ඔබේ දරුවාට කෝවිඩ් වැලඳුණොත් අවුරුදු දෙකට වැඩි දරුවන් රෝහල්ගත කළ යුතුමයි.

නොපෙනෙන වෛරසයකට දරුවෝ බිලි දෙන්නේ කොහොමද?
සැප්තැම්බර් 8, 2021

 

හැම තැනින් ම ඇහෙන්නේ කෝවිඩ් කතන්දර. ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි දන්න කියන බහුතරයක්දෙනා කෝවිඩ් වැලඳුණු අය.ඒ විතරක් නම් මදෑ, කෝවිඩ් නිසා ජීවන ගමන නවතා දමන්නට වුණු අයගෙනුත් එක්කිනා දෙන්නා දන්නා හඳුනන අය බවට පත් වෙලා.

ඔක්කොමත් හරි ඉවසන්න බැරි කාරණේ, පුංචි දරුවෝ කෝවිඩ් මාරයාගේ ගොදුරු බවට පත්වෙන එකනේ.මේ හින්දම අම්මලා ,තාත්තලා බියෙන් ඇලළිලා.

පළමු,දෙවැනි කෝවිඩ් රැල්ල (ඇල්ෆා) ඒ තරම් බලපෑම් නොකළත් ඩෙල්ටා රැල්ලෙන් නම් පැනලා යන්න බැරි හැඩයි.මෙතෙක් කෝවිඩ් වැලඳුණු දරුවෝ ඒ තරම් රෝග ලක්ෂණ නොපෙන්නුවත් දැන් දැන් වාර්තාවන දරුවන්ගෙන් වැඩිදෙනෙක් රෝග ලක්ෂණ පෙන්වනවා පමණක් නොව හුස්ම ගැනීමේ අපහසුතාවෙන් නොසෑහෙන ලෙස අසරණ වෙනවා.

දරුවෝ සිටින මාපියන් ඔවුනගේ සියලුම කැප කිරීම් කරනුයේ දරුවන් වෙනුවෙන්. ඉතිං තමාගේ ලෙයින් මසින් උපන් දරුවා නොපෙනෙන වයිරසයකට බිලි දෙන්න කොහෙත් ම සූදානම් නැහැ.

එසේ නම් ඔබේ දරුවාට කෝවිඩ් වැලදුනොත් මොකද කරන්නේ....

කෝවිඩ් වැලඳුණු සෑම දරුවකු ම රෝහල් ගත කරන්නේ නැහැ.මෙය අදාළ වන්නේ වයස අවුරුදු දෙකට වැඩි දරුවන්ට බවත් අවධාරණය කළ යුතුයි. එසේ නම් ඔබට සිතේවි වයස අවුරුදු දෙකට අඩු දරුවකුට කෝවිඩ් වැලඳුනොත් මොකද කරන්නේ කියා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ගෙන ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කෝවිඩ් ලක්ෂණ තිබුණා හෝ නොතිබුණා,වයස අවුරුදු දෙකට අඩු දරුවකු කෝවිඩ් පොසිටිව් වී ඇත්නම් රෝහල්ගත කළ යුතුයි.ඒ දරුවන් නිවෙසේ බලා ගැනීමට නිර්දේශ කර නැත.රෝහල්ගත කළ පසු වෛද්‍යවරුන් දරුවා කොපමණ දවසක් රෝහලේ තබා ගන්නේ දැයි තීරණය කරයි.

වයස අවුරුදු දෙකට වැඩි දරුවන් කෝවිඩ් පොසිටිව් වුවහොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ම වෙයි.

වයස අවුරුදු දෙකට වැඩි දරුවන් අතරින්

n රෝග ලක්ෂණ කිසිවක් ම නො පෙන්වන දරුවන්

n සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන දරුවන් (කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව.. වැනි) යන වර්ග දෙකට අයත් දරුවන් පමණක් නිවෙසේ සිට රැක බලා ගැනීමට අවසර හිමි වේ.

 

n වයස අවුරුදු දෙකට වැඩි දරුවා මොනම අන්දමක හෝ නිදන්ගත රෝගයකින් නොපෙළෙන අයකු විය යුතුයි.

