අප හා අත්වැල් බැඳගන්න

පෙබරවාරි 6, 2019

“දඬුවම් නොදී හදන ළමයා හරියට හැඳිනොගා හදන හොද්දක් වගෙයි” කියලා කියමනක් අපේ සමාජයේ ජනගත වෙලා තිබෙන්නේ වරදට දඬුවම් දීම අතීතයේ පටන්ම අපේ රටේ නීතියෙන් සම්මත වී තිබෙන නිසයි.

1883 දණ්ඩ නීති සංග්‍රහය මඟින් එවකට මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් වරදක් කළ විට කසයෙන් හා වේවැලෙන් තැලීම දඬුවමක් ලෙස හඳුන්වා දෙනු ලැබුවා.

පිට රට දේ හිස් මුදුනෙන්ම පිළිගන්න අපේ ජාතිය එදා පටන් අද දක්වාම මානව සංහතියේ ප්‍රගතිය උදෙසා කිසිදු යහපතක් නොවන මෙවැනි හිංසාකාරී ම්ලේච්ඡ නීති රීති නම් තවමත් අකුරටම පිළිපදින්න උත්සාහ කරමින් සිටිනවා.

ළමයින්ට එරෙහි හිංසනය, මානසික, වාචසික මෙන්ම ශාරීරිකව ද සිදු කරන්නට පුළුවන්. 1992 වසරේ දී ශ්‍රී ලංකාවත් ළමයින්ට සිදුවන හිංසනයට එරෙහි වූ එක්සත් ජාතීන්ගේ විශ්ව ළමා ප්‍රඥප්තියට එකඟතාව පළකරමින් අස්සන් කළා.

ඒ අනුව ළමයින්ට ශාරීරික දඬුවම්, ශාරීරික නොවන දඬුවම් හා වාචික දඬුවම් කිරීමට එකඟ නොවන බවට රටක් වශයෙන් අපි අස්සන් කර තිබෙනවා.

විශ්ව ළමා ප්‍රඥප්තියට අනුව ළමයාට සිදු කරනු ලබන දඬුවම කවරාකාර වූවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකනු ලබන අතර එම හිංසනය සුළු ද ලොකු ද යනුවෙන් වෙන්කොට මනිනු ලබන්නේ නෑ.

ඉස්සර කාලේ පිළිගත් ක්‍රමයට අනුව ඇතැම් විට දරුවකු අතින් සිදුවන පුංචිම වරදකට වුණත් ගස් බැඳ දිමිගොටු දමා දිමියන් ලවා කැවීම වැනි දරුණු ගණයේ දඬුවමක් ලබා දුන් අවස්ථා තිබුණා.

එයින් දරුවා කොපමණ තරම් ශාරීරික හා මානසික පීඩනයකට ලක් වුණත් දරුවාගේ මවුපියන්, වැඩිහිටියන් එතරම් කලබල වුණේ නෑ. ඇතැම් අවස්ථාවක මවුපියන් පාසලට ගිහින් මගේ කොල්ලාට හොඳට දෙකක් දීලා හදාගන්න මහත්තයෝ” කියලා ගුරුවරුන්ට ළමයා බාර දීලා එනවා.

එහෙම අම්මා, තාත්තා විසින්ම, මරන්න ගෙනියන හරකෙක් වගේ ඇදගෙන ගිහින් පීඩකයාටම බාර දෙන ළමයින්ගේ හිතේ ඇතිවන දුක වේදනාව, කෝපය වගේම වෛරය පිළිබඳ අංශු මාත්‍රයක හැඟීමක් මේ මවුපියන්ට හෝ ගුරුවරුන්ට තිබුණා නම් කවදාවත්ම තමන්ගේ දරුවා බලහත්කාරයෙන්ම එලෙස හිංසනයට ගොදුරු කරන්නේ නෑ.

එහෙත් අද තත්ත්වය වෙනස්. ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවත් දැන් ළමයින්ගේ අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කරනවා.

ළමයින් හට ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද දඬුවම් කෙරෙන අතර ශාරීරික දඬුවම් යනු දරුණු අපරාධයක් ලෙස සලකා එය ලෝකයේ රටවල් 132 ක් මඟින් තහනම් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සංවිධානයේ (උව්ඛ්අඛ්) අර්ථ දැක්වීම වන්නේ ශාරීරික දඬුවම් යනු ශාරීරික බලය යොදාගනිමින් කොතරම් සුළුවෙන් හෝ වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවන අයුරින් ශාරීරිකව බලය යොදවා සිදු කරන දඬුවම් ක්‍රමයක් යන්නයි. ශාරීරික දඬුවම් මඟින් ඍණාත්මක ප්‍රතිඵල සහ අහිතකර මානසික ප්‍රතිඵල වින්දිතයාට ලැබෙන බව ශාරීරික දඬුවම් සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ සහ අධ්‍යයන 250 කට අධික සංඛ්‍යාවක ප්‍රතිඵල මඟින් පෙන්වා දී තිබෙනවා. ශාරීරික දඬුවම් මඟින් වින්දිතයා ලබන දැඩි ශාරීරික වේදනාව මෙන්ම ඔහු හෝ ඇය තුළ ඇතිවන මානසික පීඩාව හා කම්පනය ඔවුන්ගේ අනාගත දිවිය පුරාම බලපාන ඍණ ප්‍රතිඵල අත් කර දෙන බවත් එම පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා.

ශාරීරික දඬුවම් ගණයට අයත් වන්නේ පහර දීම, කම්මුලට පහර දීම වේවැල් කෝදු හෝ බැටන් පොල්ලක් ආධාරයෙන් ළමයාගේ අල්ලට ගැසීම කොස්සක් හෝ සමාන ආයුධයකින් පහර දීම, කොනිත්තීම, කන මිරිකීම, කොණ්ඩයෙන් ඇදීම, පිලිස්සීම, සිටුවා හෝ දණ ගස්වා තැබීම වැනි දේයි. කෙටි කාලීනව ශාරීරිකව කරනු ලබන හිරිහැරවලට අමතරව නින්දා අපහාස කිරීම, ළමයින් හෝ පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත්කිරීම වැනි ක්‍රියා තුළින් දරුවන් තුළ ඇතිවන මානසික බලපෑම ඔවුන්ගේ පෞරුෂත්ව සංවර්ධනය කෙරෙහි ඇති කරන ඍණ බලපෑම සුළු පටු නොවේ.

එවැනි දරුවන් පසු කලෙක තම බාල සොයුරු සොයුරියන්ට හෝ වෙනත් අයට හිංසා පිඩා කිරීමට පෙළැඹෙන අතර වැඩිහිටියන් බවට පත්වූ කල සමාජ විරෝධී ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් බවට පත්වන බව ළමා හිංසනය හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදු කරන ලද දෙස් විදෙස් පර්යේෂණ හා සමීක්ෂණ මඟින් හෙළි වී තිබෙනවා.

ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු පවුල් පරිසරවලින් බිහිවන ළමයින් ද අනාගතයේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී සමාජ වාතාවරණයට මේ අයුරින් ළමා කාලයේ හිංසාවට හා පීඩාවට ලක්වූවන් බොහෝ දුරට හේතු වී ඇති බවත් සමාජ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.

ලංකාවේ සමස්ත ළමා පරපුරට මෙන්ම විශේෂයෙන්ම පාසල් දරුවන්ට සිදුවන ශාරීරික හා මානසික හිංසනය නතර කිරීමේ අරමුණෙන් 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුව “ළමා හිංසනයට තිත” නමැති සංවිධානයක් ඇරැඹුණා.

 

2019/02/06 තරුණි පුවත්පත බලන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.