යුග දිවිය රන් රස කරනා කිරි කවඩි දත් දෙපෙළක් ඔබටත් හිමිද?

ජුනි 30, 2021

 

පංච කල්‍යාණියකගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන දන්ත කල්‍යාණය ඇගේ වාසනාව කියාපාන කැඩපතකි. ලොවක් වසඟ කරන්නට හැකි සිනහවක් අපට උරුම වන්නේ සුන්දරව පිහිටි දත් දෙපෙළිනි.

එමෙන්ම කාන්තාවකගේ මුවේ පිහිටි දත් මඟින් ඈ සතු ගති ගුණ චරිත ලක්ෂණ පිළිබඳවත් ඉඟියක් ලබා ගත හැකියි. උඩු ඇන්දේ හා යටි ඇන්දේ සමානව කිරි කවඩි පෙළක් සේ සුදුවන්ව පිහිටි දත් ඇයට ඉසුරු සැප සම්පත් උදා කරවයි. යුග දිවිය අතිශය සාර්ථකයි. ඒ වටා කාලවර්ණ විදුරුමස් නොමැති නම් කතාබහට දක්ෂය. මිහිරි හඬක් හිමිය. මිහිරි ප්‍රණීත ආහාර පාන ලැබේ. කරන කියන දෑ සාර්ථකත්වයට පත් වේ.

දත් පඬු පැහැයෙන් යුක්ත වේ නම් එය අසුබ ලක්ෂණයකි. දිළින්ඳියක වෙයි. අපහාසයට උපහාසයට මුලපුරයි. ආදායමට වඩා වියදම වැඩියි. ශාරීරික රෝග නිරතුරුවම ගෙන දේ.

යටි ඇන්දේ දත් උඩු ඇන්දට වඩා මහත් වේ නම් මවට අපල ගෙන දේවි. තරුණ වියේ දී විවිධ දුක් කම්කටොළුවලට මුහුණ පෑමට සිදුවේ. සහකරුට අපල ඇති කරයි. විවාහ දිවියේ ගැටලු පැනනගී. දුකින් දුකට පත්වේ.

උඩු ඇන්දේ දත් එකිනෙකට දුරස්ව ඇත්නම් සිය සැමියා පාලනය කිරීමට යටි සිතින් සැලසුම් කරයි. වරදේ බැඳෙන කෙනෙක් ලෙසද හැඳින්විය හැකි අතර චරිතය වුව මුදලට පාවා දේවි. උඩු ඇන්දේ ඉදිරිපෙළම දත් හිඩැස් නම් විවාහයට සුබ නොවේ. ආරවුල්, සිත් පීඩා වේ. කලහකාරී චපල ගති ඇති ඇය ඇසුරට සුදුසු නොවේ.

සිනහවේදී විදුරු මස් නොපෙනෙන කිරි සුදු මධ්‍යම ප්‍රමාණයේ දතක් ඇති ඇය ඉතා වාසනාවන්තයි. බුද්ධි ගෝචරයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත චරිත ඇත්තියකි. වාසනාවන්ත දරුවන් හිමි වේ. යුගදිවිය අති සාර්ථකයි. මුදල් අතින් ලැබීම් යහපත්ය. නළ දත් ඇත්තිය බොහෝ දරුවන් ලබයි. ජීවිතයේ මැද භාගයේ කායික මානසික පීඩනයන්ට ගොදුරු වේ. අන්‍යයන් සමඟ අමනාපකම් ඇති කර ගනී. අහංකාර චරිතයක් හිමි වේ. දාරක ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ.

කාල වර්ණ විදුරුමස් සහිත දත් ඇත්නම් ජාන රෝග සහ නිධන්ගත රෝග මතු කරයි. එසේම දිවේ කළු ලප ඇත්නම් දුක්බර දිවියක් හිමි වේ. දරුවන්ගෙන් සැනසීමක්, සතුටකු ඇති නොවේ.

උල් සහිත දත් සුබ නැත. ඇය සිටිනා පවුල දියුණු නොවේ. ආරවුල් බහුලයි. දුක් කරදරවල නිමක් නොවේ. ඇයට කටුක දිවියක්ම හිමි ය.

ඉදිරියට නෙරා ඇති බොල්ලෑ දත් හිමි නම් අසුබ ලකුණකි. විවාහය දෙදරා වැටේ. දිළින්දියක් කරවයි. ජීවිතයේ සදාකාලික ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. හදිසි අනතුරුවලින්ද අඩුවක් නැත.

මනාව පිහිටි දත් ඇති දකුණු පසින් නළ දතක් නොපෙනෙන සේ පිහිටා ඇත්නම් ජනප්‍රසාද ඇති කරයි. ගෞරවයට පාත්‍ර වේ. ධන ධාන්‍ය සැප සම්පත්හිමි වේ. යුග දිවිය සාර්ථකයි. සිනහවෙන් ලොවක් වසඟ කළ හැකි කාන්තාව වූයේ ක්ලියෝපැට්‍රාය. මහා අධිරාජයකු වූ ජුලියස් සීසර් වසඟ වූයේ ඇගේ සිනාවටත් රූප සෝබාවටත්ය. ඕනෑම කෙනෙක් මුල්ම හමුවේදී සිනහ වේ. එය ආකර්ෂණීය වන්නේ සුන්දර දත් පෙළකිනි. එමෙන්ම දත් වලින් ජීවිතයට විවිධ සුබ අසුබතා ඇතිකරන බවත් ඔබට දැන් වැටහෙනවා ඇති.

කෙසේ වෙතත් අවංක බවේ ප්‍රතිමූර්තියක් ලෙස සිනහ වුවහොත් ඔබට ලොව ජයගත හැකියි.

 

 

උපදෙස් - ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල