සෝස් එක කාපු හැමෝම රසයි හොඳයි කියලා මාව අගය කළා

ගම්මිරිස් සෝස් සාදා වෙළෙඳපොළ ජයගත් අරණායක සන්ධ්‍යා කුමාරි
ජුනි 30, 2021

දිරියට සවියක්

කුළුබඩු ලොව රජු ලෙසින් හඳුන්වන ගම්මිරිස් අපේ මුළුතැන්ගෙට නැතිවම බැරි තවත් එක් රසකාරකයකි.

ඒ වාගේම ගම්මිරිස් යනු වැඩිදෙනකුගේ කතාබහට ද ලක්වන කුළුබඩුවකි. වෙළෙඳපොළේ මිල අඩුවැඩිවීම්වලට නිරන්තරයෙන් ලක්වීම එයට හේතුවයි.

බොහෝ විට අප ගම්මිරිස් භාවිත කරනුයේ ඇට සහ කුඩු වශයෙන් ආහාර රසවත් කරගැනීමටයි. නමුත් ඔබ නොදන්නවා වුවද ගම්මිරිස්වලින් කළ හැකි අගය එකතු කළ නිෂ්පාදන බොහොමයකි.

ඒ අතරින් අපි අද ඔබට හඳුන්වා දෙන්නේ ගම්මිරිස් භාවිතයෙන් සෝස් සාදා වෙළෙඳපොළ ජයගත් අපුරු ව්‍යවසායිකාවක්.

ඇය නමින් සන්ධ්‍යා කුමාරි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බකුල්වල කියන ගමේ තමයි සන්ධ්‍යා ජීවත් වන්නේ.

‘සනෙල්ටෝ ගම්මිරිස් සෝස්‘ නමින් හඳුන්වන මේ ව්‍යාපාරය දැඩි කැපවීමකින් මෙන්ම උත්සාහයකින් පවත්වාගෙන යන බව ඕ පවසන්නීය. එමෙන්ම රජයේ නිලධාරියකු ලෙස කටයුතු කරන තම ස්වාමි පුරුෂයාගේත්, උසස් පෙළ හදාරන එකම පුතණුවන්ගේත් නොමඳ සහය ඒ සඳහා ඇයට හිමිවේ. ඉතින් ගම්මිරිස් සෝස් නිෂ්පාදනයට යොමු වු ආකාරය පිළිබඳ ඇය මෙලෙසින් සිය හඬ අවදි කරන්නීය. “ මම අරණායක හබලක්කාව සණස සමිතියේ සාමාජිකාවක්. අපේ සණස සමිතිය බොහොම ශක්තිමත්. කාන්තා

ව්‍යවසායකයින් බිහි කරන්නට හා දිරි ගන්වන්නට නිතරම කටයුතු කරනවා. ඉතින් සණස උත්තමාවී වැඩසටහන යටතේ මම ඇතුළු කාන්තාවන් විසිපස් දෙනකුට කුළුබඩු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පිළිබඳ පුහුණුවක් ලබාදීමට තීරණය කළා. ඒ අනුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් ව්‍යාපෘති නිලධාරී උපුල් විජේසුරිය මහත්මා අපිව මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයට යොමු කළා. එහිදී අපි හැමෝම කුළුබඩු ඇසුරින් විවිධ නිෂ්පාදන සකසා ගන්නා අන්දම පිළිබඳ හොඳ පුහුණුවක් ලබාගත්තා."

* ඔබ මේ ගම්මිරිස් සෝස් නිෂ්පාදනය සඳහා පෙලඹුණේ ලබාගත් ඒ පුහුණුව මත වෙන්න ඇති.

" මෙහෙමයි යමක් පිළිබඳ පුහුණුවක්, දැනුමක් ලබා ගත්තට මදි. ඒ පිළිබඳව කැමැත්තක් හා උනන්දුවක් තිබුණොත් විතරයි දිගටම ඒ ඔස්සේ යා හැකි වන්නේ. ඒ වාගේම දැනට ගම්මිරිස් සෝස් එක කරගෙන යන්නෙත් මම විතරයි.

සණසේ කළමනාකාරතුමිය රෝහීණී ප්‍රේමලතා මහත්මිය තමයි මාව උනන්දු කළේ ඉගෙන ගත් දේ හදලා පෙන්වන්න

කියලා. ඉතින් මම ගම්මිරිස් සෝස් හැදුවා. සමිතියේ සාමාජික සාමාජිකාවන්ට තමා මුලින්ම හදලා කන්න දුන්නේ. සෝස් එක කාපු හැමෝම රසයි හොඳයි කියලා මාව අගය කළා."

* ඒ අගය කිරීම ඔබව ලොකු දුරක් රැගෙන ආවා නේද ?

" ඇත්තටම ඔව්. පළමුවෙන්ම මම ගම්මිරිස් සෝස් හදලා අපේ සමිතියේ සාමාජිකයන්ට එකක් රුපියල් 50 බැගින්

අලෙවි කළා. එයාලා ඒවා සතුටින් මිලදී ගත්තා. මුලදී ලේබල් එකක්වත්, ලියාපදිංචි අංකයක්වත් තිබුණේ නෑ. ඉතින් ටිකෙන් ටික තමා මේ තත්ත්වයට ව්‍යාපාරය රැගෙන ආවේ.

