කෝවිඩ් එන්නත ගත්තොත් වඳ වෙනවා ද?

දරුපල අපේක්ෂාවෙන් සිටින සෑම කෙනකුම කියවිය යුතුම ලිපියක්.
ඔක්තෝබර් 13, 2021

 

දලු ලා වැඩෙන ප්‍රේමයක්, සතුට, සොම්නස ජනිතවන කුරුලු කැදැල්ලක්... මෙහි අරුත්බර ඵලය නම් කිරිකැටි දරුවෙක් මයි. මේ සඳහා කාන්තාව මෙන්ම පුරුෂයා ද සරුබවින් සන්නද්ධ විය යුතුයි.

වඳ බවින්, එහෙමත් නැතිනම් සාපල්‍යතාව අතින් හීනව සිටීම දරු සුරතල් බැලීමට බාධා ගෙනෙන වැටකඩුල්ලක් ම වේවි.

දැන් සැවොමගේ ම මුව අග රැඳී තිබෙනුයේ පැතිර යන කෝවිඩ් වසංගතයේ විවිධ ප්‍රභේද සහ වසංගතය මැඬ පැවැත්වීමට ගන්නා එන්නත් පිළිබදයි. කෝවිඩ් එන්නත ලබාගැනීමේ දැඩි අවශ්‍යතාව පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අංශ නිලධාරීන් මඟ පෙන්වද්දී කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නොමැති මත සමාජ මාධ්‍යජාලා ඔස්සේ පතුරවමින් සිහින් සතුටක් විඳින අය ද අප අතර නැතුවා නොවේ.

කෝවිඩ් එන්නත ලබා ගැනීමෙන් ගැහැනුන්, පිරිමින් වඳ වේවි යැයි මුල් කාලයේ සමාජ මාධ්‍යජාලාවල සැරිසැරි පෝස්ටු තවමත් ඉඳහිට එහා මෙහා යනු ඔබේත් නෙත ගැටී ඇති.

මෙය මුළුමනින් ම අසත්‍යයකි. කෝවිඩ් එන්නත නිසා කාන්තාවන් සහ පිරිමින් වඳ වේවි යැයි පළවන මත කිසිදු විද්‍යාත්මක පදනමක් අනුව බිහි නොවූ කාරණායි. විවිධ රටවල්වලින් විවිධ නම්වලින් ලොවට හඳුන්වා දුන් කෝවිඩ් එන්නත් කිහිපය කාණ්ඩ දෙකක් යටතේ නිපද වූ ඒවායි.

ඉන් එක් වර්ගයක් mRNA තාක්ෂණය අනුව නිපදවා ඇත. වයිරසය ශරීරයේ සෛලයකට ඇතුළුවීමට උත්සාහ කරන මාර්ගයක් තිබේ. එම මාර්ගය සාදා ගන්නා ප්‍රෝටීනය Spike Protine නොහොත් තන්තුක ප්‍රෝටීනයයි. අනෙකුත් වර්ගයේ කෝවිඩ් එන්නත් නිපදවා ඇත්තේමෙන්න මේ ප්‍රෝටීනය ඉලක්ක කොට ගෙනයි .

මෙම කාණ්ඩ දෙකෙන් ම නිපද වූ එන්නත්වලින් සිදු කෙරෙන්නේ එන්නත ශරීරයට ඇතුළු වූ පසු අපේ සිරුරෙන් ප්‍රතිදේහ නිපදවීමයි. අක්‍රිය කරන ලද වයිරස් ප්‍රෝටීනයට හෝ වයිරසයේ ඇති mRNA අනුවලට ප්‍රතිදේශ නිපදවනුයේ අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටයි.

වයිරස් විද්‍යාවේ මූලධර්මවලට අනුව ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ සාපල්‍යතාව වෙනස් කිරීමට විද්‍යාත්මක පදනමක් නැත. සමාජ මාධ්‍යජාලාවල විද්‍යාත්මක පදනමක් නොමැති තොරතුරු පළවූයේ අප ලබා ගන්නා එන්නතකින් ප්‍රතිදේශ විශාල ප්‍රමාණයක් නිපදවනවාය, ඒ නිපදවන ප්‍රතිදේහ ගොස් අපේ සිරුරේ පටකවලට හානි කරනවාය යන මතයේ සිටය. මෙලෙස නිපදවන ප්‍රතිදේහ ඩිම්බ මෝචන ක්‍රියාවලියට, ශුක්‍රාණු ප්‍රතිශතයට බලපෑම් කරනවාය යනුවෙන් වාදයක් ඉදිරිපත් විය.

මේවා විද්‍යාඥයින් විසින් පර්යේෂණ කර සොයා ගත් කරුණු නොවන බව අවධාරණයෙන් පැවසිය යුතුය. පදනම් විරහිත එක් එක් අය පළ කළ මත මෙලෙස සංසරණය වී මද සරුබවක් ඇති වේ යැයි බියක් ඇති විය.

මෙහි නියමම සත්‍යතාව නැතහොත් විද්‍යාත්මක පදනමට අනුව එන්නත ලබා නොගත් කෙනෙක් කෝවිඩ් රෝගයට බඳුන් වී දීර්ඝකාලීන සංකූලතාවලට ලක්වේවි, එසේ වුවහොත් පෙනහලු ආසාදනයන් ඇති වී, දරුණු නියුමෝනියා තත්ත්වයට ගොදුරුව දැඩි සත්කාර ඒකකවලට පවා යෑමට වේවි. එහිදී මරණයට පවා පත්වීමේ ඉඩකඩ වැඩිය. රිජ්වේ රෝහලෙන් පවා කෝවිඩ් සුව වී බහු ඉන්ද්‍රීය ආසාදන තත්ත්වයන්ට ගොදුරු වු දරුවන් හමුවී තිබේ. මෙවැනි දරුණු අවස්ථාවක දී රෝගියාගේ දරුඵලවලට හානියක් වන්නට පුළුවන.

නමුත් එන්නතකින් මෙවැනි දරුණු තත්ත්ව ඇතිවන්නේ නැහැ. එන්නතකින් ඉතාම ක්‍රමානුකූලව සිරුරේ ප්‍රතිදේහ නිපදවීම සිදු කරයි. එහිදී කොතැනක දී හෝ සාපල්‍යතාවට වෙනස්වන්නට ඉඩක් සැලසෙන්නේ නැත.

එසේ නම් ඔබට වඩාත් පැහැදිලිව අවබෝධවනවා ඇති එන්නතකින් ලැබෙන වාසිය භුක්ති විඳිනවාද? රෝගයට දරුණු ලෙස ගොදුරුව එහි සංකූලතා නිසා මුළු ජීවිත කාලය ම විඳවනවා ද? ඔබට මතක ඇති කෝවිඩ් සඳහා එන්නත් පැමිණි මුල් කාලයේ අවුරුදු 30ට අඩු අයවලුන් සඳහා එන්නත ලබාදීමට නිර්දේශ නොවූ බව. මෙහිදී දරුවන් බිහිකරන්නට සුදුසු ම වයසේ සිටින අයට එන්නතින් යම්බලපෑමක් ඇතිවේයැයි සිතා එන්නත නිර්දේශ නොවූ බවයි බොහෝ දෙනා සිතූයේ. එසේ වූයේ ඇතැම් වයස් කාණ්ඩවල අය ඒ වන විටත් කෝවිඩ් එන්නතින් පරීක්ෂණ සඳහා යොදා නොගත් අය වීමයි. එසේම ඔවුන් ඒවන විටත් අවධානම් කාණ්ඩයේ අය නොවීය.අවුරුදු 60ට වැඩි අය වැඩි වශයෙන් මිය යෑමත්, අවුරුදු 30ත් 60ත් අතර අය නිදන්ගත රෝග නිසා පීඩා විඳි අය නිසා ඔවුන් එන්නත් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පිරිසක් ලෙස ඒත්තු ගැන්විණි.මේ වන විට කෝවිඩ් එන්නත වැඩි වැඩියෙන් නිපදවීමත් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ වැඩි වැඩියෙන් සිදු කිරීමත් සමඟ එන්නත සඳහා නිර්දේශිත පිරිස ද එන්න එන්න ම වැඩි විය.

කාන්තාවන්ගේ ඩිම්බ නිපදවීමේ හෝ ඩිම්බ මෝචනය වීමේ, පැලෝපීය නාලයේ පිළිසිඳ ගැනීමේ කිසිදු සම්භාවිතාවක් කෝවිඩ් සඳහා වූ කිසිදු එන්නතකින් බලපෑමක් නොවේ.දරුඵල අපේක්ෂාවෙන් සිටින කාණ්ඩය, දැනට ගර්භණී බව ලබා සිටින කාණ්ඩය හා කිරිදෙන මව්වරුන් සමස්තයක් ලෙස ගැබිනි බව ආශ්‍රිත කණ්ඩායම් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සියලු පාර්ශ්වයන් අනිවාර්යයෙන් එන්නත ලබා ගත යුතු කාණ්ඩ ලෙස අවධාරණය කොට තිබේ.

ලොව පුරා මිලියන ගණනක් දරුඵල අපේක්ෂාවෙන් සිටි මව්වරුන් කෝවිඩ් එන්නත ලබා ගෙන දරුළුල ලබාගෙනත් අවසන්. මේ අයගේ සාපල්‍යතාවේ කිසිදු වෙනසක් නැත. මව්වරුන්ගේ සාපල්‍යතාව පිළිබඳ, පිරිමින්ගේ ශුක්‍රාණු පිළිබඳ පැහැදිලි දත්ත තිබේ.

 

n එන්නත නොගෙන ගර්භණී බවේ තරමක අවදානමක් ඇත්තේ ඒ මව කෝවිඩ් රෝගය සඳහා බඳුන්වීමට වැඩි ඉඩකඩක් ඇති නිසයි.

n ගර්භණී මවක් කෝවිඩ් නිසා අසාධ්‍ය වීමට ඇති ඉඩකඩ වැඩියි.

n පෙනහලු ආසාදනය වී ඔක්සිජන් ලබාදීමට, දැඩි සත්කාර ඒකකවලට ඇතුළුවීමට ඇති ඉඩකඩ වැඩියි.

n කෝවිඩ් වැලදුණු ගර්භණී මවක් ගබ්සාවීමට ඇති ඉඩකඩ වැඩියි.

n මලදරු උපන් ඇතිවීමේ අවදානම වැඩියි.

n නොමේරූ දරු උපත් සිදුවීමේ අවදානම වැඩියි.

 

එසේ නම් මව්වරුන් සහ දරුවන් මෙවැනි අවදානම්වලින් මුදවා ගැනීමට කළ හැකි දේ කෝවිඩ් සඳහා වූ එන්නත ලබා ගැනීම පමණක් ම නොවේද?

නැවත නැවත කිව යුතු දේ වන්නේ කාන්තාවන් හෝ පිරිමින් කෝවිඩ් සඳහා වූ එන්නතින් සාපල්‍යතාව සඳහා කිසිදු බලපෑමක් ඇති බවට විද්‍යාත්මක සත්‍යයක් නොමැති බවයි.

 

 

උපදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

දිලුක් සේනාධීර