දරුවන්ගේ ආරක්ෂාව ගැන වඩාත් විමසිලිමත් වෙමු

සැප්තැම්බර් 18, 2019

මෙහි දැක්වෙන්නේ පසුගියදා අන්තර් ජාලයේ දුටු ඡායාරූපයකි. මවක් කුඩා දියණියකගේ ගවුමේ පටිය ගැට ගසන එම දසුනට දෙබසක් ද එක්කර තිබිණි. එය මෙසේය.

චූටි දුව- අම්මේ ඇයි ඔයා සල්ලියි

රත්තරන් බඩුයි එළියෙ තියලා යන්නෙ නැත්තෙ.

මව - අම්මෝ මට වැඩට ඉන්න

මනුස්සයව විශ්වාස නැහැ පුතේ

පොඩ්ඩක්වත්

චූටි දුව - එතකොට අම්මා ඇයි

එහෙනම් මාව එයාට දීලා යන්නේ.

මේ දෙබස කුඩා වුවත් එහි ඇත්තේ මහා ගැඹුරු තේරුමකි. සැබැවින්ම දරුවන් සිටින එම දරුවන් මෙහෙකරුවනට අසල්වැසියනට මෙන්ම හිත මිතුරනට බාර කොට තම කටයුතු වෙනුවෙන් යන මවුවරුනට වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතන්නට අවසථාවක් දෙන දෙබසකි. මෙය නිර්මාණය කර අන්තර් ජාලයට මුදාහළ තැනැත්තාට ස්තූති කරමින් මගේ සටහන මෙසේ අරඹන්නේ අද පුවත් පත් කිහිපයකම දුටු දරුවන් සම්බන්ධ ප්‍රවෘත්ති කිහිපයක් නිසාය.

එයින් පළමුවැන්න පෞද්ගලික උපකාරක පන්තියක් තුළ සිසුවියන් තිදෙනකු අපයෝජනය කළ ගුරුවරයකු දැලේ යන ශීර්ෂයෙන් යුතුව පළවී තිබිණි. මේ සිදුවීම වාර්තා වන්නේ මීගොඩ ප්‍රදේශයෙනි. මීගොඩ පොලීසිය පවසන පරිදි පෞද්ගලික උපකාරක පන්තියක් තුළදී සිසුවියන් තිදෙනකුට මෙලෙස ලිංගික අතවර කර තිබේ. එම සිසුවියන් ජාතික ළමාරක්ෂක අධිකාරියට කරන ලද පැමිණිල්ලක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එම සිසුවියන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වූවන්ය. වාර්තා වන්නේ මේ දැරියන් තිදෙනා පමණක් වුවත් තවත් බොහෝ පිරිසක් ඔහුගේ ගොදුරු බවට පත්වී තිබිය හැකිය. මෙවැනි දෙයකදී ඔවුනගේ මානසික තත්ත්වය මොන තරම් ව්‍යාකූල විය හැකිද? ඔවුන් කෙසේ නම් විභාගවලට මුහුණ දේවිද? ගුරුවරුන් පිළිබඳව අපට ඇත්තේ ඉතාමත් පහන් හැඟීමකි. ගුරු දෙවිවරු යැයි ඔවුන් හඳුන් වන්නේ ඒ නිසාය. එහෙත් මෙවන් නරුම පුද්ගලයන්ට ගුරුවරුයැයි පැවසිය හැකිද? ඒ නිසා පෞද්ගලික පන්ති වලට දරුවන් යැවීමේදී මවුපියන් ඒවා පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතුය. එසේ නොවුව හොත් නොනවතින අධ්‍යාපන තරගයට යොමුකර දරුවන්ට යහපත් අනාගතයක් නිර්මාණය කරන්නට වෙහෙසෙන ඔබට අවසානයේ සිදුවන්නේ පසුතැවෙන්නටය.

දෙවැනි ප්‍රවෘත්තිය ගෙන එන්නේ ඊටත් එහා ගිය සංවේදී කතාවකි. එය නීතිය මහජන ආරක්ෂාව සහ සාමය රකින්නට සිටින පොලිස් නිලධාරියකු කළ මහ පොළොව නුහුලන අපරාධයක් සම්බන්ධයෙනි.

පොලිස් නිවස්නයකදී දැරියන් දෙදෙනකු අපයෝජනය කළැයි කොස්තාපල් රිමාන්ඩ්.. යන ශීර්ෂයෙන් එය පළවී තිබිණි. එකම පවුලේ ගැහැනු දරුවන් දෙදෙනකු කුරුඳුවත්ත පොලීස් නිවෙසක් තුළදී බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇත්තේ පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන කුරුඳුවත්ත පොලිස් නිවාසයක පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහුª ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර තිබේ.

මෙහි වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ දැරියන් දෙදෙනා වයස අවුරුදු 1ක් සහ 5ක් තරම් ළාබාල වයසේ පසුවන නොදරුවන් විමයි. එසේම සැකකරුගේ බිරිය ගුරුවරියක ද වන අතර දැරියන් දෙදෙනා දහවල් කාලයේ බලා ගැනීමට ඇයට බාරදී සිටියදී මෙම අතවරයට ලක්ව තිබේ. ඒ පිළිබඳව තවත් විස්තර අවැසි නැත.

ආදරණීය මවුවරුනි. මේ අපට වාර්තා වුණු සිදුවීමක් දෙකක් පමණි. තවත් මෙවැනි සිදුවීම් කොතෙක් නම් ඇත්ද? නොතේරුම්කම නිසා ඒවා සඟවාගෙන සිටින දරුවන් කොතෙක් සිටීද? සමහර විට බිය ගැන්වීම නිසා, දඬුවම් ලැබේවි යැයි බිය නිසා නොකියන වා විය හැකිය. ඒ නිසා ඔබේ දරුවන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න . මේ මල් කැකුළු අකලට පරවන්නට නොදී අනාගතයේ පිපී සුවඳින් පිරී යන්නට අවස්ථාව ලබාදෙමු. මෙවැනි නරුමයන්ට මොන දඬුවමක් ලැබුණත් වැඩක් නැත. එයින් විනාශවී ගිය සිඟිත්තන්ගේ සිත ගත යළි යථා තත්ත්වයට පත් කළ නොහැකිය. ඒ නිසා මවක් ලෙස පියකු ලෙස ඔබේ වගකීම වන්නේ තම දරුවනට සුරක්ෂිත හෙටක් නිර්මාණය කර දීමය.

අප සිටින්නේ දියුණු වූ සමාජයකය. අප නොසිතන ආකාරයට දරුවනට ලිංගිකත්වය පිළිබඳව කුතුහලය දනවන දේ ඇස ගැටිය හැකිය. ඒ නිසා දරුවන්ට ලිංගිකත්වය පිළිබඳව කියා දෙන්නට මවක ලෙස කටයුතු කළ යුතුය, මෙවැනි නරුමයන්ගෙන් ආරක්ෂා වන්නට ඒ පිළිබඳව හැකි ආකාරයෙන් පහදා දිය යුතුය.

සමාජයේ සිටින සෑම පුද්ගලයකු කෙරෙහිම සැකයෙන් නොබැලිය යුතු වුවත් දරුවන් පිළිබඳ කටයුතුවල දී ළඟම ඥාතියා, අසල්වැසියා, හිතවතා පිළිබඳව පමණටත් වඩා විශ්වාස නොකිරීමට තරම් ඔබට ස්ථානෝචිත ප්‍රඥාව තිබිය යුතුය.

තව දින කිහිපයකින් ජාත්‍යන්තර ළමා දිනය පැමිණෙයි. එදිනට බොහෝ වැඩ සටහන් පැවැත්වෙනු ඇත. එහෙත් මවුපියන් ලෙස ඔබ දරුවන්ට සෑම දිනක්ම ඔවුන්ගේ හොඳම දිනය බවට පත්කරන්නට වෙහෙසිය යුතුය.

දරුවන්ගේ ලෝකය ලස්සන කරමු. මේ ලස්සන මල් කැකුළුවලට විකසිත වන්නට වැඩිහිටි අපි හිරුවෙමු.