය වෙත පැමිණෙයි. රෝගීන්, වැඩිහිටියන්, ළදරුවන් හැරුණු කොට අනෙකුත් අය මෙහිදී රෝගී කරයි.

අධ්‍යාත්මිකව පිරිසුදු වීම

එසේ බ්‍රහ්ම මූර්තියට අනුව අවදිවී කළයුත්තේ ආධ්‍යාත්මිකව පිරිසුදු කිරීමයි. මෙය තමන්ගේ ආගම දහමට අනුකූල වෙමින් කළ හැකිදෙයකි. මින් සිරුර අභ්‍යන්තරය පිරිසුදු වේ. මෙහි ඉතාම යහපත් මනෝවිද්‍යාත්මක දැක්මක් තිබේ. ඔබ නින්දට යනවිට මනසේ මැවෙන දේවල් සහ ඔබ අවදිවන විට මනසේ මැවුණු දේවල් දවසේ ක්‍රියාකාරීත්වය සඳහා බලපායි. මෙය සිග්මන් ෆ්‍රොයිඩ්ගේ න්‍යායකි. කෙනකු පිළිබඳ සිද්ධියක්, තරහකින්, ක්‍රෝධයකින් නින්දට ගියේ නම්, අවදි වූ පසුවත් එවැනි සිතුවිලි වේ නම් මොළයෙන් නිකුත් කරන්නේ විස රසායනිකයන් ය.

කය පිරිසුදු වීම

වැසිකිළි කැසිකිළි භාවිත කරමින් කය පිරිසුදු කරගැනීම මීළඟ කර්තව්‍යයකි. වේගයන් දරා සිටීම ආයුර්වේදයට අනුව කොහොමත් සුදුසු නැත. මුඛය සේදීම, මලමුත්‍රා පහකිරීම සිදු කළ යුතු වේ. මලමුත්‍රා පහකිරීමේ දී ආයුර්වේදය ඉතාම සංයමයක් බලාපොරොත්තු වෙයි. මේ සඳහා පරිහරණය කළයුත්තේ නිශ්චිත තැනකි. වලක් හාරා එය කොටුකර භාවිතයට ගන්න. ආයුර්වේදයට අනුව යම් කෙනකුට ස්ථිර වැසිකිළියක් නොමැති නම් එවේලේ හාරාගත් වලක බැහැර කොට සතෙකුට හෑරීමට නොහැකි පරිදි වසා දමා ගලක් වැනි බරක් ඒ මත තැබිය යුතුයි. මුත්‍රා කිරීමක් තැන් තැන්වල දැමීම, ගස්වලට දැමීම සුදුසු නොවේ. ජලයට මුත්‍රා කිරීමේදීත් සුදුසුම නැත සේදීමේ දීත් ජලයට බැස සේදීම සුදුසු නැත. ජලය පිටතට ගෙන සේදීමට පුළුවන. ඒ සෝදන වතුර පවා වලකට යවා වසා දමන්න යැයි කියයි.

දත්මැදීම

ආයුර්වේදය මෙහිදී කර්තව්‍යයන් දෙකක් බලාපොරොත්තු වෙයි. එකක් දත පිරිසුදු කිරීමයි. අනෙක විදුරුමස පිරිසුදු කිරීමයි. දත පිරිසුදු කිරීම සඳහා සුදුසු දැහැටි කූරු භාවිත කළ හැකියි. වර්තමානයේ නම් දත් බුරුසුවක් භාවිත කළ හැකියි. දැහැටි කූරු ලෙස ගස්වල මුල්ගැනීම වඩාත් සුදුසුයි. මුල් නොමැතිනම් අතුරිකිලි ගන්න. කරඳ මුල්, කරල් සාබෝ මුල්, පුවක් මුල්, තැඹිලි මුල් ඹගන්න. මේවා සොයාගැනීම අපහසු නම් තැඹිලි ගෙඩියේ නටුව ඇති කොටස වුව සුදුසුයි. මෙය භාවිතයට ගැනීමේදී එක් පැත්තක් කටින් සපාගන්න. ඉන් දත අතර ඇති ඒවා පිරිසුදු කොට කෙඳිවලින් හොඳින් දත් මදින්න. මෙය සපමින් මදින්න යැයි කීවේ සෑම දැහැටි කූරකම ඖෂධීය වටිනාකමක් ඇති නිසාය.

ලබන සතියේ, දුම්පානය, බුලත්කෑම දෛනික ජීවිතයේ අංගයක් ලෙසින්

 

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක

කමල් එස්. ජයසේකර

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.