පරිසර සිරිසර දකින දරුවා ගෙනෙන අභිමානය ඔබටයි

ජූලි 17, 2019

අපි අධිවේගී සමාජයේ කාර්යබහුල කමෙන් පෙළෙන්නෙමු. මේ සමඟම ඈදෙන දවසේ විඩාවෙන් යුතු බොහෝ දෙනකු කෙරෙන් සංවේදී මානුෂීය හැඟීම් පලා ගොසිනි. ඒ වග දෑසින්ම දකිමින් අපි අපේ දරුවන් ද බැරි බර අධ්‍යාපනයක වේගයකට හා තරගයකට ඇද දමා තිබේ. ඉඳින් ඔවුහු ද සිත් පිත් නැති රොබෝවරු පිරිසක් බවට පත් වෙමින් හිඳිති.

සැබැවින්ම සැනසීමක් නැති වේගයෙන් මුදවා අප අපේ දරුවන්ට වහ වහා යහගුණ දම් පවරා නොදෙන්නේ නම් සිදුවන්නේ මහත් ව්‍යසනයකි.

මාපියන්ගේ දහදිය සුවඳ - බිරියකගේ ආදරය - දරුවකුගේ සෙනෙහස කෙරෙහි ළතෙත් නොවන අයකු පවුලක් ගොඩ නඟා ගැනීමේ වටිනාකමක් දකින්නේ නැත. එපමණක් නොව අනෙකකුගේ සතුට මෙන්ම දුක කෙරෙහි සංවේදී නොවන්නේ නම් ඔහු හෝ ඇය දිනූ මනුෂ්‍යත්වයෙන් පලක් නැත. ඒ නිසාම ඔබේ දරුවා මනුෂ්‍ය හැඟීමෙන් පිරිපුන් කළ යුතුව තිබේ. ඔබ කිසිසේත්ම නොසිතනවා විය හැකියි. එනමුදු ඒ සඳහා හොඳම පාඩම් පොත ස්වාභාවික පරිසරයයි.

මනුෂ්‍යත්වයේ උත්තරීතරම ඵලය වූ බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේ හරිත වනයක සිසිලස, ගලා යන ගඟක ශාන්තිය මානව වර්ගයාට පරම භාග්‍යයක් බව ආදර්ශයෙන්ම පෙන්වා දුන් සේක. සිදුහත් උපත සිදු වූයේ සැණකෙළියක් සේ සුපිපුණු මල් ඇති සල් උයනකදීය. සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත් වූයේ මඳනලට ලෙළදෙන පත් ඇති බෝ සෙවණකදී ය. බුදු හිමිගේ පිරිනිවන ද සල් අරණක මල් පෙති ඉහිරෙන විසල් සල් රුක් දෙකක් අතර ය.

අවහිරයක් නොකර ඉඩ දෙන්නේ නම් සිරිසර යහමින් ඇති, මේ පරිසරය අප හිතාමතාම නොතකා හැර තිබේ. ඒ පිනි මුතු බැබළෙන තණ බිම් – මල් පෙති රටා අඳින තුරු සෙවණ කොන්ක්‍රීට් ඇතුරමකින් වසා දමමිනි. සිමෙන්ති හිරගෙවල්වල සිරගත වෙමිනි. ගලන ගඟක මුණු මුණුව - හමන සුළඟක සිරි සිරිය – කුරුලු ගී රාවයක මිහිර – මල් ගොමුවක මුදු සුවඳ අපේ සිත් සතන් නිවන භාවනාවකට කදිම කමටහන් බව අපට අමතකව තිබේ. සැබැවින්ම මේ මාහැඟි පරිසරයට සිත් සතන් යොමන්නේ නම් මානසික ආතතියට මෙන්ම අද ජාතික ප්‍රශ්නයක් තරම් වී ඇති බෝ නොවන රෝග බොහෝමයකටත් තිරසාර විසඳුම් ලැබේ.

ඒ නිසාම ඔබේ ආදරණීය දරුවාට පරිසරය විඳින්නට මෙන්ම පරිසරයට ආදරය කරන්නට මඟ පෙන්වන්න. බීජයක් සිටුවා එයට පොහොර – වතුර – හිරු එළිය ලබා දී සෙනෙහස දක්වන්න ඉඩ දෙන්න. එවිට පොළොවෙන් පහළට ඇදෙන මූල පද්දතියක් සමඟ පොළොවෙන් ඉහළට ඇදෙන අංකුරයේ පෙති දෙපෙති බෙදී පත් දිග හැරී පැළයක් බිහිවන අපූරුව ඔවුන් සියැසින්ම දකීවි. ඉන්මතු ඔවුන්ගේ ආදරයේ තරමටම පුංචි පැළය හැකිතාක් වැඩී මල්ඵල දෙන අසිරිය අත්විඳිනු ඇත. ඉන් නොනැවතී ඔබේ දරුවන් තුරුපතක – මල් පෙත්තක ඇඳුණු සියුම් රේඛාවල විස්මය නිරීක්ෂණය කරනු ඇත. මේ දරුවා නිතැතින්ම සොබා දහමට ආදරය කරන්නේ බොහොමයක් මානුෂීය ගුණාංග ද සොබා දහමින් උකහා ගනිමිනි.

දියුණු රටවල අධ්‍යාපනවේදීහු දරුවන් තුළ සංවේදී ගුණාංග රෝපණය කිරීම සඳහා අපූර්ව පරිසර පැවරුමක් ලබා දෙති. සුරතල් සතකු හදා වඩා ගනිමින් ඒ පිළිබඳ වාර්තා පොතක් පවත්වාගෙන යාමට ලැබෙන මේ පැවරුමේදී දරුවා සුරතලා පිළිබඳ පරිසර පාඩමට අමතරව ආදරය – කරුණාව - දයාව වැනි මානව හැඟිම් ද උගනියි. දිය කඩිත්තකට වැටුණු කෘමි සතකුට තුරුපතක් ළංකර හවුහරණක් වන දරුවකු කිසිසේත්ම අනාගතයේදී වියපත් මාපියන් නොතකා හරින්නේ නැත. අනෙකා ගැන නොසිතා සිටින්නේ ද නැත.

පරිසරයේ සිරි අසිරිය විඳින දරුවෝ නිතැතින්ම පරිසරයට ආදරය කරති. ඒ නිසාම ඔබ ඔබේ දරුවන්ට පරිසරයේ අසිරිය දකින්නට මඟ කියා දෙන්න.

“දරුවන්ට පරිසරයේ ලස්සන පෙන්වන්න කෝ අපට වෙලාවක් . . .?”

ඔබට නැඟෙන මේ සිතුමට ද බෙහෙවින්ම පහසු විසඳුමක් තිබේ. සැබැවින්ම පරිසරයේ අසිරිය දකින්නැයි දරුවන්ට කියා දෙන්නට ඔබ වහ වහා සිංහරාජ වනදහනට හෝ මුතුරාජවෙල වගුරු බිමට දරුවා කැඳවාගෙන යා යුතු නොවේ. ශබ්ද දූෂණයෙන් මිදුණු හිමිදිරි උදෑසනකදී ඔබේ දූ පුතුන්ට දෙනෙත් වසා කුරුලු කූජනයකට සවන් දෙන්නැයි කියන්න. අසල ඇති ගසකින් ඉදී වැටෙන තුරු පතක වූ වර්ණ සංයෝජනය නිරීක්ෂණය කරවන්න. පුන් පොහෝ දින අහසට නැඟෙන පුන් සඳේ සඳ එළිය විඳින්නට ඉඩ දෙන්න. ඔබ නොතකා හැරි ඔබ අසලම වූ මේ පරිසර සිරිසර දරුවාගේ ළතෙත් හදවත හෙමි හෙමිහිට පිරිමදිනු ඇත.

පරිසරයට ආදරය කරන දරුවෝ නිතැතින්ම ලස්සන පරිසරයක ජීවත්විමට ප්‍රිය කරති. ඒ නිසාම ඔවුනට තමා අවට පරිසරය ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාමට පහසුවෙන්ම ඉගැන්වීමට ද පුළුවනි.

 “Clean as you go”

යම් කාර්යයක නිියුතුව සිට නැඟිට යන විට තමා රැඳී සිටි ස්ථානය පිරිසුදු කර යෑමට ඔබේ දරුවන් හුරු කරවන්න. එහිදී තමා භාවිත කළ උපකරණ නිසි තැන තැබීමටත් – ඉවතලන දෑ නිසි ලෙස බැහැර කිරිමටත් කියා දෙන්න. මේ හුරුවෙන් ඔබේ දරුවා ලබන සමාජ වටිනාකම ඔබටත් අභිමානයක් වේවි.