“මෙවර ශිෂ්‍යත්ව විභාගය පහසුයි”

විභාග අධ්‍යක්ෂ ජනරාල් සනත් පූජිත මහතා
සැප්තැම්බර් 23, 2020

 

“කොස්ස අතින් ගෙන අතුගාන්නට ඔබ ඉගෙන ගත යුතුය. සුළං පහරක් විත් දුවිලි ඉවතට ගසාගෙන යාවියැයි සිතීම නිෂ්ඵලය.” චීන කොමියුනිස්ට් ව්‍යාපාරයේ නිර්මාතෘ මාඕ සේතුං එදා මෙලෙස සඳහන් කළේ අධ්‍යාපනය හා බැඳි අපගේ ජීවිතය පිළිබඳ ගැඹුරු පාඩමකි.

එය එදා මෙන්ම එක ලෙසම අදට ද වලංගුය. එහෙත් අප ලබන අධ්‍යාපනය මැන බලන මිනුම් දණ්ඩ විභාගය වීම හමුවේ අපේ දරුවන් හුරුවී තිබෙන්නේ කොස්සක් ගෙන නිවැරැදිව අතුගෑමට හුරුවීමට වඩා කෙසේ හෝ දූවිල්ල අතුගා දැමීමට හුරුවීමය. දරුවකුගේ දැනුම ආ අධ්‍යාපනය මැන බැලීම විභාගය මත තීරණය කිරීම කොතරම් සාර්ථකදැයි අපට සඳහන් කළ නොහැකි වුවත් අපගේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණය වී ඇත්තේ කඩඉම් විභාග සමත්වීමේ ඉලක්ක මත අනාගතය තීරණයවන පසුබිමකය. මෙය අතික්‍රමණය කරමින් ලෝකය ජය ගන්නට කාලය පැමිණ තිබුණත් තවමත් අපගේ අධ්‍යාපන ක්‍රමයේ කඩඉම් විභාග සඳහා සූදානම් වීමට දරුවෝ මෙන්ම මවුපියෝ ද මහත් වෙහෙසක් ගනිති.

පසුගිය මාස 5 ක කාලයක් පාසල් වසා දැමීමත් සමඟම ඇති වූයේ විශාල හිඩැසකි. ලෝකයම මුහුණ දුන් මේ අභියෝගය හමුවේ අපට ද ඊට අනුගතවීමට සිදුවිය. එහෙත් මෙලෙසින් පාසල් වසා දැමුවත් වාර්ෂිකව පවත්වන කඩඉම් විභාග පැවැත්වීම ප්‍රමාද කිරීම හමුවේ පාසල් දරුවන්ට මෙන්ම මවුපියන්ට ද ගැටලු රැසක්ම ඇතිවිය. මේ වන විට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදාත්, උසස් පෙළ විභාගය 12 වැනිදාත් ආරම්භ වීමට නියමිත අතර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 18 වැනිදා දක්වා කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුවට සිදුව තිබේ.

මේ විභාග කල් දැමීමෙන් පසු විභාගය පවත්වන්නේ කෙසේද? කොරීනා වසංගතය අප රටේ පාලනය වී තිබුණත් ලෝකය පුරා එය පවතින පසුබිමක විභාග පැවැත්වීමේ වෙනසක් සිදුවේද? එය දැන ගැනීමට ඇති එකම ස්ථානය වන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවයි. මේ දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුර හා වගකීම දරන විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා අප හමුවූයේ ඔවුන්ගේ ආයතනය මෙවර විභාගය පැවැත්වීමට සූදානම්වන ආකාරය දැන ගැනීමේ අපේක්ෂාවෙනි.

අපේ රටේ පමණක් නොවෙයි මුළු ලෝකයම මේ කොරෝනා වසංගතය නිසා විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එවැනි පසුබිමක ඔබගේ ආයතනය මෙවර විභාගය පවත්වන්නේ කොයි ආකාරයට ද?

අප විභාගය පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමාගෙන් විමසීමක් කළා. ඔහුගේ ලිඛිත විමසීමෙන් පසු මෙවර විභාගය පවත්වන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දීලා තිබෙනවා. කෙසේ වෙතත් මේ වසංගතය පැවැතියත් නැතත් දුරස්ථභාවය රඳවාගෙන තමයි අප කොහොමත් විභාග පවත්වන්නේ. ඒ නිසා විභාග පැවැත්වීම ගැන ලොකු ගැටලුවක් නැහැ. විභාග කාලය තුළ Face Mask  එකක් පාවිච්චිය අවශ්‍ය නැති වුණත් අනෙකුත් කටයුතුවලදී දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට අප කටයුතු කරනවා. ඊට අමතරව සෞඛ්‍ය ආරක්ෂිතව, විභාග වංචා අවම කරගනිමින් විභාග පැවැත්වීම සඳහා අතිරේකව ශාලාධිපතිවරයෙක් පත්කර තිබෙනවා. ඔහු හෝ ඇය මේ ගැන විශේෂ අවධානයක් යොමු කරයි. ඊට අමතරව උසස් පෙළ සඳහා ප්‍රථම වතාවට විෂයයන් 4 ක් සඳහා සාමාන්‍ය කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට මෙවර අවසර දී තිබෙනවා. ගිණුම්කරණය, තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන් හතරට කැල්කියුලේටරය පාවිච්චි කරන්න පුළුවන්. ඉදිරි අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා අනෙකුත් විෂයයන්වලටත් මේ කැල්කියුලේටර් ලබාදීමට පුළුවන් ද කියන දේ ගැන හිතන්න. මේ වනවිට ඒ පිළිබඳ අධ්‍යනය කරමින් පවතිනවා.

