කෝවිඩ්-19 කුමන අවයවයට බලපෑවත් ප්‍රතිඵල භයානකයි

ජුනි 24, 2020

නව කොරෝනා වෛරසය නම් භයානක සිහිනය තවමත් අප දකිමින් සිටියි. දෑස් පිසදා දැන් සිහිනය දැක අවසන් කියා සිතුවොත් එය වැරැදියි. තවමත් ලොව දියුණු යැයි සම්මත රටවල් උත්සාහ ගන්නේ කෝවිඩ් - 19 නම් යකා මොනතරම් කළුදැයි කියා සොයා බැලීමටයි.

සාමාන්‍ය උණ සෙම්ප්‍රතිෂ්‍යාවකදී මෙන් මේ වසංගත රෝගයේදීත් උණ, කැස්ස, මස්පිඬු වේදනාව, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, වැනි රෝග ලකුණු ඇතිවන බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් මිලියන පහ ඉක්මවා ගොස් ඇති රෝගීන්ගෙන් ඊට අමතරව තවත් විවිධ වූ රෝග ලකුණු වාර්තා වෙමින් පවතියි. සමේ දද, පාචනය, වකුගඩුවල වෙනස්කම්, රුධිරය කැටි ගැසීම් මේ රෝග ලකුණු අතර තිබේ. වෛරසයක් මෙලෙසින් පෙණහලුවලට අමතරව සිරුරේ වෙනත් අවයවවලට බලපෑම අසාමාන්‍ය නැත. එහෙත් ස්වසන පද්ධතියට මූලික වශයෙන් බලපෑම් එල්ල කරන වෛරසයක් මේ අයුරින් මුළු සිරුරටම බලපෑම් කිරීම ගැන වෛද්‍යවරුන්ට පවා පුදුමයකි. රෝගීන් ගණන වැඩි වීමත් සමඟ ස්වසන පද්ධතියෙන් පිටත ඇති වන රෝගී තත්ත්ව වර්ධනය වීම වැඩි විය.

 

මේ පෙණහලුවලින් පිටත වෙනත් ඉන්ද්‍රියයන් සහ අවයවවල ඇති වන ලකුණු

*සමේ දද, පාදවල ගැටිති (කෝවිඩ් ටෝස්)

වෛරසයක් ආසාදනය සමඟ සමේ දද, පලු ඇති වීම සාමාන්‍යය. පැපොල රෝගය මීට උදාහරණයකි. වෛරසය සමට බලපෑමෙන් හෝ වෛරසයට එරෙහිව ප්‍රකිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වීමේදී ඇතිවන අතුරු පලයක් ලෙස මෙසේ දද, පලු ඇතිවිය හැකිය. කෝවිඩ් - 19 නිසා සමේ ඹ්නෑම තැනක රතු පැහැ දද, සමේ ඇතිවන මී මැසි වද වැනි පලු, සමේ විශාල පෙදෙසක් වසා පැතිරෙන ලේන් හැඩැති රෝස පැහැති දද ආදිය දැකිය හැකිය. පාදයේ ඇඟිලි කරු සහ යටි පතුල ආශ්‍රිතව ඇතිවන රතු පැහැ මෘදු ගැටිති ගැන වැඩි දෙනකුගේ අවධානය යොමුවී ඇත.

 

කෝවිඩ් පා ඇඟිලි

(කෝවිඩ් ටෝස්) යන නම ද ඊට පටබැඳී තිබේ.

තවමත් මේ ලක්ෂණ සහ කෝවිඩ් සමඟ ඇති සම්බන්ධතාව ගැන චර්ම රෝග විශේෂඥයන් සහ විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ පවත්වති. සබඳතාව සොයා ගැනීමෙන් රෝගය හඳුනා ගැනීමත් ප්‍රතිකාර කිරීමත් වඩාත් පහසු වෙයි.

 

ඛේඨය සමඟ විසබීජය ආමාශයට

නව කොරෝනා වෛරසය සිරුරේ සෛලයක් හා සම්බන්ධ වීමෙන් තම වර්ධනය සිදුකර ගනියි. පෙණහලුවල සෛලවල මෙන්ම බඩවැල්වල ඇති සෛලවල ඇති විශේෂ ප්‍රෝටීනයකට නව කොරෝනා වෛරසය සම්බන්ධ වෙයි. වෛරසය කෙළ බිඳීතිවල පැවතීමත් ඛේඨය සමඟ වෛරසය බඩවැල්වලට යාමත් නිසා බඩවැල්වලට මින් බලපෑමක් වේවිදැයි යන සැකය මුල සිට වෛද්‍යවරුන් අතර පැවතිණි. එය සනාථ කරමින් රෝගීන් සංඛ්‍යාව ඉහළ යද්දී පෙණහලු ආසාදනයකදී ඇතිවන ලක්ෂණවලට අමතරව පාචනය, වමනය, ඔක්කාරය වැනි උදරාබාධ ලක්ෂණ ද ඇතිවිය. සමහරු පෙණහලු ආශ්‍රිත ලකුණු නොපෙන්වා බඩවැල් ආශ්‍රිත ලකුණු පමණක් පෙන්නුම් කළහ. උදර ආන්ත්‍රික විද්‍යාවේදයේ අමෙරිකානු ජර්නලයේ වාර්තාවකට අනුව රෝගීන්ගේ බඩවැල්වලට වෛරසය ආසාදනය වූ විට රෝගය වඩාත් බරපතළ වී ඇත. බඩවැල්වලට වෛරස ආසාදනයවූ පුද්ගලයන් කෝවිඩ් - 19 වසංගතයට ගොදුරුවූ බව හඳුනා ගැනීමට කලක් ගතවී ඇති අතර රෝගය සුවවීමට ද කලක් ගත වෙයි. එවැනි රෝගීන්ගේ රෝග තත්ත්වය ද බරපතළ වෙයි. වාසනාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයගෙන් බහුතරයක් අන්ත්‍රවලට ආසාදනය වූවන් නොවෙයි. ඛේඨය සමඟ විසබීජය ආමාශයට පැමිණියත් අම්ල ගතිය නිසා විනාශ වෙයි. එහෙත් ගැස්ට්‍රයිටිස් හෙවත් ආමාශදාහයට ඔසු ලබා ගන්නා අයට අවදානම වැඩියි.

ටයිම් සඟරාව ඇසුරිනි

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.