සිතේ සතුටෙන් වැඩ කර සාර්ථකත්වය සොයා ගන්න.

ජුනි 30, 2021

 

සතුට යනු සෑම අයකුට ම අවශ්‍යව ඇති දෙයයි. ලොව පුරා පැතිරුණු වසංගතයකට මුහුණ දී නිවෙසට ම කොටු වී සිටින අපට වෙනදාටත් වඩා සතුටේ අගය දැනෙමින් පවතී. සතුට සඳහා මිනිසුන් විවිධාකාර දේ සඳහා යොමු වී සිටිය ද මේ කාලයේ දී තමා සොයන සතුට සැබැවින් ම කුමක්දැයි සොයා බැලීමට අප හැමට කාලය හා අවස්ථාව ලැබී තිබේ.

ඇතැම් පුද්ගලයන් සතුට ලැබීමට නම් සාර්ථකත්වය ලබා ගත යුතු බව සිතන අතර ඒ සඳහා උනන්දු වේ. තවත් සමහර කොටසක් සාර්ථක වූ පමණින් සතුට ළඟාකර හැකි වේදැයි සිතා තමාට හැකි වෙනත් ක්‍රමවලින් සතුට සොයා යයි. සැබෑවට ම සතුට හා සාර්ථකත්වය යනු කුමක්ද? අපි එය සොයා ගන්නේ කෙසේද?

ඔබ අපත් සමඟ එකතු වන්නේ නම් සතුට හා සාර්ථකත්වය සොයා ගැනීමට ඔබට හැකි වේවි.

සතුට හා සාර්ථකත්වය යනු එකම කාසියේ දෙපැත්තක් යැයි බොහෝ පුද්ගලයන්ගේ සිතේ අදහසක් පවතී. මේ වදන් දෙකෙහි ඉතාමත් හුරුපුරුදු බවක් දැනුණත් මේ වචනවල අර්ථය සැබැවින් ම තේරුම් ගත්තාද යන්න සොයා බැලිය යුතුය. නමුත් සතුට හා සාර්ථකත්වය යනු එකම කාසියේ දෙපැත්තක් නොවන බව ඔබට පැවසිය යුතුම ය. බොහෝ පුද්ගලයන් සාර්ථකත්වය සොයා යන්නේ ඉන් සතුට ළඟාකර ගත හැකි වනු ඇතැයි සිතා ගෙන ය.

මේ අනුව අප බොහෝ දෙනෙක් සාර්ථකත්වය යැයි සිතා සිටින්නේ භෞතික අරමුණු නැතිනම් ඉලක්ක ජය ගැනීමයි. මේ අතර නිවෙසක් සාදා ගැනීම, වාහනයක් ගැනීම, තනතුරෙන් ඉහළ යාම, වතුපිටිවල අයිතියක් ඇතිකර ගැනීමට, සමාජ පිළිගැනීමට ලක් වීම, උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම, රැකියාවක් ලබා ගැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, මිල මුදල් ඉතිරිකර ධනවතෙකු වීම වැනි අරමුණු මේ අතර වේ. මෙය මේ සමාජයේ අය අනෙක් පුද්ගලයකුගේ සාර්ථකත්වය දෙස බැලීමේ යම් නිර්ණායකයක් බැවින් බොහෝ දෙනා මේ සාර්ථකත්වය ළඟාකර ගැනීමට උනන්දු වේ. ඒ නිසා මෙය වැරැදි දෙයක් යැයි පැවසිය නොහැකිය.

එමෙන්ම පෘතග්ජන ජීවිතයක් ගත කරන අප බොහෝ දෙනෙක් මේ භෞතික සැප සම්පත් ළඟාකර ගැනීමට කැමැත්තක් දැක්වීම ස්වභාවයයි. ලෞකික ජීවිතයක් ගත කරන අය මෙම ඉලක්ක සැලසුම් කිරීම හෝ එම සාර්ථකත්වයන් ළඟාකර ගැනීම වරදක් නොවේ. මෙය යම් පුද්ගලයකුට ඉදිරියට යාම සඳහා බලාපොරොත්තු ඇති කරන එක් සාධකයකි. මෙයින් එම පුද්ගලයාට පියවරෙන් පියවර ඉදිරියට යාමට යම් තල්ලුවක්, පෙලඹවීමක් ඇති කරයි. එම නිසා මෙවැනි ඉලක්ක හා අරමුණු යම් පුද්ගලයකු සතුට පැවතීම ඔහුගේ හෝ ඇයගේ ලෞකික ජීවිතය සඳහා අගයක් ලබා දීමට සමත් වේ.

නමුත් අපට ආගමික පසුබිම අනුව හෝ සංස්කෘතික පසුබිම, නීතිමය පසුබිම අනුව ද මේ දෙස බැලීමට සිදු වේ. ඒ අනුව බලන විට මේ ඉලක්ක ජය ගැනීම සඳහා යන මාර්ගය ආගම, සංස්කෘතිය, නීතිය යන ක්‍රමවේද හරහා ඒවායෙන් බැහැර නොවෙමින් ඒ ක්‍රමවේදවලට අනුගත වෙමින් සිදු කළ හැකි නම් සාර්ථකත්වය සමඟ සතුට ද ළඟාකර ගත හැකි වනු ඇත.

