නිල් කටරොළු මල් කප් කේක්

සැප්තැම්බර් 15, 2021

 

අවශ්‍ය වන්නේ

 

කප් කේක් 15ක් සඳහා

පාන් පිටි ග්‍රෑම් 200ක්

නැවුම් නිල් කටරොළු

මල් 10ක් පමණ

බිත්තර 4යි

කුඩු කරගත් සීනී ග්‍රෑම් 180ක්

වැනිලා බිංදුවක්

බටර් ග්‍රෑම් 200ක්

බේකිං පවුඩර් තේ හැන්දක්

උතුරන වතුර මේස හැඳි 3ක්

 

හදා ගන්නේ මෙහෙමයි

මුලින්ම අවන් එක සෙල්සියස් අංශක 180ට රත් වෙන්න දාන්න. නිල් කටරොළු මල් සෝදා භාජනයකට දමා උණු වතුර ටික එකතුකර පියනකින් වසා පසෙකින් තබන්න (ටික වේලාවකින් එය තද නිල් පාට වෙනවා) භාජනයකට බටර් හා සීනී දමා ක්‍රීම් වනතුරු හොඳින් බීට් කරන ගමන් එයට වැනිලා එකතු කරන්න. දැන් බිත්තර එක බැගින් මිශ්‍රණයට එකතුකරමින් තවත් ටිකක් වෙලාවක් බීට්කර නවත්වන්න. පාන් පිටි හා බේකිං පවුඩර් එකට දමා හොඳින් හැන්දකින් මිශ්‍ර කරන්න. ඒකෙන් ටික ටික බීට් කරගත් බටර් මිශ්‍රණට දමමින් ලී හැන්දකින් එකම පැත්තකට මිශ්‍ර කරන්න. අවසානයට කටරොළු මල්වලින් සාදාගත් නිල් පැහැති වතුර ටික මිශ්‍ර කරන්න. දැන් කප් කේක් ට්‍රේ එකට පේපර් කප්ස් දමා එක කප් එකකට මිශ්‍රණයෙන් මේස හැන්ද බැගින් දාන්න. කප් එක පිරෙන්න දාන්න එපා. තුන් කාලක් විතර දාන්න. නැත්නම් අවන් එකේ දී මිශ්‍රණය පිපෙනකොට කප් එකෙන් එළියට උතුරලා යනවා. කැමැති නම් කප් කේක් උඩින් කටරොළු මල බැගින් තබන්න.

සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ විනාඩි 20ක් පුලුස්සා ගන්න. ටූත් පික් එකකින් කප් එකට ඇනලා බලන්න බේක් වෙලා ද කියලා. මිශ්‍රණය ටූත් පික් එකේ ගෑවෙන්නේ නැත්නම් හරි. උණුවෙන්ම රස විඳින්න.

 

උපදෙස් හා ඡායාරූප

සූපවේදිනී තිලානි විතානගේ