මුල් පිටුව

නොවැම්බර් 7, 2022

නිරූපණ ක්ෂේත්‍රය ගෞරවනීය වෘත්තියක්

මෙවර තරුණී කවරය හැඩ කරන්නේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ සූරූපිනියන් තිදෙනකුගේ සොඳුරු රුවෙනි. රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, විලාසිතා සංදර්ශන, මනාලියන්ගේ විලාසිතා, ගීතමය රූප රචනා ආදියෙන් නිරන්තරයෙන් ඔවුන් ඔබ හමු වේ.

 

අංජනා දිල්හානි

ගනේමුල්ල, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අංජනා දිල්ෂානි නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2015 වසරේදීය. රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, හඬකැවීම් ආදී වැඩසටහන් බොහොමයකට දායක වුවද අංජනාගේ වැඩි කැමැත්ත නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීමටයි. රූපවාහිනි සංස්ථාවේ අලෙවි විධායකවරියක ලෙසින් ද සේවය කරන ඇය රැකියාව සහ නිරූපණ වෘත්තිය සමබරව පවත්වාගෙන යන්නීය.

 

ප්‍රශානි පෙරේරා

රූපවාහිනි දැන්වීම් හරහා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ප්‍රශානි මේ වනවිට සම්පූර්ණයෙන්ම යොමු වී සිටින්නේ මනාලියන්ගේ විලාසිතා නිරූපණයටයි. කැලණිය, දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ඇය නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහම්බයෙනි. නමුදු මේ වනවිට ඇය ඉතාමත් සතුටින් එහි කටයුතු කරන අතර කුඩා online ව්‍යාපාරයක් ද පවත්වාගෙන යන්නීය.

 

ශෙනාලි විතානගේ

2017 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ පැලඳි ඇය ශෙනාලි විතානගේ. අනතුරුව 2017 ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඇය මෙරට නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දැනට වසර කිහිපයකට පෙරදීය. ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක වූ වාසනා දන්තනාරායනගේ ගුරුහරුකම් මැද ලෝක විවාහක රූ රැජිණ තරගයට සහභාගි වූ ඇය සැමවිටම පවසන්නේ ප්‍රවීණයන්ගේ උපදෙස් තම ගමනට මහත් සවියක් වූ බවයි. ඒ වාගේම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන නවක ශිල්පිනියන් වෙනුවෙන් සිය අදහස් පළ කරන්නටත් ඇය අමතක නොකළාය.

"නිරූපණ ක්ෂේත්‍රය කියන්නෙ හරිම ගෞරවනීය වෘත්තියක්. ඒ සඳහා හොඳ පෞරුෂයක් තනාගත යුත්තේ ඔබ විසින්මයි. ඒ වාගේම තම පෞරුෂය හොඳින් නඩත්තු කරන්නත් ඕනේ. ක්ෂේත්‍රය පිළිබඳ නිවැරැදි අවබෝධය, නිසි හැදෑරීම වගේම ප්‍රවීණයන්ගේ අවවාද උපදෙස්, මඟ පෙන්වීම මේ හැමදේම හරිම වටිනවා. ඔබ කරන දේට හදවතින්ම කැපවෙන්න. ඔබ ඔබට ගෞරව කරනවා සේම අන් අයට ද ගරු කරන්න. එවිට මේ ක්ෂේත්‍රයේ වඩාත් පහසුවෙන් වාගේම වඩාත් ගෞරවනීයව කටයුතු කළ හැකි බව අමතක කරන්න එපා.

 

ඡායාරූප - ශාන් රූපස්සර

හැඩගැන්වීම - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ඉයන් සංජීව