නැළවිලි ගීයෙන් දරුවාගේ ආධ්‍යාත්මයට අමතන්න

මැයි 8, 2019

දරු සම්පත මෙලොව ඇති වටිනාම සම්පත වේ. මාපියන්ට සිය දරුවන් තමන්ගේ ජීවිතය තරම්ම වටී.

දරුවකු මෙලොව එළිය දුටු දිනයේ සිට තනිව වැඩ කටයුතු සිදුකර ගත හැකි කාලය වනතෙක් හා ඉන් පසුවත්, කුමන වයසක පසු වුවත් මාපියන් සිය දරුවන්ට ලබාදෙන රැකවරණය මහමෙරක් තරම් ය.

එකී ආදරය හා ආරක්ෂාවට සමකළ හැකි කිසිවක් නැත. දරුවාගේ කුඩා අවධිය ඔහුගේ ඇයගේ ජීවිතයේ වටිනාම කාලය වේ. පුංචි සන්ධියේ අසන දකින කරන කියන සෑම දෙයක්ම පාහේ අඩු වැඩි වශයෙන් දරුවාගේ චර්යා රටාව සකස් වීම සඳහා පදනම සකස් කරනු ලබයි. එහෙයින් කුඩා අවධියේ දී දරුවාගේ හද මනසට කාවද්දන සියල්ල ඔහුගේ පැවැත්ම සඳහා බලපෑම් කරයි. පුංචි දරුවන් සිටින මවුවරුන් නිතරම දරුවන් සතුටින් තැබීමට වෙහෙසේ. මව දරුවා කෙරෙහි දක්වන ආදරය ඒ සතුට ඇතිකිරීම සඳහා හේතු වේ. දරුවන් සතුටු කිරීම සඳහා මවුවරු නොයෙකුත් ක්‍රම අනුගමනය කරති. ඒ ක්‍රම අතර දරු නැළවිල්ල එක් ක්‍රමයක් පමණි. කුඩා දරුවන් හඬන විට මෙන්ම ඔවුන් නිදිකරවාගැනීම, ඔවුන් සැනසවීම වැනි දේ සඳහා දරුවා නළවාගැනීමට මවුවරු වෙහෙසෙති. නිවෙසේ දී වෙනත් අවස්ථාවල දී දරුවන් නැළවීම මවුවරුන්ගේ රාජකාරි අතුරින් සුවිශේෂී වේ. එහෙත් වර්තමානය වන විට මෙකී භාවාත්මක ආධ්‍යාත්මික ක්‍රියාවලිය නවීකරණය වෙමින් පවතින බව දැකිය හැකියි. වර්තමානයේ බොහෝ මවුවරුන් සිය දරුවා නැළවීම සදහා යොදාගන්නේ ජංගම දුරකථනයයි. එහි වීඩියෝ පටයකින් හෝ එහි පටිගත කරන ලද ගීතයකින් හෝ දරුවා නැළවීමට මවුවරු උත්සාහ කරති. කාර්යබහුලත්වය නිසා දිවා කාලයේ නැළවිලි ගීයක් කියා දරුවා නළවන්නට නොහැකි වුවත් රාත්‍රී කාලයේදීවත් දරුවාට නැළවිලි ගීයක් ගයා සැනසවීමටවත් බොහෝ මවුවරුන්ට නොහැකි වී තිබේ. ඉලෙක්ට්‍රොණික උපකරණයකින් දරුවා නැළවීම සැබෑ දරු නැළවිල්ලක් නොව ව්‍යාජයකි.

එදා අපේ ජන සමාජයේ දරු නැළවිලි ගී වටිනා බැඳීමක් සංකේතවත් කළ ගායන විශේෂයකි. දරු නැළවිලි ගී හුදෙක්ම දරුවාගේ හද මනස සුපහන් කිරීමට සමත් විය. මව කෙරෙහි පවතින ආදරය මෙන්ම ලෝකය සමාජය කෙරෙහි දරුවා තුළ ඇතිවන සංවේදීත්වයේ මූලාරම්භය දරු නැළවිල්ලෙන් පවා ඇති විය. දරුවාට මානසිකව ලැබෙන සුවය විවේකය මෙන්ම මව කෙරෙහි ඇතිවන ආදරය ද වැඩි වීමට දරු නැළවිලි ගී හේතු විය.

අම්මා යනු නිවෙසේ මෙන්ම දරුවාගේ වීරවරිය වන අයුරුත්, දරුවා වෙනුවෙන් ඇය සිදුකරන මෙහෙවර පවා නැළවිලි ගීයෙහි අන්තර්ගතයේ ඇතුළත් විය. මෙය දරුවා සමීපයට වී ආදරයෙන් මව විසින් රිද්මයට ගායනා කරන විට දරුවා සතුටු වනවා සේම දරුවාගේ මනසට විවේකය හා ආධ්‍යාත්මයට සංවේදීත්වය එකතු වේ. එවිට ඔහුගේ හද මනස නිරන්තරයෙන් යහපත් ලෙස පෝෂණය වේ.

 

අතට වෙරළු ඇහිදගෙනේ

ඉණට පලා නෙළාගෙනේ

බරටම දර කඩාගෙනේ

එයි අම්මා විගසකිනේ

 

දරුවා වෙනුවෙන් මව වෙහෙසෙන අයුරු දැක්වෙන මෙම කවිය පවා එයට සාධක සපයයි.

 

දරුවාගේ ලෝකය සුන්දරය. සරලය. ඒ ලෝකය තුළ දරුවා සතුටක් ලැබීමට නම් එකී සරලත්වය හොඳින් අවබෝධ කරගැනීම වැදගත්ය. දරු නැළවිලි කවියෙහි එකී සුන්දරත්වය හා සරලත්වය මනාව සුසංයෝග වී පවතියි. දරුවාගේ සිඟිති ලෝකයට එය මහත් අස්වැසුමකි.

 

ඔන්න බබෝ ඇතින්නියා

ගල් අරඹේ සිටින්නියා

ගලින් ගලට පනින්නියා

පුතුට බයේ දුවන්නියා

 

ඉතා සරල පබැඳුමකින් දරුවා සනසන්නට නැළවිලි කවියට ඇති හැකියාව විස්මිත වේ.

එලෙසම දරුවාගේ නින්ද විවේකය උදෙසා ද නැළවිලි ගීයෙහි ඇති සුවය අපමණය. දරුවා තුරුලට ගෙන මව ගයන නැළවිලි ගීය දරුවාගේ මනසට කාවැදෙන්නේ නිරායාසයෙනි. මවගේ උණුසුම දරුවාට ලැබෙන විට නැළවිලි ගීයක් ඇසීම දරුවා කෙරෙහි ඉතා සුවපත් හැඟීමක් ජනිත කරයි. මවු සෙනෙහසේ මිහිරියාව සුවය දරුවාට රිසි සේ විඳගැනීමට ඉඩ ලැබේ. එහෙයින් නැළවිලි ගීයෙහි තාලය පමණක් නොව මවු ගුණය කෙරෙහි සංවේදීත්වය ද දරුවා තුළ ඇති කරවයි.

 

දොයි දොයි දොයි දොයිය පුතා

බයි බයි බයි බයිය පුතා

නුඹෙ අම්මා කිරට ගියා

කිරි එරවා එන්න ගියා

කිරි මුට්ටිය ගඟේ ගියා

ගඟට උඩින් කොක්කු ගියා

 

සංකීර්ණ වන සමාජ පරිසරය තුළ දරුවාගේ ආධ්‍යාත්මය ගොඩනැංවීමෙහිලා මාපියන් සතු වගකීම අති මහත් ය. මිනිසත්බවින් පිරි හොඳ පුරවැසියකු සමාජයට බිහිකිරීම උදෙසා කුඩා කල පටන්ම දරුවාගේ හද මනස නිවැරැදිව යහපත් ලෙස සකස් කළ යුතුය. ජීවිතයක ඇති වටිනාකම පවා නො දන්නා වත්මන් සමාජයේ වෙසෙන අප දරුවන් තුළ එකී වටිනාකම අද අදම ඇති කළ යුතුයි. එවිට ඔවුන් නිරතුරුව රටට දැයට හිතැති දූ පුතුන් වනු නිසැකය. එහෙයින් නැළවිලි ගීයෙන් පවා දරුවාගේ ආධ්‍යාත්මයට ඇමතීම හා එය යහපතෙහි පිහිටුවීම අප සැමගේම යුතුකමකි.

ජන සන්නිවේදන

අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය