විභාගය ජය ගන්න දරුවාට දිරි දෙන්න

ජුනි 26, 2019

“කැලැන්ඩරයේ පිටු බොහොම වේගයෙන් ගැලවෙනවා. විභාගයට තව ඒ තරම් කාලයක් නෑ. අපේ දූ පාඩම් කරනවාට වඩා කරන්නේ පොත අතේ තියාගෙන නිදි කිරන එකයි. මේ ළමයා විභාගයට ගිහින් මොනවා කරගනීද? ඇත්තටම මගේ හිතට අස්වැසුමක් නෑ.”

දූ පුතුන්ගේ විභාග සූදානම ගැන මෙලෙස ඔබත් සිතට කරදර උපදවා ගන්නවා විය හැකියි. සැබැවින්ම මේ නිවැරැදි විභාග සූදානමක් සඳහා දරුවාට ඔබේ සහයෝගය ඇවැසිම මොහොතයි.

ඉදින්, ඒ වෙනුවෙන් ආදරණීය අම්මලාට මේ දැනුවත්කම මහඟු අත්වැලක්වනු නියතයි.

සටහන් පොත්... නිබන්ධන... අනුමාන ප්‍රශ්න පත්‍ර... පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර... විභාගයක් ළං වෙද්දී අපේ දරුවන්ට විසල් පොත්පත් කන්දකට මැදි වී අධ්‍යයන කටයුතු කිරීමට සිදුවන බව ඇත්තයි. තියරි... රිවිෂන්... පේපර් ක්ලාස් දරුවන් සහභාගි විය යුතුව ඇති නානා මාදිලියේ ටියුෂන් පන්තිත් බොහෝයි. තරගකාරි විභාගයකින් උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට දුව පුතා අපරිමිත වෙහෙසක් දැරිය යුතුව තිබෙනවා. ඒ නිසාම විභාග කඩඉම ළඟ හිඳින දරුවාගේ කායික - මානසික සෞඛ්‍යය යහපත් විය යුතුමයි.

“දවස තිස්සේම විභාගයට මහන්සිවෙන දරුවාට හොඳ පෝෂණයක් ඕනෑ” දරුවාගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් අපේ අම්මලා මෙලෙස සිතනවා. “ශක්තිය උත්පාදනයටත් නිරෝගී පැවැත්මටත් වෙහෙසෙන දරුවාට ප්‍රමාණවත් පෝෂණ අවශ්‍යතාවක් තිබෙන බව ඇත්තයි.

එහෙත් විභාගය නිසා සාමාන්‍ය දිනචර්යාවට වෙනදා නොවූ කාර්යබහුල බවක් එක්වූ දරුවන්ට නිවැරැදි ආහාර රටාවක් තිබෙනවාද?

උදෑසන පාසලට පන්තියට යා යුතු කලබලය හේතුවෙන් බොහෝ දරුවෝ හරිහැටි ආහාරවේලක් ලබා ගන්නේ නැහැ. දිවා ආහාර වේල පාසල පන්තිය අසල කැෆේ එකකින් විසිතුරු පිටි ආහාරයකින් සපුරා ගැනීම යොවුන් දූ පුතුන්ගේ විලාසිතාවක් වී තිබෙනවා. මේ දරුවන් බඩගින්නේ තරමටත් වඩා උණු උණු ලොකු බත් පිඟානක් ආහාරයට ගන්නේ රාත්‍රි ආහාර වේලටයි.

දවස තිස්සෙම වෙහෙසුණු දරුවා ඉදිරියේ ලොකු කෑම පිඟානක් තබා යහමින් කුස පුරවා ගන්නා තුරා අපේ අම්මාවරුන් දරුවාට පෙරැත්ත කරනවා. ඉන්පසු පමණට වඩා පිරුණු කුසත්, දවසේ වෙහෙසත් සමඟ මේ දූපුතුන් පොත් අතට අරගෙන සුව පහසුව පාඩම් කරන්නට ඇඳට යනවා. මෙහිදී සියලු සාධක සැපිරි ඇත්තේ දරුවාට ඉක්මනින්ම ලැබෙන නින්දකටයි. ඒ දවසේ වෙහෙස - පිරුණු කුස හා සුවපහසු ඉරියව්ව - ඒකාකාරී වූ සටහන් මිනිස් සිරුරට නිදිමත කැඳවන හෝමෝන උත්තේජනය කරවන නිසායි.

විභාග සූදානමක් ඉදිරියේ වෙහෙසෙන දරුවකුටත් වඩා වැදගත් වන්නේ උදෑසන ආහාරයයි. මොනතරම් කාර්යබහුල වුණත් උදෑසන ආහාරයට විනාඩි දහයක් පහළොවක් වෙන්කිරීමෙන් දවස තිස්සේම ප්‍රබෝධවත්ව අධ්‍යාපන කටයුතුවල යෙදීමට හැකියාව ලැබෙනවා. මේ නිසාම අපේ අම්මාවරු විභාගයට සූදානම්වන දරුවන්ට පෝෂණ ගුණයෙන් යුතු උදෑසන ආහාරයක් ලබාදීමට අවධානය යොමු කළ යුතුයි.

නැවුම් කිරි වීදුරුවක්, කොළ කැඳ වීදුරුවක්, පලතුරු යුෂ වීදුරුවක් වැනි පානයක් සමග එළවළු, බිත්තර එක්කළ හාල්පිටි රොටියක්, එළවළු එක්කළ පිට්ටුවක් නැතිනම් ගෙදරම සැකසූ මික්ස් රයිස් එකක් වැනි විවිධත්වයෙන් යුතු පෝෂණීය ආහාරයකින් දරුවාගේ උදෑසන ආහාරය සපුරාලන්න උපක්‍රමශීලී වන්න.

සමබල ආහාරයක් වෙනුවට දැන් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ දිනකට ලබා ගන්නා ආහාරය ස්වාභාවික වර්ණ පහකින් සමන්විත යුතු බවයි.

දවස තිස්සේ ස්වාභාවික වර්ණ පහක ආහාර ලබාගන්නා දරුවන්ට අමතර විටමින් අවශ්‍යතාවක් මතු වන්නේ නැහැ.

දරුවා නිවෙසින් බැහැරව සිටියත් වේල් තුනටම පෝෂණීය ආහාරයකින් කුස පුරවා ගන්නවාදැයි සැලකිලිමත් වන්න. ඒ පන්තියෙන් පන්තියට මාරුවෙමින් කුසගින්න නොතකා හරින දරුවන් විභාග ආසන්නයේදී ගැස්ට්‍රයිටිස් රෝගයට ගොදුරුවීමේ සුලබ ප්‍රවණතාවක් පවතින නිසායි.

කෙසේ වෙතත් කුසගින්න නිවා ගැනීමටත් නිදිමත පලවා හැරීමටත් පැණි බීම හෝ කෙටි කෑමවලට යොමු වීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ.

විභාග සූදානමේ සිටින දරුවකුට දොඩම්, නෙල්ලි වැනි සී විටමින් බහුල බීමක් යෝග්‍ය වන්නේ ඉන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය වගේම ස්මරණ ශක්තියත් වඩවන නිසායි.

2019/06/26 තරුණි බලන්න