ළමා දිනය වැඩිහිටි දිනය තවත් එක් දිනයක් නොවන්නට....

ඔක්තෝබර් 2, 2019

තවත් ලෝක ළමා දිනයක් සහ වැඩිහිටි දිනයක් උදාවී තිබේ. සමහර පුද්ගලයන්, සංවිධාන ඒ වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් සංවිධානය කර තිබේ. මෙයින් බොහෝ වැඩසටහන් වෙන්වී ඇත්තේ දරුවන් වෙනුවෙනි.

දරුවන් වෙනුවෙන් වෙන්කර ඇති දිනයේ ඔවුන් සතුටු කිරීමට කටයුතු කිරීම, ඔවුනට නිදහසේ පී‍්‍රතිවන්නට අවස්ථාව ලබාදීම අනිවාර්යයෙන් කළ යුත්තකි.

එහෙත් අද දරුවන්ට එලෙස නිදහසේ සතුටු වන්නට මෙවැනි එක් දිනයක් පමණක් ප්‍රමාණවත් ද?

වර්තමානයේ අපේ රටේ දරුවෝ නොනවතින අධ්‍යාපන තරගයකට මැදිව සිටිති. හොඳ පාසලක් තෝරාගැනීමට, හොඳ රැකියාවකට යොමුවීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට නම් මේ තරගයට මුහුණ දීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තක් බවට පත්වීම ඊට හේතුවයි.

හිරු නැඟ එන හෝරාවේ සිට හිරු බැස යන තෙක්ම එක දිගට පාසලටත්. එතැනින් අතිරේක පන්තිවලටත් යොමුවන දරුවනට පොත පතේ දැනුම ලබාගන්නවා හැර ක්‍රීඩාවක නියැළෙන්නට සමඟ වයසේ යහළු යෙහෙළියන් සමඟ විනාඩි කිහිපයක් හෝ නිදහසේ කතා බස් කරන්නට හෝ ඉස්පාසුවක් නැත.

වැඩිහිටියන් වූ අපි අපේ ළමා කාලය ගැන බොහෝ සතුටින් කතා කරමු.

ඒ ළමා කාලයේ කළ දඟකාරකම් සමහර ක්‍රියාකාරකම්, යළි යළිත් ආවර්ජනය කරමින් ඒවායේ සුන්දරත්වය විඳින්නෙමු. එහෙත් අපි අපේ දරුවන්ට පෙර අප විඳි අත්දැකීම් ලබන්නට අවස්ථාවක් දෙන්නට සිතා තිබේද? ක්‍රියාකර තිබේද?

අධ්‍යාපනයෙන් කොතරම් ඉහළට ගියත්, එතැන සිටින්නේ මනුෂ්‍යකම, ආදරය, කරුණාව නොමැති ආත්මාර්ථකාමී පුද්ගලයකු නම් එයින් සමාජයට වන යහපතක් නැත.

ඒ බව සනාථ වන්නේ තමන් බිහිකර ලේ කිරි කරදුන් මව, තමන්ට ජීවය දෙමින් මෙලොවට ජනිත කළ පියා වයෝවෘද්ධ වී කිසිවක් කර කියා ගත නොහැකි වූ පසු මහමඟ ඇඳ දැමූ පුවත් අපට වර්තමානයේ නිතරම අසන්නට දකින්නට ලැබීම නිසා.

එම නිසා වැඩිහිටියන් ලෙස අප මුලින්ම දරුවන්ට ආදර්ශයක් වන ලෙස අපේ වියපත් මවුපියන්ට සැලකිය යුතුය.

අප කරන දෙය බලා දරුවන් හැදෙන නිසා අනාගතයේ දිනෙක ඔබ වියපත් වූ පසු දරුවන් ඔබව තනි නොකරනු ඇත. ඔබව පාරට ඇද නොදමනු ඇත.

මීට දින කිහිපයකට පෙර පුවත්පතකින් හද කම්පා කරවන පුවතක් දුටිමි. ඒ හබරණ ප්‍රදේශයෙනි. ‘අසූවියේ ලෙඩ පියා කැලේට ගෙනත් දාලා’ යන ශීර්ෂයෙන් යුතුව පළකර තිබූ එම පුවතට අනුව හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ පිහිටි කැලයට වයස අවුරුදු 80 ක පමණ රෝගී පිරිමි අයකු නිරුවතින් දමා ගොස් සිටියදී තරුණ පිරිසකට හමුවී තිබේ.

මතක ශක්තිය නොමැති නිසා කිසිදු තොරතුරක් දැනගත නොහැකි අතර තරුණයන් එම තැනැත්තා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබිණි.

මේ පුවත දුටු සැණින් සිහියට නැඟෙන එක් කාරණයක් තිබේ. ඒ කවුරුන් හෝ මේ වයස්ගත තැනැත්තා මෙලෙස ගෙනැවිත් දමා ඇත්තේ, තමන් කවුරුන්දැයි හෙළිදරව් නොවනු ඇත කියාය.

එහෙත් මේ ලෝකයේ පව් පින් කියා දෙයක් තිබේ. ඒ අනුව ඔවුනට එම විපාකවලින් ගැලවීමට නොහැකි වනු ඇත.

ඒ සමඟම අපූරු ඡායාරූපයක් සමඟ පුංචි කවියක් මගේ ඊමේල් ලිපිනයට ලැබී තිබිණි. එය යොමුකර තිබුණේ පි‍්‍රයංගී පෙරේරා නමැති තරුණී පාඨකයෙකි.

ඡායාරූපයේ සිටින්නේ ඇගේ දියණිය පියුෂා ජයවර්ධන සහ රොස්ලින් පරණවිතාන නම් වූ ඇගේ මවයි.

දියණියගේ උපන් දිනය දා මිත්තණියට කේක් කෑල්ලක් කවන එම ඡායාරූපයෙන් අප ඉහත කතා කළ සෙනෙහස, ආදරය ගැන කියැවෙන නිසා එම කවිය පහතින් පළකරමින් මේ සටහන නිමා කරන්නේ ඔබට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.