තේ කෝප්පයට එකතු කරන සීනි හැඳී ගණනින් සෞඛ්‍ය අනාවැකි කියන්න පුළුවන්

පෙබරවාරි 3, 2021

තේ කෝප්පෙන් ආදරේ පෙන්වු කාලයට ආයූබෝවන් කියමු.

 

මීට කාලෙකට කලින් අමුත්තකුට ඇති ආදරය තේ කෝප්පයෙනුත් දෝරෙ ගැලුවා. තේ කෝප්පෙට වැඩි වැඩියෙන් සීනි දාලා ආදරේ පෙන්නුව කාලෙට දැන් ඉතින් ආයුබෝවන් කියන්න වෙලා.

හිතවතකුට තබා සතුරකුට වත් වැඩිපුර සීනි දාලා තේ දෙන්න එපා කියන උපදෙස සෞඛ්‍ය අංශවලින් නිතරම ලබා දෙනවා.

ඒ කොපමණ උපදෙස් ලබා දුන්නත් දවසකට ඔබ මොනතරම් සීනි ප්‍රමාණයක් පරිභෝජනය කරනවාද? දවසකට තුන්වරක් සීනි හැඳී තුනක් දමා තේ බොනවා නම් මාසෙකට සීනි කිලෝ 1 යි ග්‍රෑම් 710 ක් බොනවා. රෝගී වුණාමයි අපට සීනිත් එක්තරා වසක් කියා තේරෙන්නේ. මේ වැරැද්ද නිවැරැදි නො කළොත් දියවැඩියාව වැනි එක් බෝ නො වන ‍රෝගයකට එකකට පමණක් නොව රෝග රැසකට ගොදුරු වෙනවා.

දවසකට ඔබ තේ කෝප්ප කොපමණ ගණනක් බොනවාද? සීනි හැඳී කීයක් දානවද? ඒ අනුව ඔබ ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ ඉරණම තීරණය කරනවා. වෛද්‍ය නිර්දේශයට අනුව නම් එක් තේ කෝප්පයකට සීනි තේ හැඳී භාගයක් හෝ කපාපු සීනි තේ හැන්දකට වඩා දැමීම සුදුසු නැහැ. සීනි නැතුව තේ බීමට හැකි නම් වඩාත් යහපත්. සීනි ගැනීමට භාවිත කරන හැන්ද ද වැදගත්. තේ හදන හැන්ද මේස හැන්දක් ද තේ හැන්දක් ද නැත්නම් වෙනත් ප්‍රමාණයක හැන්දක් ද කියා වැඩි දෙනකුට වැටහීමක් නැහැ. සීනි ගන්නේ තේ හදන හැන්දෙන්. ඒත් සීනි ගන්න ඕන තේ හැන්දෙන්ම විතරයි.

දැනටමත් තේ කෝප්පයට සීනි හැඳී තුනක් දානවා නම් ගහෙන් ගෙඩි එන්න වගේ සීනි හැඳී තුන, කපාපු තේ හැන්දකට ගේන්න බැහැ. ටිකෙන් ටික තේ හැන්දට එක් කරන සීනි ප්‍රමාණය අඩු කරන්න. සීනි හැඳී තුන සීනි හැඳී 2 1/2 කට අඩු කරන්න. සුමානයකට පසු සීනි හැඳී තේ හැඳී දෙකකට සීමා කරන්න. කපාපු සීනි තේ හැන්ද දක්වා හෝ සීනි තේ හැඳී භාගය දක්වා හැඳී ප්‍රමාණය අඩු කිරීමේ පළමු පියවර එයයි.

දරුවකුට ඉපදී වසරක් යනතුරු සීනි, ලුණු අඩංගු ආහාර සීමා කරන්නේ දිවට ඒ රස හුරුවීම වළක්වන්නටයි. දිවට අඩු සීනි රස හුරු කිරීමේ වගකීම ඇත්තේ මවගේ අතේයි.