එනම්

ඇදුම,දියවැඩියාව,වකුගඩු රෝග, පිළිකා, හෘදය වස්තුව ආශ්‍රිත මොනයම් හෝ තත්ත්වයක්,අධි ස්ථූලතාව වැනි තත්ත්ව ඇති දරුවන් කෝවිඩ්

පොසිටිව් වූ විට රෝග ලක්ෂණ ඇතත් නැතත් ⁣රෝහලත කිරීමට නිර්දේශ වේ.

 

මව්කිරි දීම

n මව්කිරි බොන වයසේ දරුවකුට කෝවිඩ් වැලඳුණේ නම් මව මුඛ ආවරණයක් පැළඳ අත් හා පියයුරු හොඳින් සෝදා කිරි දෙන්න. දරුවා ආසාදිතයකු වුවත් මව ආසාදිතයකු වුවත් මවුකිරි දීම අඛණ්ඩව ම කරගෙන යා යුතුය.

n නිවෙසේ සිට දරුවා රැක බලා ගනිද්දී හදිසි අවස්ථාවක් උදා වුවහොත් ගිලන්රථයකට ළඟාවිය හැකි තැනක නිවෙස පිහිටා තිබිය යුතුයි.

n දරුවා සඳහා වාතාශ්‍රය හොඳින් එන වෙනමම කාමරයක් දීම වඩාත් සුදුසුයි.

n නිවෙසේ නාන කාමර දෙකක් ඇත්නම් කෝවිඩ් වැලඳුණු දරුවාට වෙනමම වැසිකිළියක්, නාන කාමරයක් පරිහරණය කරන්න දෙන්න. එක් නානකාමරයක් නම් ඇත්තේ දරුවා පරිහරණය කළ පසු හොඳින් සෝදා පිරිසුදු කරන්න.

n දරුවා සඳහා සාත්තු කිරීමට වෙනමම කෙනකු සිටිය යුතු අතර මේ පුද්ගලයා නිරෝගී පුද්ගලයකු වීම වැදගත්.

n දරුවා විවේකීව සිටිය යුතුයි. ඇඳ විවේකය අත්‍යවශ්‍යයි.

n පෝෂ්‍යදායි ආහාර වේලක් දරුවාට දිය යුතුයි.

n දරුවාට කොහෙත් ම විජලන තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගත යුතුයි.වතුර, කැඳ, සුප්, තැඹිලි ,දෙහි, දොඩම්....වැනි පලතුරු යුෂ ලබා දෙන්න.

n උණ ඇත්නම් අදාළ මාත්‍රාව අනුගමනය කරමින් පැරසිටමෝල් ලබා දෙන්න.විටමින් වර්ග හෝ වෙනත් ඖෂධ වර්ග නිසි වෛද්‍ය උපදේශයකින් තොරව දරුවන්ට ලබා නොදෙන්න.

 

 

සමාජ මාධ්‍ය වල ඖෂධ වට්ටෝරු ඕනෑතරම් සංසරණය වෙයි.මේ කිසිවක් දරුවාට ලබා දෙන්න උත්සහ කරන්න එපා.

n දරුවාට මෙන්ම දරුවාට සාත්තුසප්පායම් කරන කෙනා අනිවාර්යයෙන් මුඛ ආවරණයක් පැළඳිය යුතුයි.දෙදෙනාම නිතරම සබන් ගා දෑත් සෝදන්න.

n මුඛ ආවරණ පැළඳීම සහ දුරස්ථභාවය පවත්වා ගැනීම ඉතා වැදගත්ය.

n දරුවා ඔබේ ජංගම දුරකතනය, ටැබ්, ලැප්ටොප් ආදිය පරිහරණය කරන්නේ නම් ඒවා සැනිටයිසර් කරන්න.

n දරුවාගේ පිඟාන, කෝප්පය,ඇඳ ඇතිරිලි,කොට්ට, දත් බුරුසු, දත් බෙහෙත් ... ආදී සියල්ලක් ම වෙනමම තබන්න.

