කැන්ස් වර්ණවත් කළ දීපිකා ගේ විලාසිතා

ජුනි 13, 2022

 

ආසියානු කාන්තාවන් හැම දෙයකින්ම ඉදිරියට යනවා. මොනතරම් බාධක ආවත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය අතිමහත්.

 

දීපිකා පදුකෝන් බොලිවුඩය වසඟයට ගත් සොඳුරු රුවැතියක්. ඈ දැන් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම කතාබහට ලක්වෙන කාන්තාවක් වෙලා. එකක් ඇගේ බුහුටි රඟපෑම. ඇගේ මනමෝහිනීය නර්තනය තවත් එකක්. ඇගේ රූපය මේ කිසිවකට දෙවැනි නැහැ. අද ලෝකය වසඟයට ගත් ලුවී වුටන් වෙළෙඳ සන්නාම ඉන්දියන් නියෝජනය ඇයයි.

පසුගිය දා ඈ ගැන තවත් කතාබහක් ඇහුණා. ඒ ඈ කැන්ස් සිනමා සම්මාන උළෙලේ ජූරි සභිකයකු ලෙසින් කටයුතු කිරීමයි.

කැන්ස් සිනමා සම්මාන උළෙල වාර්ෂිකව ප්‍රංශයේ දී පැවැත්වෙන්නක්. මේ අවුරුද්දෙ පැවැත්වුණේ 75 වැනි සම්මාන උළෙලයි. පසුගිය මැයි 17 වැනිදා සිට මැයි 28 වැනිදා වෙනකම් පැවැති උත්සවයේ ඒ දින කිහිපයේම. දීපිකා රතු පලස මතින් පැමිණියේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙසිනි. මේ කාලයේ දී ඇය ලුවී වුටන් ඇඟලුම්වලින් වගේම ඉන්දියන් පෙනුමක් ගන්නා සාරිවලින් ද සැරැසී පැමිණියේ හැමෝගෙම සිත් තමා වෙතට නතුකර ගනිමිනි. ප්‍රධාන තරගකාරී අංශයේ විනිශ්චය මණ්ඩල සභාපති ලෙස ප්‍රංශ නළු වින්සන්ට් ලින්ඩන් කටයුතු කළ අතර එහි අනෙකුත් සාමාජිකයන් අට දෙනාගෙන් එක් අයකු වූයේ දීපිකායි. මේ දවස් කිහිපය එකිනෙකට වෙනස් ඇඳුම්වලින් හැඩවී පැමිණීම හැමෝටම සතුට ගෙන ආවා. මේ කැන්ස් වර්ණවත් කළ ලෝකයම කතා කළ දීපිකාගේ එම විලාසිතාවන්ය.