සා/පෙළ කඩ ඉම ආසන්නයි

නොවැම්බර් 27, 2019

සා/පෙළට ඇත්තේ තවත් දින කිහිපයකි. සා/පෙළට මුහුණ දෙන දැයේ සුවහසක් දූපුතුන් මේ වනවිටත් පූර්ණ සූදානමකින් පසුවේයැයි සිතමු. විෂයයන් 9 ටම අදාළ කරුණුවලින් මනස පිරිලත් ඇති. එනිසාම මේ දිනවල අපේ දූපුතුන් අතින් බොහෝ අඩුපාඩු, අමතකවීම් සිදුවිය හැකියි.

ඒ වගේම හිත තුළ ලොකු පීඩනයක් ඇතුවාටත් සැකයක් නැහැ. මේ නිසා සමහරු අසනීප වෙන්නත් පුළුවන්. නමුත් කිසිසේත්ම එසේ වියයුතු නැහැ.

ඔබ මේ මුහුණ දීමට සූදානම් වන්නේ වසර 11 ක් තිස්සේ ඔබ ගත කළ පාසල් දිවියේ තීරණාත්මක කඩඉම ජයගැනීමේ අභියෝගයටයි. ඔබ කිසිසේත්ම එයට බිය විය යුතු නැහැ. මන්ද ඔබට ප්‍රශ්න ලෙසින් ලැබෙන්නේ ඔබ ඉගෙනගත් දේයි. මේ වනවිටත් කිහිප වතාවක්ම අධ්‍යයනය කළ දේයි. ඔබ ලියන්නේ සෑම වසරකම දෙතුන් සැරයක් සිහිපත් කළ විෂයය කරුණුවලට අදාළව සැකසෙන ප්‍රශ්න පත්‍රවලටයි. පාසල තුළ, පන්තිය තුළ ඔබ කොතරම් නම් මේ විෂයය කරුණු අධ්‍යයනය කරන්නට ඇද්ද? එසේ නම් ඔබ බිය වන්නේ ඇයි?

කළයුත්තේ ඔබගේ මතක ගබඩාවෙන් ඒ ඒ විෂයයට අදාළ නිවැරැදි දේ තෝරාගැනීම පමණයි. පාසලේ, පන්තියේ උගත් දේ ඔබ හොඳින් ධාරණය කරගත්තේ නම්, පාඩම් එදිනෙදා අධ්‍යයනය කළේ නම් මෙය ඔබට කිසිදු ගැටලුවක් හෝ පීඩනයක් නොවේ. චකිතය නිසා විභාග මොහොතේ ඔබට සියලු කරුණු ක්ෂණිකව සිහිපත් නොවන්නට පුළුවන්. නමුත් ඉන් කලබල විය යුතු නොවේ. දන්නා දේ ලියන අතර තුර අනෙක් කරුණු ඉබේම මතකයට නැඟේවි. සැහැල්ලු මනසකින් විභාගයට මුහුණ දෙන්න.

මේ දේවල් හොඳින් හිතට ගන්න.

විභාගය ආසන්නයේ නොකළ යුතු දේ

* මේ අවසන් මොහොතේ අලුතින් සටහන් එකතු කිරීම හෝ අලුතින් සටහන් කියවීම සුදුසු නොවේ.

මෙතෙක් කල් එකම විෂයය කරුණු කිහිප වතාවක්ම අධ්‍යයනය කිරීම නිසා ඒවා ඔබේ මනසේ තැන්පත් වී ඇත. දෑස් පියාගෙන වුව ඒවා මතකයට නඟා ගත හැකි බව ඔබම අත්දැක ඇත. එවන් පසුබිමක අලුතින් සටහන් කියවීමෙන් හෝ බැලීමෙන් වන්නේ ඔබ සිත තුළ ස්ථිර මතකයක් ලෙස තැන්පත් වී ඇති කරුණු සිහිපත් වීමට බාධාවක් වීමයි.

