ඉගෙනීමට දුර්වල ද?

පෙබරවාරි 6, 2019

දරුවාගේ ඉගෙනීම මවට, පියාට තම ජීවිතය තරමටම වටිනා දෙයකි. ඉගෙනීමට දුර්වල වන විට ඇති වන සිත් වේදනාව ද එපමණටම ප්‍රබලය. සැබැවින්ම අධ්‍යාපනය දරුවකුගේ යහපත් අනාගතයේ අඩිතාලමයි.

දරුවාගෙන් දරුවාට ඇති හැකියාවන් විවිධ බව මාපියන් දැනගත යුතුයි. එය අගය කිරීමටත් පුරුදු විය යුතුයි.

දරුවා පාසල් යවන්නේ කුමන වයසේ දී ද යන්න අධ්‍යාපනය ගැන සිතීමේ දී පළමුව අවධානය යොමු කළ යුතු කරුණයි. බොහෝ මාපියන් දරුවා පෙර පාසලට යවන්නේ කල් ඇතිවම අධ්‍යාපනයට යොමු කිරීමටයි. සමහරු ඉන් සමාජයට හුරු කිරීමක්ද බලාපොරොත්තු වේ. නමුත් දරුවා මුලින්ම බැඳීම් ඇති කරගත යුත්තේ පවුලේ සාමාජිකයන් සමඟයි. අකුරු, ඉලක්කම් ඉගැන්වීමට ළදරු පාසල් ඇරියත් එසේ යැවීම ළමා මනෝ විද්‍යාඥයන් අනුමත කරන්නක් නම් නොවේ. එහෙත් මාපියන් උත්සාහ දරන්නේ දරුවාට ඒ වයසේදී උපරිම ලෙස අකුරු, ඉලක්කම් ඉගැන්වීමටය. මාපියන් බලෙන් ඉගැන්වීමට යන තරමටම දරුවාට අධ්‍යාපනය නීරස වේ.

ඉතාම ළාබාල කාලයේදී දරුවාගේ වර්ධනයට සරිලන සේ ඉගැන්වීම කළයුතුය. මේ කාලයේ දී දරුවාට විමර්ශනයට හා පරීක්ෂණයට ඉඩ දිය යුතුය. එහෙත් දැන් පෙර පාසල්වල ඇති දැඩි තරගය යටතේ කෙරෙන්නේ කාටත් පෙර අකුරු ඉගැන්වීමයි. සමහර අවස්ථාවලදී දරුවාට වාක්‍ය ලිවීමට පවා හුරු කරයි. මෙහි නියම විද්‍යාත්මක පදනම නොදත් මවුපියන් වැඩිපුර උගන්වන පෙර පාසල තෝරාගනී.

මේ කාලය වඩාත්ම උචිත දරුවාට නිදහසේ අදහස් ප්‍රකාශ කරන අවස්ථා සැලැස්වීම විනා විෂයය නිර්දේශයක් සම්පූර්ණ කිරීමට වැඩ පැවරීම නොවේ.

පෙර පාසල නිම වී පාසල් පටන්ගත් වියේ සිටම මවුපියන් දරුවන්ගේ හැකියාවන් ගැන සැලකිලිමත් වෙයි. මෙය වැදගත් කරුණකි. එහෙත් තම දරුවාගේ හැකියාවන්ට ඔබ්බෙන් අනෙක් දරුවාගේ මට්ටමට ගෙන ඒමට වෙර දැරීම සාර්ථක ප්‍රයත්නයක් නොවේ.

සමහර දරුවන්ගේ කරුණු අවබෝධ කරගැනීමේ හැකියාව අනෙක් දරුවන්ට සාපේක්ෂව අඩු මට්ටමක පවතී. මෙම දරුවන්ට උපකාර කරන විට කරුණු නැවත නැවත පහදා දීම හා සරලව පහදා දීම කළ යුතුය.

 

2019/02/06 තරුණි පුවත්පත බලන්න.