විවාහ වූ විට ජීවිතයේ වගකීම් දරා ගැනීමට බියයි

ජූලි 15, 2020

ප්‍රශ්නය

20 හැවිරිදි තරුණියක වන මම හුදෙකලාවට ප්‍රිය කරමි. නිවෙසින් බැහැර ගොස් මිතුරියන්, නෑදෑයන්, ගුරුවරුන් සමඟ කතා බහ කිරීමට මා අකැමැතිය. මේ දිනවල උපකාරක පංතිවලට සහභාගී වන්නේ ද දැඩි අකැමැත්තකිනි. බාහිර සමාජය දකින විට බියක් චකිතයක් ඇති වේ. කා සමඟ හෝ කතා කරන විට මට වචන පැටලෙන ගතියක් ඇති වේ. එය දැඩි පීඩනයක් ගෙන දෙන්නකි. මේ නිසා මා මිතුරියන් අතර කොන් වූ චරිතයකි. නිවෙසින් එළියට ගිය විට දැඩි නොසන්සුන්බවක් ඇති වේ. බස් රථයක ගමන් කරන විට මිනිසුන් මා ගැන කුමක් සිතනවා ද වැනි හැඟීම් ඇති වේ. පුද්ගලයන්ගේ මුහුණ දෙස බලා කතා කිරීමට ද බියයි. මේ දේවල් නිසා මට මා ගැන කලකිරීමක් ඇති වේ. මා නිතරම පසුවන්නේ දැඩි කලකිරීමකින්. මා දිනෙක විවාහ වූ විට ජීවිතයේ වගකීම් දරා ගැනීමට නොහැකි වෙතයි බියක් දැනෙයි. මා මෙවර දෙවැනි වරටත් උසස් පෙළ විභාගයට පෙනි සිටීමට බලාපොරොත්තු වෙමි. නමුත් මාගේ මනසේ ස්වභාවය නිසා ඒ සියල්ල අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත. මට ඇත්තේ මානසික රොගයක් ද?

හලාවත - රාජී

 

පිළිතුර

ඔබට ඇත්තේ සමාජ භීතිකාව නමැති මානසික රෝගී තත්ත්වයයි. ලැජ්ජාව කියන වචනය රෝගී තත්ත්වයක් බවට පත් වූ අවස්ථාව සමාජ භීතිකාවයි.

ලැජ්ජාව කියල කියන්නේ අපි කාටත් දැනෙන පොදු හැඟීමක්. නමුත් සමාජ භීතිකාව කියන්නේ සාමාන්‍ය ලැජ්ජාවක් නම් නෙවෙයි.

මේ බය ලැජ්ජාව නිසා ජීවිතය අවුල්වීම, රැකියාවේ ගැටලු, සමාජයෙන් ඈත්වීම, එදිනෙදා කටයුතු බිඳවැටීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවෙයි. මෙය අපට දැනෙන සාමාන්‍ය ආතතියක් නම් නෙවෙයි. මෙම තත්ත්වය නිසා ඔබගේ හැඟීම් හා හැසිරීම් යන දෙකටම දැඩි ලෙස බලපෑම් ඇතිකරයි.

ඔබ තුළ ඇතිවන දැඩි ආතතිය නිසයි මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ. මෙය ඔබේ වරදක් නොවෙයි. මෙම භීතිය නිසා හැඟීම් සිතුවිලි හා හැසිරීම් රටාවල මෙන්ම ශාරීරිකව ද වෙනස්කම් රාශියක් සිදුවෙයි.

එවැනි අවස්ථාවලදී පපුව වේගයෙන් ගැහීම, හයියෙන් හුස්ම ගැනීම, වැඩිපුර දහදිය දැමීම, මුහුණ රතුවීම, කට වෙව්ලීම, වචන පැටලීම, වචන අමතකවීම, මාංස පේශීන් තදවීම සහ ඔක්කාරය වැනි ලක්ෂණ මතු වේ.

අමුත්තන් අතරට හෝ සමාජයට යාමට බය වීම, අන් අය තමාගේ අඩුපාඩු දකීවි කියා සිතීම, අන් අය තමාව විනිශ්චය කරාවී කියා බය වීම, ඇස්වලින් සම්බන්ධවීමට බයවීම, අන් අයගේ දැඩි අවධානය තමාවෙත ලක්වේ යැයි කියා බයවීම, අන් අය තමාව පහත්කර සලකාවි කියා සිතීම සමාජ භීතිකාවේ ස්වභාවයයි.

මෙය අසනීප තත්ත්වයක් යැයි බොහෝ අය සිතන්නේ නැහැ. තමාට ඇතිවෙන බය හා ලැජ්ජාව නිසා මේ තත්ත්වය සාමාන්‍ය බව ඔවුන් සිතයි. මේ නිසා බොහෝදෙනෙක් ප්‍රතිකාරවලට යොමු වෙන්නේ නැහැ. ඔවුන් එවැනි මුහුණ දීමට අපහසු අවස්ථා මඟහැරසිටීම හෝ සමාජයෙන් වෙන්වී හුදකලාව සිටීමට උත්සාහ ගනියි.

මෙවැනි තත්ත්වයක් ඇති වීමට පාරිසරික හේතු මෙන්ම ජානමය හේතුත් බලපායි.

මෙවැනි ගැටලු ඇති අය නිසි ප්‍රතිකාර හා නිවැරැදි උපදේශනය සදහා යොමු නොවුණහොත් ජීවිතය අවුල් වීම, ආත්ම අභිමානය අඩුවීම, අධ්‍යාපනය බිඳවැටීම, රැකියා ස්ථානයේ ගැටලු ඇතිවීම, මිතුරන් අඩුවීම, විවේචනවලට බයවීම, සමාජ කුසලතා අඩුවීම, අවස්ථාවන් මගහැරීම, සමහරවිට සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම වැනි ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වේවි.

මෙහිදී නිසි ප්‍රතිකාර හා නිවැරැදි උපදේශනය ලබාගැනීමෙන් මෙම අසාමාන්‍ය ලැජ්ජාව හා බය ක්‍රමයෙන් නැතිකර ගැනීමට හැකිය. මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සිතා ඒ ගැන අවධානය යොමුනොකර සිටින්න. නිසි ප්‍රතිකාර හා නිවැරැදි උපදේශනය සඳහා යොමුවීම මගින් ඔබගේ සමාජ කුසලතා ඉහළ නංවා ගැනීමට හැකිය.

හුදෙකලාව සිටීම අඩුකර පවුලේ අය සමඟ කතා බහ කරන්න. මිතුරන් ඇසුරු කරන්න. කාලය සතුටින් ගෙවා ගැනීමට පවුලේ අය සමඟ එකතු වී ක්‍රියාකාරකම්වල යෙදෙන්න. කණ්ඩායම් වැඩවලට සම්බන්ධ වෙන්න. ආගම දහමට ළැදි වීමෙන් හිතට සහනයක් ළඟා කර ගත හැකියි. අනවශ්‍ය දේවල් අමතක කර අධ්‍යාපන කටයුතුවලට හිත යොදවන්න.

 

උපදෙස්

වෛද්‍ය ආර්, චන්ද්‍රිකා රාජපක්ෂ

මනෝ උපදේශිකා

ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකයන්ගේ සංගමය,

ශ්‍රී ලංකා පදනම් ආයතනය

2020/07/15 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.