 

ඔක්සිජන් මට්ටම මැන බැලීම

 

නිවෙසේදී ඔක්සිජන් මට්ටම දිනකට දෙවතාවක් මැන බැලීම අවශ්‍යයෙන්ම කළ යුතු වූවකි.මේ සඳහා භාවිත කළ යුතුවන්නේ දරුවන් සඳහා වූ ඔක්සි මීටරයකි.වෙළෙඳපොළේ බොහෝවිට ඇත්තේ වැඩිහිටියන් සඳහා වූ ඒවායි.රෝහලක දී මෙම කටයුත්ත නියමාකාරයෙන් ඉටුවේ.ඔක්සිජන් අඩු වීමෙන් අවයව එකින් එකට අක්‍රිය වන්නට පටන් ගනියි.කෝවිඩ් හි නිහඬ මාරයා හෙවත් නියුමෝනියා තත්ත්වය උග්‍ර වීමෙන් සයිලන්ට් හයිපොක්සියා යන තත්ත්වය හට ගනියි.කෝවිඩ් නිසා දරුවන් මිය යන්නේ මෙවිටයි. දරුවා පිළිබඳ සැලකිල්ලෙන් සිටීම අවශ්‍ය වන්නේ මේ නිසායි.

ඔක්සිජන් මට්ටම තිබිය යුතු වන්නේ 100 අගයේය.

ඇඟපත නොවෙහෙසවා සිටියදී මෙම අගය 95 ත් 100 ත් අතරේ තිබිය යුතු වේ.සාමාන්‍යයෙන් සෙල්ලම් කර කිසියම් වෙහෙසක් දැනුණු විට 94 මට්ටමේ තිබිය හැකියි. ඊට වඩා අඩු වීම දරුවාගේ ශරීර සෞඛ්‍යයට අතිශය අහිතකර වේවි.මෙහිදී දරුවාගේ තොල් අළු,කළු,නිල් වැනි පැහැයක් ගැනීම, සිරුර රතු,දම් වැනි පැහැයක් ගැනීම, පොඩි මහන්සියක දී වුවත් අධිකව දහඩිය දැමීම වැනි ලක්ෂණ දුටුමතින් වහාම රෝහල්ගත වුවහොත් වෛද්‍යවරුන්ට ද පහසුවක් වේවි.

නිවෙසේ සිටින දරුවා රෝහල්ගත කරන්නට අවශ්‍ය වන අවස්ථා

n උණ සෙල්සියස් අංශක 38⁣ ට වැඩි නම්

n කැස්ස ,සෙම්ප්‍රතිශ්‍යාව ගතිය තිබුණාට වඩා වැඩි නම්

n කෑම,බීම ගැනීම අඩු නම්

n උගුර රිදෙනවා යැයි කියයි නම්

n උගුරේ වේළුණු ගතියක් දැනේ නම්

n හුස්ම ගැනීමේ අපහසුතාවක්ඇත්නම්

n මුත්‍රා පිට වීම අඩු නම්

n අඬද්දී කඳුළු ඒම අඩු නම්

n හුස්ම ගන්නා වේගය වැඩි නම්

n උදරය වල ගැසේ නම්

වහාම රෝහලක් කරා යා යුතුය.තවදුරත් එවැනි දරුවකු නිවෙසේ රැක බලාගැනීම සුදුසු නැත.

සාමාන්‍යයෙන් කෝවිඩ් වයිරසය ශරීරයෙන් ඉවත් වීමට දින 14 ක කාලයක් ගත වේ. එම දින 14න් පසු තවත් දින 14 ක් නිවෙසටම වී සිටීම සුදුසුය.ඉන්පසු ඇන්ටිජන් පරීක්ෂණයක් කර ගැනීමෙන් වයිරසය ශරීරයෙන් ඉවත් ව ගොස් ඇති බව නිසැකව ම දැන ගත හැකි වේවී.

බහු ඉන්ද්‍රීය අකර්මණ්‍යතාව

 

ඇතැම් දරුවන් කෝවිඩ් සුව වී දින 14 කට පසු උණ, සිරුරේ පලු දැමීම, වමනය, මලානික බව වැනි ලක්ෂණ පෙන්වයි. මෙවිට වහාම රෝහල්ගත කළ යුතු වේ. මේ කෝවිඩ් සුවවීමෙන් පසු ඇතිවන බහු ඉන්ද්‍රිය අකර්මණ්‍ය තත්ත්වය යි.

ඇතැම් දරුවන් කෝවිඩ් තිබුණා ද කියා දන්නේත් නැත. ඉහත කී තත්ත්ව නිසා රෝහල්ගතවීමෙන් අනතුරුවයි දරුවා කෝවිඩ් සඳහා ගොදුරු වූ බව පවා දන්නේ.

උපදෙස්:

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී

ළමා රෝග විශේෂඥ වෛද්‍ය

නලින් කිතුල්වත්ත

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.