තෙල්වලින් දුම් පිට වෙනකම් බදින්න එපා

පෙබරවාරි 24, 2021

මාරයා ඉක්මනින් ළං වේවි

 

"මට නම් තෙල් දාන්නෙ නැතුව කන්නම බෑ. ඔෆිස් ගෙනියන කෑමවලට තෙල් දාන්නම ඕනෙ" මෙහෙම කියන අය සමාජයේ ඕනෑතරම්.

කිරෙන් පැණියෙන් මෙන්ම තෙලෙන් ඉතිරෙන්නත් කෑම හදන්න අපේ ගෘහණියන් හරිම දක්ෂයි. ඒත් මේ හැම දෙයින්ම තමන්ටත් පවුලේ අයටත් සිරුරින් දැල්වෙන්නේ රතු එළියක් නම්. කෑමවලට තෙල් දැමීමෙන් කෑමට රසක් එක්වන බවත් වැඩි කලක් තබා ගන්න පුළුවන් බවත් සැබෑවක්. ඒත් ඒ නිසා මාරයා ඉක්මනින්ම ළං වෙනවා නම්....... මේ නිසා රසට කලින් අප සෞඛ්‍ය ගැන සිතිය යුතුයි. ලුණු, සීනි වගේම තෙල් ද ගෘහණියට දැන් ප්‍රහේලිකාවක් වෙලා.

තෙල් කී විට අපට මුලින්ම මතකයට එන්නේ පරම්පරා ගණනක් තිස්සේ භාවිත කරන පොල් තෙල්. අප නො දන්නවාට පොල් කිරිවලින් උයන ආහාර වලින් ද පොල් තෙල් සිරුරට එක් වෙනවා. මෙහෙම වෙන්නෙ එළවළු මුලින් වතුරෙන් තම්බා අවසානයට කිරි එක් නො කරන විටයි. මිටි කිරෙන්ම කෑම පිසීමේදී අවසන ඒවා පොල් තෙල් බවට පත් වෙනවා. තෙල් පෑදුනු ව්‍යාංජනය දිිවට වැඩි රසයක් ඒක් කළත් සිරුරට අහිතකරයි.

යන අන්දම අනුව තෙලෙහි ස්වභාවය වෙනස් වෙනවා. ගැඹුරු තෙලේ බදින්න වඩාත් සුදුසු තෙල් වර්ගයක් වන්නේ අප කාටත් හුරුපුරුදු සංතෘප්ත තෙල් අඩංගු පොල් තෙල්. කෑමක් තෙම්පරාදු කිරීමේදී අනෙක් තෙල් වර්ගත් නරක නැහැ. එහෙත් ඔලිව් තෙල් මේ අතරින් වඩාත් සුදුසුයි. සූරියකාන්ත තෙල්, සෝයා තෙල් වැනි තෙල්වල සිරුරේ ඇති ආසාදන වැඩි කරන ගුණයක් පවතිනවා. ගැඹුරු තෙලේ බදින්න පොල් තෙලුත්, තෙම්පරාදු කිරීමට ඔලිව් තෙල් වැනි වෙනත් තෙලකුත් යොදා ගැනීමෙන් සංතෘප්ත මේදයත්, අසංතෘප්ත මේදයත් දෙකම ලැබෙනවා. අත්‍යාවශ්‍ය මේද අම්ල ඇත්තේ ඔලිව් තෙල් වැනි තෙල් වර්ගවලයි. පොල් තෙල්වල අත්‍යාවශ්‍ය මේද අම්ල නැහැ.

ගැඹුරු තෙලේ බදින තෙල් වරක් භාවිත කළ පසු නැවත වරක් භාවිත කිරීම සුදුසු නැති බව මෑතකදී සුව අංශවලින් ගෘහණියට කියා දුන් පාඩමක්. මෙසේ බදින්න හොඳ නැත්තේ එළවළු තෙල් වැනි තෙල් වර්ගයි. එවැනි තෙල් එක් වරක් වත් ආහාර බදින්න පෝෂණ වේදීන් නිර්දේශ කරන්නේ නැහැ. පොල් තෙල් තුන් වරක් හතර වරක් බදින්න භාවිත කරන්න පුළුවන්. ඒ්ත් බැදීමෙන් පසු කළු පැහැ ගැන්වුණු පොල් තෙල් නම් යළි භාවිතයට ගැනීම සුදුසු නැහැ.

තෙල් රත් කිරීමේදී දුම් දමන තත්ත්වයට එන උෂ්ණත්වය තෙල් බෝතල්වල ලේබලයේ් 'ස්මෝකිං පොයින්ට්' ලෙස දක්වා තිබෙනවා. දුම් දමන අවස්ථාවේදී තෙල්වල සංයුතිය වෙනස් වෙනවා. පොල් තෙල්වල තියෙන්නේ සංතෘප්ත මේදය නිසා දුම් දමන අවස්ථාවට ආවත් ලොකු වෙනසක් වන්නේ නැහැ. ඒත් අනෙක් තෙල්වල විශාල වෙනසක් සිදු වෙනවා. සූරියකාන්ත, සෝයා, කැමෝලා වැනි අසංතෘප්ත මේදය අඩංගු තෙල්වල දුම් දැමීම පටන් ගත් විට රසායන සංයුතියේ වෙනස් වීමක් ඇතිවී ට්‍රාන්ස් මේදය සෑදීම ඇරැඹෙනවා. ට්‍රාන්ස් මේද අම්ලය හෘද රෝග, පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා.

මේ අවදානම අඩු කරන්න නම් තෙම්පරාදු කිරීමේදී ගෘහණියන් සැලකිලිමත් වෙන්න ඕන. භාජනය රත්කර තෙල් දැමීමේ පුරුද්ද ඇත්නම් ඒ පුරුද්දෙන් වහාම අත් මිදෙන්න ඕන. රත්කර භාජනයට තෙල් දමා තෙල් ද දුම් දමන තුරු සිටීම නරකම පුරුද්දක්. දුම් දමන්නේ තෛල් රසායන සංයුතිය වෙනස්වූ පසුවයි. කඩෙන් කන අයට අවදානම වැඩි ඔවුන් වැඩි පුර භාවිත කරන්නේ පාම් ඔයිල් නිසයි. පාම් ඔයිල් දුම් දමන අවස්ථාවට ඒන විට ට්‍රාන්ස් මේදය හැදෙන්න පටන් අරන්. තෙල් දමන තාච්චියේ වතුර ස්වල්පයක් තැබීමෙන් තෙල් දුම් දමන අවස්ථාවට ඒන්නේ නැහැ.

============================================

මුඩු රස පොල් තෙල් කිසිවිටකත් භාවිතට නො ගත යුතුයි. මුඩු රසයක් ඇති වන්නේ දිලීරයක් වර්ධනය වන විටයි. මෙවැනි දිලීර ශරීරගතවූ විට අක්මා පිළිකා ආදිය සෑදෙන්න පුළුවන්. රත් කළත් මේ දිලීරය විනාශ වන්නේ නැහැ.

සිසිල් දේශගුණයකදී පොල් තෙල් මිදෙයි. ඒත් වායු සමීකරණය කළ පරිසරයකදී මිදෙන්නේ හොඳ පොල් තෙල් නෙවෙයි. කලවම් කළ තෙලුයි.

පොල් තෙල් සුදු වන්නේ තවත් රසායනික ක්‍රියාවලියකට ලක් කිරීමෙන්. එහිදී ඒහි ස්වභාවිකත්වයට හානි සිදු වෙලා නිසා වඩාත් සුදුස ස්වාභාවික පොල් තෙල් පරිභෝජනයයි.

දිනකට තෙල් මේස හැන්දකට වඩා ගැනීම සුදුසු නැහැ.

පොල් ආහාරයට ගත හැකි වඩාත්ම සෞඛ්‍යයට හිතකර ක්‍රමය පොල් සම්බෝලයි. එයින් සිරුරට දවසකට අවශ්‍ය ඛනිජ ලවණ, ප්‍රෝටීන, තන්තු විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දිනපතා පොල් සම්බෝල මේස හැන්දක් දෙකක් කෑමට ගැනීම හොද පුරුද්දක්. එයින් අනවශ්‍ය ලෙස තෙල් එක් වන්නේත් නැහැ.

 

‍උපදෙස් - පෝෂණ වේදය පිළිබද විශේෂඥ වෛද්‍ය
රේණුකා ජයතිස්ස

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.