දියුණුව වළකන සැකය...

නොවැම්බර් 13, 2019

 

දියුණුවට වින කරන අප තුළ ම ඇති දුර්වලතා බොහොමයකි. ඉන් ඇතැම් දුර්වලතා අප හඳුනාගෙන තිබෙන අතර තවත් ඒවා දුර්වලතා බව අපි නොසිතන කාරණා ය. එහෙත් එම දුර්වලතා අපගේ සාර්ථකත්වය වැළැක්වීමට සමත් වේ.

එවැනි දුර්වලතා බොහෝ ඇතත් එවැනි සාර්ථකත්වය වළක්වාලන අප තුළ ඇති දුර්වලතා පහක් පිළිබඳ අපි ඔබට පැවසුවෙමු.

ඉන් සැප සෙවීම, ගොනුවක් නොමැති බව හෙවත් අපිළිවෙළ, නොරිස්සීම, වැඩ කල් දැමීම යන කරුණු හතර පිළිබඳ පසුගිය සතිවල දී අපි වැඩි දුරටත් කරුණු දක්වමින් පැහැදිලි කළෙමු. අද එහි අවසාන දුර්වලතාව ලෙසින් ගැනෙන සැකය දියුණුවට බාධා කරන්නේ කෙසේදැයි පැහැදිලි කරගනිමු.

සාමාන්‍යයෙන් තමා කරන දෙය පිළිබඳ සැකයක් ඇති වීම විචිකිච්ඡාවයි. සැකය යන්න බෙහෙත් නැති ඔඩු දුවන රෝගයක් වැනි ය. තමා ආරම්භ කළ කිසියම් උත්සාහයක් එලෙසම පවත්වාගෙන යාමට ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් නොතිබුණහොත් සුළු බාධාවකින් හෝ එය අතහැරීමට පුළුවන.

තවත් ලෙසකින් පවසන්නේ නම් සැකය යනු තමාට බැරි බව සිතීමයි. උද්‍යෝගය අඩු වූ විට සැකය ඇති වේ. උද්‍යෝගය, වුවමනාව අඩු නම් තමාට බැරි බවට සැකයක් සිතේ හට ගනී. තමාට යම් කාර්යයක් පිළිබඳ දැඩි උද්‍යෝගයක්, උනන්දුවක් ඇති විට කෙසේ හෝ එය කිරීමට හැකි බවක්, අදිටනක් සිතේ ඇති වේ. ඉන් සැකය පළවා හැරේ.

පසුගිය දිනෙක දරුවා ළිඳට වැටී ඇති බව දුටු මවක් කිසිත් නොසිතා ළිඳට පැන දරුවා බේරා ගත් සිද්ධිය ඔබටත් මතක ඇති. එහිදී මවගේ කකුලට යම් අනතුරක් සිදු වුවත් ඇය තම දරුවා බේරා ගැනීමට, තමාට එය සිදු කළ හැකිදැයි කිසිදු සැකයකට ඉඩ නොදී අදාළ තීරණය ගෙන තිබිණි. එසේ නොවන්නට ඇතැම් විට දරුවා බේරා ගැනීමට නොහැකි වීමට ද ඉඩ තිබිණි.

ඇතැම් දියුණු වූ සහ විවිධ කාර්යයන් සිදු කළ පුද්ගලයන්ගේ ජීවිත කතා හැදෑරීමේ දී අපට එම පුද්ගලයන් එම කාර්යයන් කෙසේ සිදු කළේදැයි සිතා ගැනීමට පවා අසීරු වේ. එහෙත් තමාට එය කළ හැකිදැයි සැකයක් ඇතිකර නොගෙන එම පුද්ගලයන් එම කාර්යයන් ඉටු කිරීමෙන් ජීවිතය ජය ගෙන ඇත.

යමක් කිරීමට 'බැහැ' යන හැඟීම අපට ඇති වන්නේ එය කිරීමට අප තුළ සැකයක් ඉපදීම නිසයි. 'මෙය කළ යුතුමයි' ලෙස තමාගේ සිතට යෝජනාවක් ඉදිරිපත් කළ විටෙක සැකයක් සිතට ඇති නොවේ. එය කෙසේ හෝ ඉටු කිරීමට දිරි ගනී.

තමාට යම් කාරණයක් සිදු කිරීමට අවශ්‍ය ම බව දැනුණ විට ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවේ. එම කාර්යය සිදු කිරීමට හැකියාව ද නිතැතින් ම ලැබේ. තමාගේ අරමුණ ගැන නිතර සිතා එය කෙසේ හෝ සිදු කළ යුතු යැයි සිතීමෙන් සිතේ ඇති සැකය දුරුකර ගත හැකියි.

පැහැදිලිකමක් නැතිකම නිසා ද සැකයක් ඇති විය හැකිය. යම් කිසි කාරණාවක් පිළිබඳ එය කිරීමට මත්තෙන් එයට අදාළ සියලු කාරණා පිළිබඳ දැනුවත් විය යුතුය. එසේ වූ විට සැකයක් තමාට එය කිරීමට නොහැකි වේ යැයි බියක් ඇති නොවේ.

ව්‍යාපාර ක්ෂේත්‍රයේ දී තමන් තෝරාගත් ව්‍යාපාරික අරමුණ සහ ඊට ළඟා වීමට තෝරාගත් උපාය මාර්ග හෙවත් ක්‍රමෝපාය පිළිබඳ තමාට සහ ආයතනයට සම්බන්ධ අයට හොඳ අවබෝධයක් හා විශ්වාසයක් තිබීම අවශ්‍ය කරුණකි.

මෙම විශ්වාසය නොතිබුණහොත් නිසි ප්‍රතිඵලයක් ලබා ගැනීමට පෙර එම උපාය මාර්ගය අත්හරින්නනට හෝ වෙනස් කරන්නට පෙලඹේ.

එසේත් නැතිනම් ආයතනයේ විවිධ සාමාජිකයන් තම තමා විසින් රිසි ලෙස තෝරාගන්නා ලද උපාය මාර්ග අනුගමනය කිරීමට පෙලඹෙනු ඇත.

ආයතනයේ දැක්ම, මෙහෙවර ප්‍රකාශය, උපාය මාර්ග ආදිය පිළිබඳ සේවකයන්ට විශ්වාසයක් නොවුණහොත් ඔවුන් සිය ආයතනයේ මුඛ්‍ය පරමාර්ථවලට පටහැනි අරමුණු කරා යොමු වීමට ඉඩ තිබේ.

භාණ්ඩයක් විකුණන තැනැත්තාට එම භාණ්ඩය පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඒ බව ඔහුගේ කතාවෙන් හෙළි වේ. තමන් කෙසේ එහි ගුණ වර්ණනා කළ ද තමන් තුළ නැති විශ්වාසයක් වචනයෙන් පළ කළ නොහැකි ය. එය අසන්නාගෙන් වසං කළ නොහැකි ය.

 

 2019/11/13 තරුණි බලන්න........

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

 

දීපාල් සූරියආරච්චි