සිත උදාසීන කරන ඩිස්තයිමියාට පරදින්න නම් එපා

මාර්තු 31, 2021

 

තමන්ගේ සිතිවිලි සමඟ කරන යුද්ධය ලෝක යුද්ධයකටත් වඩා භයානකයි. සිතිවිලි සමඟ කරන අරගලයෙන් පැරදුණොත් අවසානය හතර රියනක් වෙන්න පුළුවන්.

අපේ රට එවැනි සිදුවීම්වලට තෝතැන්නක්. ආදරයෙන්, සමාජ ගැටලුවලින්, පවුලේ ගැටලුවලින් පලා යන්නන් ආදී විවිධ පුද්ගලයන් “ සිය දිවි නසා ගැනීම“ නම් ක්ෂණික විසඳුම තෝරා ගන්නේ මිනිසත් බවටත් නිගා දෙමින්. මේ ලොව තවත් තත්පරයක් හෝ ජීවත් වීමට උත්සාහ ගන්නන් සිටින ලොවක නිමේෂයක්වත් ජීවිතයට ඉඩක් ලබා නො දෙන්නන් සිටීම ඉතා අවාසනාවක්.

1995 වසරේදී ලොව වැඩිම සියදිවි නසා ගන්නන් සිටින රට ලෙස අපේ රට ලෝක වාර්තාවක් තැබුවා. මේ වන විට ලංකාව සිය දිවි නසා ගන්නන් වැඩිම රටවල් අතරින් 29 වැනි තැන සිටිනවා. එයත් අපට සතුටු විය හැකි තත්ත්වයක් නො වෙයි. සැබැවින්ම ලංකාවේ නම මේ ලේඛනයේ සඳහන් විය යුතු නැහැ. ජීවිතයක් කියන්නේ තමන්ගේ මනාපයට සියල්ල කළ හැකි සින්නක්කර දේපලක් නෙවෙයි. මව, පියා සමඟ අපේ ජීවිත බද්ධ වෙන්නේ ඉපදෙන්නත් කලින්. වැඩී උස් මහත් වූ පසු කොළයක නාරටි වගේ සබඳතා ජාලයක් ගොඩ නැඟෙනවා. එවැනි සබඳතාවක් නැතත් අපට උපදින දිනය තීරණය කළ නො හැකි සේ මිය යන දිනය ද තීරණය කිරීමට බැහැ. ඒත් ජීවිතය ගැන තමන්ට නැති අයිතියක් මෙලෙස උරුම කරගන්නේ ඇයි ? විවිධ හේතු මේ කෙරෙහි බලපානවා. ඒ අතරින් ඩිස්තයිමියා, විෂාදය විශේෂයි. මේ තත්ත්ව කෙනකුට ජීවිතය එපා කරවීමට, ජීවිතෙන් පලා යාමට හේතු වෙනවා.

ඩිස්තයිමියා කියන්නේ විෂාදීය අක්‍රමිකතාවක්. එය දිගුකල් පවතින විෂාදීය තත්ත්වයක්. වසර ගණනක් මේ තත්ත්වය කාලෙන් කාලෙට ඇතිවී නැතිවී යාමට පුළුවන්. ඒත් සමහරුන්ට මාස දෙකකට වැඩි කාලයක් ඩිස්තයිමියා ලක්ෂණ පවතිනවා. මොනවද මේ ඩිස්තයිමියා ලක්ෂණ?

එදිනෙදා කරන කිසිදු වැඩක් උනන්දුවකින් කැමැත්තකින් නො කිරීම

ජීවිතයේ හිස් බවක්, දුකක් දැනීම, අසුබවාදී මානසිකත්වයක් ඇති වීමබලාපොරොත්තුවක් නැති වීමවෙහෙස, ශක්තිය අඩු බවක් දැනීම

ආත්ම විශ්වාසය අඩු වීම, තමන් විසින්ම තමන්ව විවේචනය කරගැනීම, තමන් නුසුදුස්සෙක්යැයි හැඟීම

සිත එකඟකර ගැනීමට නො හැකි වීම

තීරණ ගැනීමට නො හැකි වීම

නො රිස්සුම් සහගත බව, අධික කෝපය

කාර්යක්ෂමතාව හා කරන වැඩ ප්‍රමාණය අඩු වීම

සමාජ ක්‍රියාකාරිත්වයන් අඩු වීම

අතීතය ගැන පසුතැවිලි වීම

වරදකාරී බවක් දැනීම

ආහාර අරුචිය හෝ පමණට වඩා ආහාර ගැනීම

නිදා ගැනීමේ ගැටලු

මෙවැනි හැඟීම් දිගටම පවතිනවා නම් “ ඒ මගේ හැටි “ කියා කමන් ගැන තමන්ම තීරණයකට එළඹෙන්න එපා. වහාම වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර පැතිය යුතුයි. උග්‍ර විෂාදීය තත්ත්වයට මඟ පෑදෙන්නේ මෙවැනි ලක්ෂණවලින්. කලට වේලාවට ප්‍රතිකාර නො ගත්තොත් ජීවිතය අනතුරේ.

