දෝණිගෙ උපන් දිනයට ටින්කර්බෙල් කේක් එකක්

පෙබරවාරි 24, 2021

සිඟිති දියණියකට මෙන්ම යොවුන් දියණියකටත් එකසේ ගැළපෙන ටින්කර්බෙල් සුරංගනාව සමඟින් හැඩ කළ කේක් එකකි. මල් වත්තේ අසිරිය දේදුන්න නිසා තවත් වැඩිවෙලා.

ඒ සුන්දරත්වය විඳගන්න ටින්කර්බෙල් ඇවිත් හරිම ලස්සනයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය:

රවුම් හැඩැති රිබන් කේක් කිලෝ එකක්

ෆොන්ඩන්ට් අයිසිං

බටර් අයිසිං

පාච්මන්ට් අයිසිං

රිබන් කේක් එකක්

සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 250 ක්

බටර් ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 250 ක්

බිත්තර 4 ක්

කිරි තේ හැඳි 2 ක්

වැනිලා තේ හැන්දක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

සාදන ක්‍රමය

පළමුව බිත්තර සුදුමද වෙන් කරගෙන පෙණ එනතුරු විනාඩි 2 - 3 ක් බීට් කරන්න. එය පසෙකින් තබන්න. දැන් බටර් සීනි හොඳින් බීට් කරන්න. සීනි ඇට දියවනවිට බිත්තර කහමද එක බැගින් දමා හොඳින් බීට් කරන්න.

කලින් බිට් කරන ලද බිත්තර සුදුමද එයට එක් කරමින් ලී හැන්දක් මාර්ගයෙන් හොඳින් මිශ්‍රකර ගන්න. දැන් වැනිලා සහ කිරි යොදා මිශ්‍ර කරගන්න. එයට පිටි සහ බේකිං පවුඩර් මිශ්‍රකර හළාගත් පිටි මද වශයෙන් එක් කරමින් මිශ්‍ර කරගන්න.

ඉන්පසු කලින් සකස් කරගත් තැටියට මෙම මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 190 ක උෂ්ණත්වයෙන් විනාඩි 10 කලින් රත්කරගත් අවන් එකකට දමා විනාඩි 30 - 40 ත් අතර කාලයක් බේක් කරන්න. පසුව එය නිවෙන්නට තබන්න. දැන් බටර් ග්‍රෑම් 200 කට අයිසිං සීනි ග්‍රෑම් 400 ක් දමා බීට් කරමින් බටර් අයිසිං සාදා ගන්න.

ඉන්පසු නිවාගත් කේක් එක ගෙන ලේයර් දෙකකට කපාගන්න. එහි එක් කොටසක් මත බටර් අයිසිං තවරා අනෙක් ලේයර් එක තබන්න. සම්පූර්ණ කේක් එක මතට බටර් අයිසිං තවරා එයට උඩින් ළා කොළ පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරන්න.

දැන් මෙම කේක් එක බේස් බෝඩ් එකක් මත තබාගන්න. කේක එක වටේට තද කොළ පැහැයෙන් ෆොන්ඩන්ට් තීරු කීපයක් කපා පඳුරු ආකාරයට කේක් එක මත අලවා ගන්න. ඇලවීම සඳහා ජෙලටින් ස්වල්පයක් භාවිත කරන්න. කේක් එකෙහි උඩට සහ වටේට ඩේසි මල් කීපයක් කටර් මඟින් කපා අලවන්න. ඒ අතරට කහ පැහැති බෝල කීපයක් ද අලවා තිබේ. කේක් එකෙහි උඩ පසෙකින් ෆොන්ඩන්ට් අයිසිං මඟින් සාදාගත් දේදුන්නක් සවිකර තිබේ. වෙළෙඳපොළෙන් ලබාගත් ටින්කර්බෙල් ටොපර්ස් කිහිපයක් කේක් එක උඩට සහ යටින් තබා ඇත. බේස් බෝඩ් එකෙහි වටේට සුබ පැතුම ලියා තිබේ.

 

 

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පිනී

විනෝද්‍යා සමාධිනී ගමගේ