 

 

සීනි චක්කරේ

 

තේ හැඳී එකක් දානවා නම් දිනකට තුන් වරක් තේ පානය කරනවා නම් සීනි ග්‍රෑම් 19 ක් බොනවා. මාසයකට ග්‍රෑම් 570 ක් පෙවෙනවා.

දවසකට තේ කෝප්ප තුනක් බොනවා නම් එක කෝප්පයකට සීනි හැඳී දෙකක් දානවා නම් නො දැනුවත්වම සීනි ග්‍රෑම් 38 ක් පෙවිලා. මාසයකට ග්‍රෑම් 1,140 ක් සීනි බීලා.

තත්ත්වය තවත් භයානක වෙන්නේ දවසකට සීනි තේ හැඳී තුනක් දාලා තේ කෝප්ප තුනක් බිව්වොත්. එවිට දිනකට ග්‍රෑම් 57 ක් , මාසයකට ග්‍රෑම් 1,710 ක් පෙවෙනවා. අවුරුද්දකට පෙවෙන ගණන ග්‍රෑම් 20520 ක්.

------------------------------------------------

ගෙදර දොරේ වැඩපලට කම්මැළි වෙන්න එපා

 

ගේ දොර රාජකාරි විසි එක් වැනි සියවසේ කාන්තාවන්ට නම් කල්කදුරු වගේ තිත්තයි. අල ගෙඩියක් වගේ එක තැනක ඉඳගෙන ස්මාට්ෆෝන් එකේ ඇලීගැලී සිටීම ඔවුනගේ එකම රාජකාරියයි.

දවසකට වනාඩි 30, එනම් පැය භාගයක් ව්‍යායාම කළ නො හැකි නම් මේ වගේ අයට අපූරු උපදෙස් මාලාවක් වෛද්‍යවරුන් ලබාදී තිබෙනවා. ඒ අපේ ආත්තම්මලා මෙන් ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීමයි. නිවෙසේ රාජකාරි කිරීම, පඩි නැඟීම, බර භාණ්ඩ රැගෙන යාම ශරීර සුවතාවට ඉතා වැදගත්. ක්‍රියාකාරී නොවී කාලය ගත කරන විට සිරුරේ බොහෝ පද්ධතීන් නිසියාකාරව ක්‍රියාකාරී වන්නේ නැහැ. එවිට ඒවායේ ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් වියැකී යනවා. අප අනවශ්‍ය ලෙස දිගු කලක් ඉඳගෙන සිටින විට අපේ සිරුරේ පහළ ඇති විශාල මාංසපේශි ( කළවා වැනි ) වලට ලැබෙන රුධිරය ක්‍රමයෙන් අඩු වන්නට ගන්නවා. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාවට බාධා වෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩිවීම සිරුරේ දිගු කාලීන ප්‍රදාහයන්ට මඟ පාදනවා. දියවැඩියාව, ඩිමෙන්ෂියා, සමහර පිළිකාවලට මඟ පෑදෙනවා. දිගටම වාඩි නොවී පැය භාගයකට වරක් වත් සැහැල්ලු ක්‍රියාකාරකමක නියැළුණත් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඇති හැකියාව ගිලිහී යන්නේ නැහැ. ක්‍රියාකාරීව සිටීම අපේ හෘද නාල පද්ධතියට අත්‍යාවශ්‍යයි. වාඩිවී සිටිය ද අසුනේ සිට සිදුකරන සුළු චලන පවා රුධිර සංසරණය හොඳීන් පවත්වා ගෙන යන්න ආධාරයක්. පාදවල නහරවලට ඇති හොඳම ව්‍යායාමය ඇවිදීම. නිවෙස වටා ඇවිද්දත් දෙපාවල රුධිර සංසරණය හොඳීන් සිදු වෙනවා. අප ක්‍රියාකාරී වන විට අපේ මොළය ද උත්තේජනය වෙනවා. ආතතිය අඩුවී විෂාදය පහව යනවා. සුවදායක නින්දකට මඟ පෑදෙනවා

 

 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේඥ

ශාන්ති ගුණවර්ධන