මෙවැනි ලක්ෂණ ඇති අයගේ පවුලේ සාමාජිකයන්ටත් විශාල වගකීමක් තිබෙනවා. මේ අය සමඟ ආදරයෙන් විනාඩි පහක්වත් දිනපතා ආදරයෙන් කතා කරන්න. මෙවැනි පුද්ගලයන්ගේ ප්‍රශ්නවලට සවන් දීම, පිහිට වීම තරම් වටිනා ඔසුවක් තවත් නැහැ.

තමන්ගේ ආත්ම ශක්තිය අඩු වී ගෙන යන බව දැනුණු විට ආතතිය දුරු කර ගෙන ආත්ම විශ්වාසය දැඩිකර ගන්න. මේ තමන්ට අවංකවම ලෙන්ගතු අයට සමීප වන්නට සුදුසුම කාලයයි.

රෝග ලකුණු ඇතිවූ සැණින්ම වෛද්‍ය උපදෙස් පැතීමෙන් උග්‍ර විෂාදය දක්වා දුරදිග යාම වළක්වා ගත හැකියි.

වේදනාව දරා ගැනීමට නො හැකිවූ තැන ජීවිතයට නැවතීමේ තිත තැබීමට විෂාදීය රෝගීන් පෙලඹෙනවා. එහෙත් ඒ එකවරම නො වෙයි. කාලයක් ඒ ගැන සිතනවා. “ මට ජීවිතය එපා වෙලා. ජීවිතය නැතිකර ගන්න හිතෙනවා. “ මෙවැනි අදහස් කවුරුන් හෝ පවසනවා නම් එය අනතුරු ඇඟවීමක් බව සිතන්න. වහාම ඒ පුද්ගලයාට සමීපවී ඒ පුද්ගලයාගේ ගැටලුව විමසා එය විසඳීමට සහාය වන්න.

යහපත් පෞර්ෂත්වයක් ඇති අයෙක් සියදිවි නසා ගැනීමට සිතන්නේවත් නැහැ. පෞර්ෂත්ව ආබාධ තදින්ම සිය දිවි නසා ගැනීමට බලපානවා. දිගින් දිගට අධික ලෙස මත් වතුර පානය කරන්නන් අනිත් අය බිය ගන්වන්නට සිය දිවි නසා ගැනීමට තැත් කරන අවස්ථා තිබෙනවා.

සතුට , දුක යන හැඟීම් දෙක අන්තයටම වරින් වර භුක්ති විඳින පිරිසක් ද ජීවිතය අහිමිකර ගැනීමට පෙලඹෙනවා. මේ මානසිකත්වය ද්වි ධ්‍රැව මානසික ආබාධය ලෙස හඳුන්වනවා.

සුව කළ නො හැකි රෝගීන් සිය දිවි නසා ගැනීමට පෙලඹෙන තවත් පිරිසක්.

යෞවනත්වය සුන්දර වුව ද යොවුන් මදය නිසා ඇතිවන ප්‍රවේගකාරීබව, ක්ෂණික කෝපය, වැඩිහිටියන්ගෙන් අධ්‍යාපනයට එල්ල වන පීඩනය සියදිවි නසා ගැනීමකට මුල් වීමට පුළුවන්.

ලෝකයේම වැඩිපුර සියදිවි නසා ගන්නේ පිරිමින් වුවත් කාන්තාවන්ගේ ජීවිතයේ විවිධ හෝර්මෝන පෙරළි සිදුවන නිසා විෂාදයට පත් වීමේ වැඩි ඉඩක් පවතිනවා. දරු ප්‍රසූතිය එවැනි එක් අවස්ථාවක්. දරවකු ප්‍රසූත කර මාස හයක් යන තුරු මවක විෂාදීය තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතිනවා. තත්ත්වය බරපතළ වුණොත් දරුවාට ඇති දැඩි සෙනෙහස නිසා හෝ දරුවා රෝගියකු ලෙස සිතා මරා දැමීමට පවා ඉඩ තිබෙනවා. අපේ කාලයේ මාපියන් උත්සාහ ගන්නේ යහපත් පෞරුෂත්වයකින් යුතු දරුවකු සමාජයට බිහි කිරීමට වඩා සිප් සතරට දක්ෂයකු දායාද කිරීමටයි. යහපත් මානසිකත්වයකින් යුතු සවිමත් පෞරුෂත්වයක් ජීවිතය පවත්වා ගෙන යාමේදී කෙතරම් වැදගත්ද? සිය දිවි නසා ගැනීම් වැඩි කාලයක මාපියන් ඒ ගැන සිතිය යුතුමයි.

 

 

 

උපදෙස් - ගාල්ල කරාපිටිය රෝහලේ මානෝ වෛද්‍ය විශේෂඥ

රූමි රූබන්    

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.