කැවිලි මේසය සරසන්න ලස්සන කේක් එකක්

අප්‍රේල් 10, 2019

අප්‍රේල් මාසේ උදාවත් සමඟ අපිට දැනෙන්නේ අවුරුදු සුවඳ. ලොකු පොඩි හැමෝම ආදරේ කරන ලස්සනම මාසේ බක් මාසේ. හැමෝගෙම හිතට සතුටක් ගෙනෙන්න සතුටින් කාලය ගත කරන්න හැමෝම අවුරුදු මාසේ එනකන් බලාගෙන ඉන්නවා.

ගෙදර ගෘහණිය නම් හරිම කලබලයි මේ මාසේ, හැමෝගෙම හිත සතුටින් තියන්න රස කැවිලි හදන්න අපේ ගෘහණියෝ හරිම කැමැතියි. කවුද කැමැති ලස්සන සුවඳ පිරුණු කැවිලි මේසයේ ලස්සනම ලස්සන තමන් අතින්ම හැඩවුණු කේක් එකකිනුත් හැඩ වෙනවා දකින්න. ඒ හීනයට යන්න ඒ තරම් අමාරු නෑ, ආසාවයි උනන්දුවයි විතරමයි ඕනේ. එහෙනම් ඔන්න අපි පසන් නිවෙසට සිරියාවක් වූ ආදරණිය “තරුණි” වෙතින් මේ සිංහල දමිළ අවුරුද්දට ලස්සන කේක් එකක් හදන ආකාරය මෙලෙස ගෙන එනවා.

ෆොන්ඩන්ට් අයිසිං සකසමු

සුදු පාට මාෂ්මෙලෝ ග්‍රෑම් 400 ක්

අයිසිං සීනි ග්‍රෑම් 800 ත් 900 ත් අතර

වතුර මේස හැඳි 4 ක්

සාදන ක්‍රමය

මාෂ්මෙලෝ සමඟ වතුර එකතු කර මයික්‍රෝවේව් එකේ විනාඩි 1 තබන්න. දියවී මදි වගේ හැඟෙනවා නම් තව විනාඩි 1 තබන්න. දැන් රත්වී දියවුණු මාෂ්මෙලෝ හොඳින් හැන්දකින් තව හොඳට දියකරගන්න. එයට අයිසිං සීනි ටික ටික එකතු කරමින් හොඳින් අනන්න. අතේ නොඇලෙන පදම එනතුරු අනන්න. දැන් අත්දෙකින් ඇද පදම හරි ද කියලා බලන්න. ඒක බලන්නේ මෙහෙමයි පදම හරි නම් අපි සාදාගත් ෆොන්ඩන්ට් එක ඇද්දම ඇදිලා යන්නත් බෑ. ඇද්ද හැටියේ කැඩෙන්නත් බෑ. ඇදිලා ටිකක් ගිහින් කැඩෙනවා නම් ඒක තමයි පදම. දැන් සාදාගත් මාෂ්මෙලෝ ෆොන්ඩන්ට් එක හුළං නොවදින්න පොලිතින්වලින් හොඳින් කවර්කර තියන්න.

 

දැන් කේක් එක හදමු

මේ සඳහා කේක් කිලෝ 2 1/2 ක් අවශ්‍ය වෙනවා.

ග්‍රෑම් 500 රවුම් කේක් 3 ක් හා කිලෝ එකේ කොටු හැඩැති කේක් එකක්

ඒ සඳහා,

බටර් ග්‍රෑම් 625 ක්

සීනි ග්‍රෑම් 625 ක්

පිටි ග්‍රෑම් 500 ක්

කොකෝ පවුඩර් ග්‍රෑම් 125 ක්

බිත්තර 10 ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 35 ක්

කිරි මේස හැඳි 3 ක් (ෆ්‍රෙෂ් මිල්ක් හෝ,

පිටිකිරි දියකරගන්න)

වැනිලා තේ හැඳි 2 ක්

ග්‍රෑම් 500 රවුම් කේක් තැටි 3 ක්

කිලෝ 1 කොටු හැඩයෙන් යුත්

කේක් තැටි 1ක්

 

සාදන ක්‍රමය

පිටි, කොකෝ පවුඩර්, බේකිං පවුඩර් හා දෙතුන් සැරයක් හලාගන්න. සීනි හා බටර් එක් කර සීනි දියවනතුරු හොඳින් ගසාගන්න. එයට බිත්තර එක බැඟින් එකතු කර හොඳින් ගසාගන්න. එයට වැනිලා එකතු කරන්න. හලාගත් පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. කිරි එකතුකර කේක් බැටර් එකක් වනතුරු හොඳින් කලවම් කරන්න. කේක් බැටර් එක යනු අපි හැන්දකින් මිශ්‍රණය උඩට උස්සා භාජනය වෙත එක් කිරීමේ දී රැලි රැලි වගේ වැටිය යුතුයි. මිශ්‍රණය දියාරු නොවිය යුතුයි. කේක් තැටිවලට තෙල් කඩදාසි එකතු කර කේක් මිශ්‍රණයෙන් රවුම් තැටි තුනට සහ කොටු හැඩයෙන් යුත් තැටියට එකතුකරන්න . විනාඩි 10 කට කලින් රත් කරගත් සෙල්සියස් අංශක180 කින් යුත් අවන් එකේ රවුම් කේක් තැටි විනාඩි 25ක් බේක් කරගන්න. කිලෝ එකේ කේක් එක විනාඩි 40ක් බේක් කරගන්න.

 

2019/04/10 තරුණි බලන්න