මේ දිනවල හිතුමතයට ගන්නා කැස්ස සිරප්වලින් ඇත්තටම ලෙඩේ සුව වෙනවාද?

ඔක්තෝබර් 13, 2021

 

කෝවිඩ් පැතිරීමත් සමඟ රට වසා තිබුණත් නිතර නිතර පුද්ගලයන් යන තැනක් තිබෙනවා. ඒ ඖෂධ ශාලාවන්ය. ඔබ වගේම ඔබේ පවුලේ සාමාජිකයනුත් වෛද්‍ය නිර්දේශ ඇතිව හෝ නැතුව කෙතරම් වාරයක් නම් ඔසු සලට යනවාදැයි ගණන්කර බලන්න. මෙසේ ගොස් ගන්නා ඖෂධ අතර පෙරමුණ ගන්නේ විටමින් සී, සින්ක්, ඩී විටමින් හා කැස්සට ගන්නා සිරප්ය. වෛද්‍ය නිර්දේශ මත ගන්නා ඖෂධයකින් නම් කිසිවකුටත් අහිතකර බලපෑමක් ඇති නො වෙයි. එහෙත් හිතුමතයේ ඔසු ගැනීමේ භයානකකම ඔබ දන්නවාද ?

 

කැස්සට ගන්නා සිරප්

මේ සිරප් නිපදවා ඇත්තේ රෝගියාට කැස්සෙන් සහනයක් ලැබෙන විදියටයි. සමහර සිරප් මඟින් ශ්ලේෂ්මල තුනීකර කැස්ස පහසු කරනවා. තවත් සිරප් වර්ගවලින් නාසයේ උගුරේ ඉදිමීම අඩු කරනවා. අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ කැස්ස නතර කිරීමේ හැකියාවක් වෙළෙඳ පොළේ ඇති බොහෝ ඖෂධවලට නැති බවයි.

මේවා ගැනීමෙන් නිදිමත ගතියක් ඇතිවන නිසා වයස අවුරුදු හතරට අඩු දරුවන්ට නිර්දේශ කරන්නේ නැහැ.

 

කැස්ස රෝග ලකුණක් පමණක් නො වෙයි.

 

කෝවිඩ් - 19 රෝගයේ ප්‍රධාන ලකුණක් බවට කැස්ස පත්වී තිබුණත් කැස්ස කියන්නේ බාහිරින් ස්වසන මාර්ගයට ඇතුළු වන දෙයක් වගේම අමතර ශ්ලේෂ්මල ඉවත් කරන ස්වභාවික ආරක්ෂක ක්‍රියාවලියක්. ස්වසන මඟට ඇතුළු වන දූවිලි, මල් රේණු, දුම් ආදී විවිධ දේ මෙසේ කැස්ස මඟින් බැහැර කරනවා.

කෝවිඩ් වැනි රෝග වැලඳුණු විට කැස්සට සහනයක් ලබා ගැනීමට කැස්සට දෙන විවිධ සිරප් වර්ග ගත්තත් ඒවායේ අඩංගුව තිබෙන්නේ මොනවාද ? ඇල්කොහොල්, කැනබිස්, ක්ලෝරෆෝම්, මෝර්ෆීන්, හෙරොයින් වැනි දේත් මෙහි තිබෙනවා. කුමන දේ අඩංගු වුවත් කැස්සට දෙන සිරප්වලින් ලැබෙන්නේ සුළු සහනයක් පමණයි.