රටේ පැවැති වාතාවරණය අනුව  Online  ක්‍රමයට විෂයය නිර්දේශය ආවරණය කිරීම කොයි තරම් දුරට සාර්ථක වුණාද?

 Online  ක්‍රමයට විෂය ආවරණය කිරීමේ කටයුත්ත ලංකාවේ සෑම පාසලකට අදාළ වෙන්නේ නැහැ. මෙය සීමා සහිත පාසල් ප්‍රමාණයක පමණයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා මේ  Online  පාඩම් ක්‍රියාත්මක වුණේ අතිරේක පාඩම් ලෙසයි. අප විභාග දෙපාර්තමේන්තුව සලකා බැලුවේ පාසල් විවෘත කළාට පසුව විෂය නිර්දේශය ආවරණය කළ ප්‍රමාණයට අනුවයි. ඒ අනුව තමයි අපේ වැඩ පිළිවෙළ සකස් කර තිබෙන්නේ. මුල් දවස්වල පාසල් 3.00 දක්වා ක්‍රියාත්මක වුණා. පසුගිය සතියේ තමයි එය සාමාන්‍ය පරිදි 1.30 ට අවසන් වෙන්නේ. අප මේ කාලවකවානු බලලා තමයි විභාගය පැවැත්වීම තීරණය කළේ.

මුලින්ම පැවැත්වෙන්නේ ශිෂ්‍යත්ව විභාගය. එම විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් වී තිබෙන්නේ කොයි ආකාරයටද?

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ විෂය සංශෝධනයක් තිබෙනවා. ඒ යටතේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා මෙතෙක් පැවැතියේ විනාඩි 45 ක් තුළ ප්‍රශ්න 40 ක් සඳහා පිළිතුරු සැපයීමට. මෙවර සිට ඒ සඳහා පැයක කාලයක් ලබා දි තිබෙනවා. ඊට අමතරව දෙවැනි පත්‍රය සඳහා බහුවරණ ප්‍රශ්න 30 ක් තිබෙනවා. එම බහුවරණ ප්‍රශ්නවල මෙතෙක් තිබුණේ වරණ 4 ක්. අපි දරුවන්ට එය පහසු කිරීම සඳහා වරණ 3 දක්වා අඩු කළා.

රටේ ඇතිවූ තත්ත්වයත් සමඟ මවුපියන් දරුවන්ට විභාගය සඳහා සූදානම්වීමට බලපෑම් කරනවා. මෙය ඔබ දකින්නේ කොයි ආකාරයටද?

මේ තත්ත්වය අද ඊයේ ඇති වුණ දෙයක් නොවෙයි. දරුවන්ට පාසලෙන් උගන්වනවා. ගෙදරත් උගන්වනවා. ඊට අමතරව අමතර පංතිත් යවනවා. දරුවන්ට රාත්‍රී කාලයෙත් උගන්වනවා. මේ ආකාරයේ ළමා මනසට බලපෑම් කිරීම ඉතාම අහිතකරයි. මෙය තේරුම් ගත යුතුයි. ඒ නිසා තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මධ්‍යගත විභාග ඔස්සේ ලිඛිත පරීක්ෂණවලට (Paper Pencil Test)  පමණක් සීමා නොවී ප්‍රායෝගික හැකියාව බලාන වැඩපිළිවෙළකට යන්න අප උත්සාහ කරන්නේ. උදාහරණයකට අප දැනටමත් ෙ සෟන්දර්යය විෂයය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වනවා. එම ප්‍රායෝගික පරීක්ෂණවලින් ළමයින්ගේ භෞමික කුසලතා සියල්ල මනින්න පුළුවන්.

ලිඛිත පරික්ෂණවලින් දරුවන්ගේ දැනුම මැනීම කොතරම් සාර්ථකද?

