සා/පෙළින් පසු

අර්ථවත් විරාමයක්
දෙසැම්බර් 18, 2019

 

මේ සටහන ඉතාම විශේෂ මොහොතක, ඉතාම විශේෂ පිරිසක් වෙනුවෙන් තබන සුවිශේෂී සටහනකි. සටහන තැබෙන්නේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දූපුතුන් වෙනුවෙනි.

 

මේ ලිපිය මෙලෙස පළවන අවස්ථාව වන විටත් ඔවුන් විභාගය අවසන් කර තරමක සැහැල්ලුවකින් සිටින බව දනිමු. එසේම මවුපියන්ද දරුවන්ගේ විභාගය අවසන් වීම නිසා කිසියම් සහනයකින් පසුවනවා විය හැකියි. එබැවින් මේ ලිපිය අප ඍජු ලෙසම ඉලක්ක කරගන්නේ මෙවර අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දුන් ආදරණීය දරුදැරියන්ගේ ගෞරවනීය මවුපියන් වෙතයි.

අපගේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ කඩඉම් විභාගය යනු ප්‍රධාන කඩඉම් විභාගයන් දෙකෙන් එකක්. එබැවින් පුරා වසර එකොළහක් තුළ ඔබ සිදු කළ අති විශාල කැපකිරීම් සමුදායට මඳ විරාමයක් ලබාදෙන මෙම සුවිශේෂී විභාගයේ අවසානය යනු දරුවන්ට වගේම ඔබටත් මහත් අස්වැසිල්ලක් ලබාදෙන මොහොතකි.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණු පසු උසස් පෙළ කටයුතු ආරම්භ කරන කාල සීමාව තුළ ඔබ සහ ඔබේ දරුවා කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳ යම් සැලසුමක් මේ වනවිට ඔබට තිබෙනවා වන්නටත්, එසේ නොවන්නටත් පුළුවන්. ඒ අනුව ඔබේ දරුවා උසස් පෙළ කටයුතු ආරම්භ කරන තුරු පවතින මෙම විරාම කාලය වඩාත් අර්ථවත් ආකාරයෙන් ගතකිරීමට හා දරුවාගේ ඉදිරි ජීවිතයට වඩාත් ඵලදායී වන ආකාරයෙන් කටයුතු කිරීමට ඔබට යම් මඟපෙන්වීමක් සිදුකිරීම අප අපේක්ෂා කරමු.

සංක්‍රාන්ති කාලයකි

අප සාමාන්‍යයෙන් පුරුදු වී ඇත්තේ මෙවැනි කඩඉමක් අවසන ඉතා විනෝදයෙන් හා සැහැල්ලුවෙන් කාලය ගත කිරීමටයි. මේ කාලය තුළ මනසට යම් අස්වැසිල්ලක් ලබාගැනීම සුදුසු වුව ද මේ කාලය යමක අවසානයක් ලෙස සැලකීම නම් එතරම් නුවණට හුරු දෙයක් නොවේ. මක්නිසාදයත් සාමාන්‍ය පෙළ අවසන් වීම යනු දරුවාගේ ජීවිතයේ තවත් එක් ඉතා වැදගත් සන්ධිස්ථානයක ආරම්භයක් මිස අවසානයක් නොවන හෙයිනි. එබැවින් මේ කාලය ඔබගේ ආදරණීය දරුවාගේ ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක් ලෙස ඔබට සැලකිය හැකිනම් අර්ථවත් ලෙස ගත කිරීමට නිසැකවම රුකුලක් වනු ඇත.

උසස් පෙළට පන්තියාම

සමාජයේ පවතින දැඩි තරගකාරී බව නිසාම අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසාන වීමත් සමඟම උසස් පෙළ පන්ති සඳහා දරුවන් යොමු කිරීමට මවුපියන් තුළ ඇත්තේ විශාල නැඹුරුවකි. එය ඔබ දරුවාට වඩාත් යහපතක් සිදු කිරීමේ අරමුණින් සිදු කළ ද අප මෙහි දී ඔබට යෝජනා කරනුයේ ඒ සඳහා නිසි කල එළැඹෙන තෙක් පසුවන්නට කියාය. ඒ සඳහා පවතින වසර දෙකක කාලය හොඳින්ම ප්‍රමාණවත් වීම එයට හේතුවයි. එබැවින් මේ සංක්‍රාන්ති කාලය ඔබට වෙනත් ඵලදායී කටයුතු සඳහා නිසැකවම යොදාගත හැකිය.

 

දරුවා සමඟ එකතු වී අනාගතය සැලසුම් කරන්න

මේ කාලය තුළ කළ හැකි ඉතා වැදගත්ම කාර්යයකි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බොහෝ දරුවන්ට මෙන්ම මවුපියන්ට ද පවතින ගැටලුවක් වන්නේ උසස් පෙළට කුමන විෂයයන් හැදෑරිය යුතු ද යන්නයි. මෙය අතිශය වැදගත්කමකින් සහ ප්‍රරෙස්සමෙන් කළයුතු තෝරා ගැනීමක් වුව ද බොහෝ අවස්ථාවල අවසානයේ සිදුවන්නේ ප්‍රමාණවත් අවබෝධයකින් තොරව තෝරාගැනීම සිදු කිරීමයි. නැතහොත් හුදෙක් සමාජය තුළ පවත්නා ප්‍රවණතාවන් දෙස බලා පමණක් එය සිදු කිරීමයි. එහෙත් තීරණයට එළැඹීමට පෙර දරුවාගේ දක්ෂතාව හා කැමැත්ත පවතින ක්ෂේත්‍රය පිළිබඳ ඔබට දරුවා සමඟ සාකච්ඡා කළ හැකිනම් එය මේ කාර්යයේදී අතිශයින්ම වැදගත් ය. දරුවාට සාර්ථක ලෙස උසස් පෙළ කඩඉම ජයගත හැකිවන්නේ සමාජ ප්‍රවණතාවන් පිළිබඳ පමණක් සිතා විෂයයන් තෝරා ගැනීමෙන් නොව දරුවාගේ දක්ෂතා හා රුචි අරුචිකම් සලකා බලා විෂයයන් තෝරාගැනීමෙන් පමණක් වීම එයට හේතුවයි. එබැවින් මේ කාලය තුළ හැකිතාක් මේ සම්බන්ධයෙන් දරුවා සමඟ සාකච්ඡා කිරීම, ඒ සඳහා අවශ්‍ය උපදේශන සහය ලබාගැනීම මාපියන් විසින් කළ යුතුය. විශේෂයෙන්ම දරුවා තවත් වසර කිහිපයකින් යොමු වීමට අපේක්ෂා කරන වෘත්තීය හෝ රැකියා ක්ෂේත්‍රය පිළිබඳ සිතන්නට දරුවාව යොමුකිරීම මවුපියන් විසින් මෙහි දී කළ යුතුය.

ඉංගී‍්‍රසි සහ තොරතුරු තාක්ෂණය

දරුවා කුමන විෂයය ක්ෂේත්‍රයකින් උසස් පෙළ සඳහා පෙනී සිටිය ද ඉංගී‍්‍රසි සහ තොරතුරු තාක්ෂණය යනු අනාගතය සඳහා අනිවාර්යයෙන් සපුරා ගෙන තිබිය යුතු විෂයන් දෙකකි. එබැවින් මේ සංක්‍රාන්ති කාලය තුළ ඉංගී‍්‍රසි සහ තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා දරුවන් යොමුකිරීම ඔබට කළ හැකි තවත් ඉතා වැදගත් කාර්යයකි. මේ සඳහා අති විශාල ආයතන ප්‍රමාණයක් පවතින නමුත් ඒ සඳහා වඩාත් සුදුසු ආයතනයක් සොයාගැනීම නම් තරමක් දුෂ්කර එමෙන්ම යම් කාලයක් ද ගතවන කාර්යයකි. එබැවින් කල්තබා සුදුසු එවැනි ආයතන තෝරාගැනීම ඔබට කළ හැකිනම් එය ද ඉතා වැදගත්ය.

දරුවාට ගුණ ධර්ම කියාදෙන්න

මවුපියන් ලෙස අප සෑම විටම උත්සාහ ගන්නේ දරුවන් වඩාත් සාර්ථක ලෙස නිර්මාණය කිරීමටයි. එහෙත් සාර්ථකත්වය යනු අධ්‍යාපනයේ හා මිල මුදල්වල පොහොසත්බව පමණක් නොවන බව මෙහිදී අප අමතක නොකළ යුතුය.

වර්තමාන සමාජය යනු හොඳ නරක තෝරාගැනීම හා ගුණධර්ම අතින් අතිශයින් සෝදාපාළුවට ලක්වූ ස්ථානයකි. වර්තමානයේ අප එලෙස බුක්ති විඳින්නේ අප ගතකරන තරගකාරී ජීවිත තුළින් සදාචාරාත්මක බව, ශිෂ්ටසම්පන්න බව ඈත් වීමේ විපාකයයි. එබැවින් විවේකී මනසකින් පසුවන මේ කාලය තුළදී වත් අවම වශයෙන් ඔබට දරුවාගේ අධ්‍යාත්මික හා ගුණධර්ම වර්ධනය සඳහා ඔවුන්ව නැඹුරු කරගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකිනම් එය ඉතා වැදගත්ය. දරුවා සමඟ ‘සංවාදයේ යෙදීම’ මේ සඳහා ඔබට සිදුකළ හැකි අතිශය ප්‍රතිඵලදායක මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකමකි.

මේ සංවාද හරහා ඔබට අවශ්‍ය පණිවුඩය දරුවා වෙත සමීපකර වීමට ඉඩ ලැබෙනවා මෙන්ම පසුගිය කාලසීමාව තුළ පැවැති අවිවේකී බව නිසාවෙන්ම මඟහැරුණු දරුවා සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් අතර සබඳතා නැවත ශක්තිමත් කිරීමට ද මවුපියන් ලෙස ඔබට අවකාශ සලසාගත හැකිය.

 

2019/12/18 තරැණි බලන්න...................