වියළි කළු ගම්මිරිස්, සියඹලා, ඉඟුරු , සුදුලූනු, කුරුඳු, කරාබු නැටි, සාදික්කා මද, වසාවාසි, එනසාල් වැනි දේශීය කුළුබඩු තමයි සෝස් එක හදන්න යොදා ගන්නෙ. කෘත්‍රිම රසකාරක වර්ණක කිසිවක් යොදා ගන්නේ නෑ. වෙළෙඳපොළේ බොහෝවිට තිබෙන්නේ වසවිස සහිත සෝස් වර්ග. ඒවා අපේ ශරීරයට හිතකර නෑ. ඒ නිසා හිතුවා හොඳ දෙයක් සමාජයට දීලා මාත් ආදායමක් ලබාගන්න. ඒ වාගේම දැනට වෙළෙඳපොළේ මෙහෙම දේවල් අඩු නිසා ඉල්ලුමක් හැදෙයි කියලත් හිතුවා.‘‘

මේ සඳහා ඔබ අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහොමද?

‘‘අපේ සණස සමිතියේ කාබනික ගම්මිරිස් වගා කරන සාමාජිකයෝ 50ක් විතර ඉන්නවා. ඒ අයගෙන් තමා මට අවශ්‍ය ගම්මිරිස් මිලදී ගන්නේ. අනිත් දේශීය කුළුබඩුත් ඒ විදිහට ලබා ගන්නවා. "

සුළුවට පටන් ගත් මේ ව්‍යාපාරය හොඳ තැනකට රැගෙන එන්න ඔබට හැකියාව ලැබිලා තියෙනව.

" මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ 2019 දී. දැන් අවුරුදු දෙකක් වෙනවා. අපේ නිවෙසේමයි සියලු කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම මේ වනවිට මා ළඟ පුහුණු සේවකයන් දෙදෙනකුත් වැඩ කරනවා.

මුලදි හබලක්කාව සණස සමිතියට, ළඟපාත කඩවල්වලටත් දැම්මා. ඒක ඒ තරම් සාර්ථක වුණේ නෑ. මොකද මුල් කාලයේ අලෙවි කිරීම පිළිබඳ ලොකු දැනුමක් මට තිබුණෙත් නෑනේ. ඇත්තටම නිෂ්පාදනයක් කරගත් පසු එය අලෙවි කිරීමයි වැදගත්.

ඒ නිසා මම මගේ ඥාති සහෝදරයා අසිත පරාක්‍රමගේ සහයෝගය ලබාගත්තා. අලෙවිය පිළිබඳ හොඳ දැනුමක් ඔහු සතුව තිබුණා. ඉතින් දැන් අපි හොඳ ආදායමක් ලබා ගන්නවා. නිතරම අපිට විශේෂ ඇණවුම් ලැබෙනවා. එක්වරක් මගේ නිෂ්පාදන මිලදී ගන්නා කෙනෙක් නැවත වරක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මිලයට ගන්නට පසු බහින්නේ නෑ.

මොකද අපි උසස් ප්‍රමිතියෙන් යුක්තවයි මේ නිෂ්පාදන කරන්නේ. ඒ නිසා අපි අද හොඳ ආදායමක් ලබනවා.

මේ ගම්මිරිස් සෝස් බත් එක්ක කන්න පුළුවනි. පාන්, බිස්කට්, රොටී, ආප්ප, බුරියානි, සැන්විච්, සේවරි බිස්කට්, ෂෝටීස් වැනි ඕනෑම දෙයක් එක්ක කන්න පුළුවන්. අතුරු ආබාධ නෑ. වයස් භේදයකින්

තොරව කන්න පුළුවන්.

අලෙවි කිරීමේදී මිනිස්සු නමා ගන්න එක හරිම අමාරුයි. මිනිස්සු හුරුවෙලා ඉන්නේ රසකාරක වර්ණක යොදපු ලාබය වැඩි සෝස් වලටයි. නමුත් දේශීය දේ අගයන අයත් ඉන්නවා. දැනට අපේ සෝස් එක විවාහ උත්සව වැනි විශේෂ උත්සවවලට ගන්නවා. හෝටල්වල, එළවළු කඩවල, පළතුරු කඩවල, ග්‍රොසරිවල, පවා අපේ සෝස් එක විකිණෙනවා.

ඉදිරියේ දී තරගකාරී වෙළෙඳපොළට මුහුණ දෙන්න අපි සූදානම්වෙලා ඉන්නේ. දේශීය වෙළෙඳපොළ ඉක්මවා ජාත්‍යන්තරය ජය ගැනීමේ අදහස පෙරදැරිවයි අපි කටයුතු කරන්නේ.

 

 

 

විශේෂ ස්තුතිය -දිශාන්ති කොඩිතුවක්කු සහ රුවන් බස්නායක දෙදෙනාට

 

 ඡායා - ලසන්ත අබේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.