ඇත්තටම දරුවකුගේ සියලු කුසලතා ලිඛිත පරීක්ෂණයකින් මනින්න බැහැ. අපේ පැරැණි අධ්‍යාපන ක්‍රමය තුළ මෙවැනි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් පැවතුණා. අප නැවත සලකා බලන්නේ එම ක්‍රමයට යා හැකිද කියලා. සාපෙළ විභාගයේදී මෙවැනි ප්‍රායෝගික දැනුම මැන බලන විෂයයන් රාශියක් තිබෙනවා. ගෘහ ආර්ථික විද්‍යාව, කෘෂි කර්මය, තාක්ෂණවේදය, ශාරීරික අධ්‍යාපනය. මේ නිසා ළමයින්ට මීට වඩා පහසුවෙන් තමුන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. මේ සඳහා වෙන් කරන ලකුණු ප්‍රමාණය 40% ක් තරම් වුණොත් ළමයින් ඉතාම පහසුවෙන් සාර්ථකව මේ විෂයයන් ඉගෙන ගන්න උත්සාහ කරනවා.

මෙවර ප්‍රායෝගික පරීක්ෂණ පවතින විෂයයන් සඳහා ලකුණු ලබා දෙන්නේ කොයි ආකාරයටද?

සාමාන්‍යයෙන් විභාගයට පෙර සෞන්දර්යය විෂයය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වනවා. මෙවර මේ පවතින තත්ත්වය යටතේ විභාග දෙපාර්තමේන්තුව හා පාසල ඉතාම කාර්යය බහුල වී තිබෙනවා. ඒ නිසා අපි පාසල් පාදක තක්සේරුව යටතේ මේ ලකුණු තීරණය කරනවා. අපි මේ සඳහා පදනම් කර ගන්නේ පසුගිය වසර තුන ඇතුළත ලැබුණු ලකුණු ප්‍රමාණය හා අපි කරන ලද ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු අතර සම්බන්ධතාවය බැලුවා. ඒ බලනකොට ඒ දෙක අතර ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ අපේ ගුරුවරයා එම දරුවාට හොඳ ලකුණක් ලබා දී තිබෙනවා. එය වලංගු ලකුණක්. ඒ නිසා අපි මෙවර විභාගයෙන් පටන් ගන්නවා පාසල් පාදක තක්සේරුව සැලකිල්ලට ගැනීමට අපි මෙසේ පිළිගන්න අවස්ථා 5 ක් තිබෙනවා. 10 පන්තියේදී අවස්ථා 3 යි. 11 ශ්‍රේණියේදී අවස්ථා 2 යි. මෙහි 5 වැනි අවස්ථාව විභාග දෙපාර්තමේන්තුව විසින් පත්කරන පරීක්ෂණ මණ්ඩලය ඔස්සේ ඒ ඒ පාසලට ගිහින් දරුවා කරන ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කරලා ලකුණු දෙන ක්‍රමය. එවිට අර ගුරුවරයා ලබා දෙන ලකුණු අපට තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

අද අපේ සමාජය හුරු වෙලා තියෙන්නේ ගුරුවරුන්ට දොස් කියන්න. වැරැදි කියන්න. ගුරුවරුන්ගේ අඩුපාඩු පෙන්වන්න. නමුත් අපි මේ ක්‍රමය යටතේ පර්යේෂණාත්මකව පෙන්වා දී තිබෙනවා. මේ ගුරුවරු දී තිබෙන ලකුණ නිවැරැදි බව. දරුවකුට අවුරුද්දක් දෙකක් උගන්වන විට ඒ දරුවා දක්ෂයෙක් ද නැති ද යන්න ඕනෑම ගුරුවරයකුට කියන්න පුළුවන්. ඒ දරුවාට දෙන ලකුණු 80 ද නැත්නම් 35 ද තීරණය කරන්න ගුරුවරයාට හැකියාව තිබෙනවා. ගුරුවරයා ඒ ලකුණ හරියට දෙනවා. අපි කරන්නේ එම ලකුණ තහවුරු කිරීම විතරයි. උදාහණයක් ලෙස සෞන්දර්යය විෂයය 8 ක් සඳහා කරන වැඩසටහන. ඉදිරියේදී ලංකාව පුරා අපට සෑම විෂයයකටම යා හැකි ද යන්න සලකා බලනවා. එහෙම වුණොත් ඉදිරියේදී අපේ රටෙත් බටහිර රටවල දරුවෝ වගේ ඉතාම සැහැල්ලුවෙන් තම අධ්‍යාපන කටයුතු සිදු කරන්න අවස්ථාව උදාවේවි. අපේ ළමුන්ගේ ආතතිය, පීඩනය නැතුව සෑම දරුවෙක්ම ඉතාම සතුටින් තමුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හුරුවේවි.

අප ලබන කලාපයේදී දරුවන්ගේ විභාග සඳහා සූදානම්වීම සඳහා අනුගමනය කළ යුතු ආකාරය විභාග කොමසාරිස්තුමා සමඟ තවදුරටත් සාකච්ඡා කරමු.

 

 

ඡායා  - ටෙනිසන් එදිරිසිංහ

2020/09/23 තරුණි පුවත්පත බලන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.