* එසේම අවසන් මොහොතේ අලුතින් පාඩම් ඉගෙනීම ද නිශ්ඵල ක්‍රියාවකි. එයින්ද සිදුවන්නේ ස්ථිර මතකය අවුල් වීමකි.

* මෙවන් මොහොතක දිගු කාලයක් එක දිගටම කියවීම ද එතරම් හිතකර නොවේ.

අවිවේකීව, නිරාහාරව, නෑමක්, නින්දක් නැතිව එක දිගටම පාඩම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. මින් සිදුවන්නේ ඔබගේ ශරීර සෞඛ්‍යය දුර්වල වීමයි. විභාගයට මුහුණ දීමට සිටින ඔබ හොඳ සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවිය යුතුමය.

* විභාගයට පෙර දින කිහිපයේ නිදි නොලබාම පොත් කියවීම කිසිසේත්ම නොකළ යුතු දෙයකි.

* අප දරුවන් කරන තවත් වැරැදි ක්‍රියාවක් වන්නේ තේ, කෝපි, කැෆේන් වැනි දේ පානය කරමින් නිදිමත වළක්වාගෙන එළිවන තෙක් පාඩම් කිරීමට උත්සාහ කිරීමයි. මෙය ද නොකළ යුත්තකි. මාපියන් ද මේ ගැන සැලකිලිමත් විය යුතුමය.

* සමහර දරුවන්, ගුරුවරුන් නිවැරැදි කරන ලද ප්‍රශ්න පත්‍ර නැවත පිටපත් කරමින් මතකයේ රඳවා ගැනීමට උත්සාහ කරයි. මෙය ද ඔබගේ කාලය අපතේ යැවීමකි.

* තවත් සමහර දරුවන් විභාගය අවස්ථාවට ක්ෂණිකව කියවීම සඳහා කුඩා කඩදාසි තීරුවලට සටහන් පිටපත් කිරීමට කාලය වැය කරයි. මෙය ද නොකළ යුතු නිශ්ඵල ක්‍රියාවකි.

විභාගයට පෙර කළයුතු දේ

* විභාගයට පෙර දිනයේ අනිවාර්යයෙන්ම සුවබර නින්දක් ලැබිය යුතුමය.

* සැහැල්ලු නමුත් ප්‍රමාණවත් ආහාර වේලක් ගත යුතුය. නිවෙසේ පිළියෙල කළ ආහාර වේලක් නම් වඩාත් සුදුසුයි.

* විභාග කාලසටහන පරීක්ෂා කිරීම ද කළ යුතුම දෙයකි. පෙරවරුවේ මෙන්ම පස්වරුවේ ද විභාගය පැවැත්වෙන නිසා අදාළ කාලයන් ගැන හොඳ අවධානයෙන් සිටිය යුතුය.

* පෑන්, පැන්සල්, කවකටු පෙට්ටි, අඩිරූල් වැනි විභාගය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම විභාග ප්‍රවේශ පත්‍රය, හැඳුනුම්පත ආදී අනිවාර්ය ලියවිලි තිබේදැයි පරීක්ෂා කිරීම. මෙය ලැයිස්තුවක් මෙන් සකසා දිනපතා විභාගයට යෑමට පෙර පරීක්ෂා කර බලන්නේ නම් වඩාත් සුදුසුය.

* කල්වේලා ඇතිව විභාග ශාලාවට යෑම. මේ පිළිබඳව දරුවන් මෙන්ම මාපියන් ද අවධානය යොමුකළ යුතුය. මන්ද මාර්ග තදබදය පමණක් නොව පෞද්ගලික වාහනයක වුව කාර්මික දෝෂ ඇතිවීම සාමාන්‍ය දෙයකි.

* විභාගය ආරම්භ වීමට පෙර වැසිකිළියට යාම වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් ඇත්නම් ඉටු කරගත යුතුය.

උපදෙස්

කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ප්‍රකට මනෝවිද්‍යා දේශක හා ගුරු උපදේශක

නිහාල් ශාන්ත

 

2019/11/27 තරුණි බලන්න