සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතිය යුතු පාසල් වාරයක්

ජූලි 29, 2020

ක බඩවැල කඩා ගෙන ආ සොයුරු සොයුරියන් වගේ වෙරළු ගෙඩිය හරි අටකට බෙදාගෙන මිතුරු මිතුරියන් සැහැල්ලුවෙන් සතුටින් නිදහසේ පාසල් ගියා. ඒත් කෝවිඩ් - 19 ගෝලීය වසංගතය මොනතරම් දේ වෙනස් කළාද ? නව කොරෝනා වෛරස් තර්ජනය නිසා දූ දරුවන්ට පාසල් වැසී තෙමසක් පමණ ගත වුණා.

නැවත ශ්‍රේණි කිහිපයකට පමණක් පාසල් විවෘත වෙලා. මුලින් කඩඉම් විභාග පැවැත්වෙන පන්ති ඇරැඹුණත් රටේ වාතාවරණය බොහෝදුරට යහපත් නිසා සියලුම ශ්‍රේණිවල සිසුන්ට නැවතත් පාසල් ඉක්මනින්ම විවෘත වේවි. වෙනදා අත්දුටු පාසල් වාරයට වඩා නව පාසල් හාත්පසින්ම වෙනස්. 2020 ජූලි මාසයෙන් ඇරැඹි පාසල් වාරයේදී සුපුරුදු චර්යා රටාව වෙනුවට දූ දරුවන්ට වගේම ගුරු දෙගුරුන්ටත් වෙනස්ම ජීවන රටාවකට හුරු පුරුදු වෙන්න සිදු වෙලා. පාසල් භූමියේදීත් මහ මඟදීත් නිවෙසේදීත් තමන් වෙනුවෙනුත් අන්‍යයන් වෙනුවෙනුත් තම ජීවන රටාවට එක්කර ගතයුතු සෞඛ්‍ය පුරුදු ගණනාවක් එකතු වෙලා. අධ්‍යාපන අමාත්‍යංශයත් සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්වී සිසු දරු දැරියන්ගේ මාපියන්ගේ ගුරුවරුන්ගේ සුව සම්පත වෙනුවෙන් ආරක්ෂාකාරී පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් ක්‍රියා කරන සෞඛ්‍ය ආයතනයක් වන්නේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයයි. මේ වැදගත් පියවර ගැන තරුණී පාඨකයන් දැනුවත් කරන්නේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මියයි.

 

* දරුවන්ට රෝගයට භීතිකාවක් ඇත්නම් ආතතියක් ඇත්නම් දුරුකරන්න.

රට වසා දැමූ කාලය පුරාම දරුවන්ට අසන්න දකින්න ලැබුණේ කෝවිඩ් - 19 වසංගතයෙන් දුක් විඳීන මිය යන රෝගීන් ගැන තොරතුරුයි. ඒ වාගේම සුපුරුදු ජීවන රටාවෙන් සම්පූර්ණයෙන් අත් මිදෙන්නත් සිදුවුණා. ඒ නිසා පුංචි සිත් රිදුණොත් ආතතියක් ඇති වුණොත් පුදුමයක් නැහැ. එසේ ආතතියට භීතියට පත්වූ දරුවන් මුලින්ම හඳුනා ගත හැක්කේ ගුරු දෙගුරුන්ටයි. මාපියන්ට ගුරුවරුන්ට දරුවන්ගේ බිය නැතිකරන මානසිකව දරුවා ශක්තිමත් කිරීමේ වගකීම පැවරිලා තියෙනවා. මාපියන්ට දරුවන්ගේ මානසික ගැටලුවලට සහනයක් ලබා දීමට නොහැකි නම් පිහිට පැතිය හැකි තැන් තියෙනවා. මානසික සෞඛ්‍ය විද්‍යායතනය (දුරකථන අංකය 1926) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (දුරකථන අංක 1999) සුමිත්‍රයෝ (දුක 0112696666/ 0112692909 ) එවැනි තැන්. රජයේ රෝහල් ආශ්‍රිතව ඇති මිතුරු පියස සේවාව මඟින් ද මානසිකව සහනයක් ලබා දෙන්න පුළුවන්.

* නව පාසල් වාරයේ වෙනස කියා දෙන්න.

කෝවිඩ් - 19 වසංගතය නිසා අපේ ජීවන රටාව උඩු යටිකුරු වුණා. ජීවන රටාවේ සෑහෙන වෙනස්කම් සිදු කරගන්න වුණා. දූ දරුවන්ට නම් මේ වෙනස තදින්ම දැනෙන්නේ නව පාසල් වාරයත් සමඟයි. පොත් බෑගය අරන් නිදහසේ මිතුරු මිතුරියන් සමඟ අතිනත පටලවා ගෙන දිව ගෙන යන්න දැන් බැහැ. අවුරුදු චාරිත්‍ර වගේ අකුරට ඉටු කරන්න ඕන සෞඛ්‍ය ආරක්ෂක නීති චක්කරයක් වගේ මතක තියෙන්න ඕන. උදේට කඩිමුඩියේ පොත් මල්ල රැගෙන දුවලා යන්න කලින් නිවැරැදිව මුව ආවරණය ( මාස්ක් ) පැලඳීය යුතුයි. නිවෙසේ සිට පාසල් භූමියට යන තුරුත් පාසල් බිමේදීත් පාසල නිමවී යළි නිවෙසට එනතුරුත් දුරස්ථ භාවය පවත්වා ගන්න ඕන.

දරුවන් පන්තිය තුළදී මුව ආවරණ පැලඳීිම අවශ්‍ය නැහැ. ඒත් පාසලට යද්දීත් එද්දීත් මුව ආවරණ පැලඳීම වැදගත්. බොහෝවිට දරුවන් පාසල් යන්නේත් එන්නේත් පොදු වාහනවල. කෙබඳු රෝගීන් එබඳු වාහනවල ගමන් කරනවාද කියන්න බැහැ. ඒ නිසයි යන එන කොට මුව ආවරණ පැලඳීම වැදගත් වෙන්නේ. ඒ වගේම දුරස්ථභාවය පවත්වා ගැනීමට නොහැකි සැම තැනකදීම මුව ආවරණ පැලඳීම අනිවාර්යයි.

 

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ

චිත්‍රමාලි ද සිල්වා

 

 

2020/07/29 තරුණි බලන්න