සාර්ථකත්වය ළඟාකර ගැනීමට සතුට බලපාන්නේ කෙසේද යන්න අප සොයා බැලිය යුතුයි. මේ අනුව බලන විට අද අපේ රටේ සිටින බොහෝ තරුණ පිරිස් පවසන්නේ මම මේ දේ සිදුකර සාර්ථක වෙලා සතුටෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන බවයි. එනම් ඔවුන් නිවෙසක් සාදා හෝ වාහනයක් මිල දී ගෙන රැකියාවේ ඉහළට ගොස් ආදී ලෙස තම අරමුණ කරා යාමෙන් පසුව සතුටු වීමයි. එහි අනෙක් අර්ථය වන්නේ ඔවුන් මේ මොහොතේ සිටින්නේ සතුටෙන් නොවන බවයි.

නමුත් පුද්ගල සාර්ථකත්වය පිළිබඳ කියැවෙන ධනාත්මක මතවාද අනුව ගත් විට සිදු විය යුත්තේ මෙය නොවේ. ඔබ මේ මොහොතේ සිදු කරන කාර්යය සතුටෙන් කිරීම මඟින් යම් දිනෙක සාර්ථකත්වය ළඟාකර ගැනීමයි.

මේ සඳහා උදාහරණයක් ලෙස ඔබ ළඟ තවමත් වාහනයක් නැතිබව අපි සිතමු. නමුත් හෙට උදෑසනත් අවදි වී ඔබට සතුටෙන් පොදු ප්‍රවාහන සේවයක රැකියාවට යාමට හැකි විය යුතුයි. ඔබට නිවෙසක් නැති නිසා මේ මොහොතේ ඔබ සිටින්නේ කුලී නිවෙසක බව සිතමු. නමුත් ඔබ මැසිවිලි නොනගා හෙට උදෑසන ද සතුටෙන් අවදි වී ඔබගේ එදිනෙදා කටයුතු සිදු කළ හැකි විය යුතුයි. ඔබ ළඟ ඉතිරිකර ගත් අතිරික්ත ධනයක් නැතත් හෙට ද ඔබ පිබිදී ලැබුණු මුදල සතුටෙන් කළමනාකරණය කරගෙන අඩු වියදමකින් ජීවත් වෙමින් අනාගත සුරක්ෂිතතාව සඳහා මුදල් ඉතිරි කිරීමට, ආයෝජනය කිරීම හා නව උත්පාදන මාර්ග සඳහා යොමුවිය හැකි විය යුතුයි.

ඔබ මේ මොහොත දුකෙන්, තරහෙන්, වෛරයෙන්, කලකිරීමෙන් යන ඍණාත්මක මනෝභාවයන්ගෙන් පිරී ඇත්නම් ඔබේ සිත තුළ සතුටක් නැත. මේ කියන දූෂ්‍ය, ඍණාත්මක හැඟීම්වලින් සිත පිරී ඇත්නම් සාර්ථකත්වයේ බීජය රෝපණය නොවේ. ඔබ ඉදිරියේ අවස්ථා තිබුණද ඒවා නොපෙනී යයි. ඔබ අන් අයට ප්‍රිය පුද්ගලයකු වන්නේ නැත. ඔබේ ප්‍රධානියාට, පවුලේ අයට, මිතුරන්ට, සේවකයන්ට ආදී හැමට ඔබ ගැන ඇතිවන්නේ නොපහන් සිතිවිලි ය. එය ඔබට ඔබේ චරිතයට සුබදායී දෙයක් නොවේ. එවිට අන් අයගේ සහයෝගය ඔබට ලබා ගැනීමට නොහැකි වන නිසා අනාගතයේ සාර්ථකත්වය ලබා ගැනීමට අවශ්‍ය අවස්ථා, සිද්ධි, සම්පත්, කරුණු කාරණා ඔබ වටා තිබුණත් ඒවා මඟහැරී යයි.

වරක් ස්ටීව් ජොබ්ගෙන් කෙනෙක් අසනවා සාර්ථකත්වය සඳහා කුමක් කළ යුතුදැයි කියා. එවිට ස්ටීව් පවසන්නේ සාර්ථකත්වය ලබා ගැනීම සඳහා ඔබට ආසාවෙන් කළ හැකි දෙයක් සිදු කරන ලෙසයි. ඔබ එය කරන්නේ ආසාවෙන් නම් ඔබ ඉන්නේ සතුටෙනි. එහෙත් ඔබට ආසාවෙන් කරන දෙයක් නොලැබුණහොත් එම කාර්යය දෙස බලන ආකාරය වෙනස් කරන්න. එසේ සිදුකර ඒ සඳහා ආසාවක් ඇති කරගෙන එම කාර්යය නිසා සතුටු වන්න. නැතිනම් ඔබට සතුටෙන් කළ හැකි දෙයක් සොයා ගන්න.

ඔබ කුමක් කළත් එය කරන්නේ සතුටකින් නොවෙයි නම් ඔබ අපේක්ෂා කරන සාර්ථකත්වයට කිසි දා ළඟා වීමට නොහැකිය. නමුත් ඔබ සිදු කරන කුමන කාර්යයක් වුවත් එය සිදු කරන්නේ සිතේ සතුටින් නම්, ඔබ එය වින්දනය කරන්නේ නම් යම් දිනෙක ඔබ අපේක්ෂා කරන සාර්ථකත්වය ඔබට ලබා ගත හැකි වනු ඇත.

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු