දරුවාගේ නැණ නුවණ මෙන්ම අධ්‍යාත්මය ද අවදි කරමු

ජූලි 31, 2019

තරුණී පුවත්පත වසර 50 ක් මිනිසුන්ගේ ජීවිත සමාජයීය, ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කළ පුවත්පතකි. තම කුටුම්භය තුළ මෙන්ම ප්‍රජාව ඇසුරේ ද තමන්ගේ භූමිකාව ගෞරවයෙන් හසුරුවා ගැනීමට කාන්තාවට අවශ්‍ය ප්‍රතිශක්තීකරණය ලබා දුන් අගනා පුවත්පතක් වන ‘තරුණී’ ට තවත් සිය වසක් නොව දහස් වසක් සමාජයට හස්තසාර, මහඟු සේවයක් ඉටුකිරීමට ආයු ලැබේවායි! ආශිංසනය ප්‍රාර්ථනා කරනු ලබනවා.

පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

මේ විභාග උන්මාදය පවතින කාලයයි. අම්මලා දූදරුවන්ව පෞද්ගලික පන්ති, වැඩමුළු, දේශන ගණනේ දුවවන කාලයයි. මාපියන්ටවත් දූ දරුවන්ටවත් මොහොතක් හෝ නතරවී ගිමන් නිවා ගැනීමට අවසර නැත.

එසේ කළහොත් අධ්‍යාපනයෙන් පරතෙරට ගොස් උසස් රැකියාවක් කරන ඉහළ වැටුපක් ලබන දියණියක, පුතකු පිළිබඳ මැවූ සිහිනය බොඳවී යයි. අභිමානය ගිලිහී යයි. මේ සිහිනය පියවරුන්ටත් වඩා දකින්නේ මවුවරුන්ය.

සිහිනය සැබෑකර දූදරුවෝ මවුපියන් තිතක් තරමටවත් නොපෙනෙන දුර යති. බොහෝ දූදරුවෝ විදෙස්ගත වෙති.

එය කුඩා දරුවන් බට පතුරින් පාට උලා හැඩකර උඩයැවූ සරුංගලයක් අත්කර දෙන ඉරණම බඳුය. සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි අවසන ඉතිරිවන සත්‍ය එයයි.

“උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන - කවදා දූ පුතු ඒ දැයි පතාගෙන- වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන, මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන- දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නෙමි - මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි - මරණය දොරකඩට සපැමිණ සිටින්නෙමි - ලේ කිරිකර පෙවූ දරුවන් දැක මියෙන්නෙමි” මවකගේ සැඳෑ සමයේ ගීය බවට පත්වෙයි. ඇතැම් මවුපියවරුන්ට කවරදා දූපුතුන් ඒදැයි බලා සිටීමට පවා වරම් නොලැබෙයි. උත්තරීතර වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න තරම් වරම් ලැබූ දරුවන් තමන් ඒ තැනට රැගෙන ආ මවුවරුන් මහමඟ දමා යන අවස්ථා මේ බෞද්ධ රටේ විරල නැත.

උදාර සංස්කෘතියක් හිමි අපේ රටේ දරුවන් දුවවන්නේ විභාග ජයග්‍රහණ සඳහාම පමණි. එහෙත් අපට තරම් විශිෂ්ට සංස්කෘතියක් නැතැයි ශී‍්‍ර ලාංකිකයන් හඬගා කියන බ්‍රිතාන්‍ය වැනි රටවල ලකුණුවලින් පමණක් සරසවි ප්‍රවේශය ලබාගත නොහැකිය. ඔවුන් ශිෂ්‍යයාගේ සංවේදීභාවය, නිර්මාණශීලීත්වය, බාහිර ක්‍රියාකාරකම් සියල්ල ගැනම සොයා බලයි. එහෙත් අපේ රටේ බොහොමයක් සිටින්නේ ගිරා න්‍යායයෙන් සරසවියට පිවිසෙන උගත් නූගතුන් ය.

අධ්‍යාපනයෙන් පමණක් දරුවන්ගේ අධ්‍යාත්මය අවදි වන්නේ නැත. මාපියන් දූ දරුවන් සමඟ බැඳෙන ළබැඳියාව නිවෙසේ සමගිය, සෞභාග්‍ය, සතුට උතුරවන ආගමික පරිසරය ශිල්ප සතර මෙන්ම ජීවිතයට වැදගත්ය. දරුවන්ගේ නැණ නුවණ වාගේම අධ්‍යාත්මය අවදි කිරීම ද මවගේ ද පියාගේ ද යුතුකමකි. මේ යුතුකම ඉටු කිරීමේ දී බැහැර කළ යුතු මිථ්‍යාවන් වැලඳ ගතයුතු සත්‍යයන් බොහෝය.

පුතුන් නව යොවුන් වියට පිවිසීමත් සමඟ වඩාත් සමීපවන්නේ පියා සමඟ බවට මතයක් පවතී. එහෙත් ළමා සංවර්ධනය පිළිබඳ ජර්නලයෙන් පෙන්වා දී ඇත්තේ ඇතැම්විට දියණියකට ද වඩා පුතකුට මව සමඟ සමීප සබඳතාවක් තිබීම වැදගත් බවයි. මව සමඟ පුතකුට තිබෙන ආදරණීය, උණුසුම් ළබැඳියාව පුතුන්ගේ චර්යාත්මක ගැටලු අවම කරයි. මේ විවිධ වූ විෂම වූ ලොවට පිවිසීමට පෙර මව සමඟ ඇතිවන සුරක්ෂිත සම්බන්ධතාව පුතකුට ඉතා අගනේය. මව හා ළෙන්ගතුව බැඳෙන පිරිමි දරුවා යෞවනයකු වූ පසුව හොඳම ආදරවන්තයෙක් වෙයි. එයින් අනාගතයේ යහපත් ස්වාමි පුරුෂයකු වීමට ද පදනම වැටෙයි.

ගැටවරයන් නොමඟයාමට බොහෝ විට හේතුවන්නේ සමවයසේ මිතුරු මිතුරියන්ය. මවට වඩාත් සමීප වූ විට සමවයසේ කණ්ඩායම් නිසා ජීවිතය මංමුළා කර නොගනියි. ගැටවරයන් තනිව නැඟී සිටිය යුතු නමුත් මවගේ පියාගේ සහයෝගය ද අවශ්‍යය.

මාපියන් අසුබවාදී නම් එය දරුවන්ගේ ජීවිතවලට ද අසුබවාදීව බලපායි. 2011 දී අමෙරිකානු ළමා සංවර්ධන පිළිබඳ ජර්නලයේ සඳහන්කර ඇති අන්දමට ළදරුවකු මාස නවයේ පසුවෙද්දී මාපියන් දබර කරගන්නවා නම් නොමනාපයෙන් පසු වෙනවා නම් එයින් මාස දහ අටවෙද්දී දරුවාගේ නින්දට බාධා සිදුවෙයි.

දෙදෙනාගේ සෙනෙහස දරු පැටියාගේ එක්වීමත් සමඟ වඩ වඩාත් සවිමත් විය යුතුය. මාස නවයේ සිඟිත්තාට පවා මාපිය නොමනාපය හොඳින්ම දැනෙයි.

අකුරක් හඳුනා ගැනීමට තරම් තේරුමක් නැති වයසේ සිටින පොඩ්ඩාට, පොඩිත්තියට රූප පොත් පෙන්වා දරුවන් කියවීමට පෙලඹවීම හොඳ පුරුද්දකි. එහෙත් දරුවා සමඟ කුඩා වියේ සිටම සෙල්ලම් කිරීමට පෙලඹෙන මාපියන් සිටින්නේ අඩුවෙනි. ක්‍රීඩාවෙන් ද දරුවන්ගේ ජීවන කුසලතා ඔප් නැංවෙයි.

පර්යේෂණවලින් සොයාගෙන ඇති අන්දමට කුඩා වියේ සිට මාපියන් සමඟ ක්‍රීඩාවට, සෙල්ලමට යොමුවන දරුවන් අභියෝගවලින් පලා යන්නේ නැත. අධ්‍යාපනයට ද වැඩි කුසලතාවක් පෙන්වයි. එමෙන්ම මෙවැනි දරුවන් විනයගරුකය.

මේ පරිගණකයට, පුංචි තිරයට කොටු නොවුණු ක්‍රියාකාරී දරුවකු නිර්මාණය වන මඟකි.

ක්‍රියාකාරී දරුවා හෙට දිනයේ ක්‍රියාකාරී වැඩිහිටියකු බවට පත්වෙයි.

දරුවන්ගේ සමාජ කුසලතාවන් වර්ධනයට මාපිය දූදරු සබඳතාව අත්‍යවශ්‍යය.

මවුපියන් එකිනෙකාට ආචාරශීලී නොවන විට දරුවන් සමාජයේ ආචාරශීලී පුද්ගලයෝ බවට පත් නොවෙති. ‘ඔයාට ස්තුතියි’, ‘කරුණාකර වැනි වදන් දරුවා සමඟ කෙරෙන වචන හුවමාරුවේදී යොදාගන්න.

දරුවා ආගමික ස්ථානවලට රැගෙන යායුත්තේ කුඩා වියේ සිටය. සතුන්ට ආදරය, කරුණාව, අනුකම්පාව ඇති කිරීමෙන් සමාජයට සෙනෙහෙවන්ත පුරවැසියකු බිහිකිරීම පහසුවෙන්ම කළ හැකිය.

පවුලේ වටිනා සම්ප්‍රදායන් සුරැකීම, ආගමික වතාවත් කිරීමට දවසේ වේලාවක් වෙන්කර ගැනීම, සොබාදහමට දරුවා සමීප කිරීම මඟින් පොඩ්ඩා ලබන අධ්‍යාත්මික පුහුණුව ජීවිතයට උපාධිය මෙන්ම වැදගත්ය.

මවුපියන්ටත්, දූදරුවන්ටත් ජීවන තක්සලාව සිරි විමනක් කළ හැක්කේ එවිටයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.