නිවෙසේ බුදු පහන මේ විදිහට තබන්න

ජනවාරි 8, 2020

අනුශාසනාව කතරගම ශ්‍රී අභිනවාරාමය මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය

කපුගම සරණතිස්ස නාහිමි

ඔබේ නිවෙසේ බුදු පහන ඔබ උදේ, සවස තබනවා ඇති. එහෙත් එය දැනුම් තේරුම් ඇතිව ක්‍රමානුකූලව තබනවා නම් දැන් ඉන්නවාටත් වඩා සාර්ථකත්වයක් ළඟා කරගත හැකියි.

නිවැරැදි වත්පිළිවෙත් සිදුකරන්නේ නම් පවුලේ සතුට, සමගිය, දියුණුව ඉගෙනගන්නා දරුවන් වේ නම් සහ රැකී රක්ෂාවල නියුතු වේ නම් යන මේ සියල්ලෙහි අභිවෘද්ධියක් අත්පත් කර ගත හැකියි.

නිවෙසේ පවතින වාස්තු දෝෂ, භූමි දෝෂ මඟ හරවයි. අණ විණ කොඩිවිනවලින් වළකයි.

තවද මාරක, බාධක, අනතුරු වැළකීමට, දරුණු ඒරාෂ්ඨක, අපල දෝෂයන්ගෙන් ඔබව ගළවා ගන්නටත් මේ බුදු පහනට අසීමිත බලයක් පවතී. එයින් සතුටට පත්වන්නේ විශ්වයේ බලයයි. සමය: දෘෂ්ඨික දේව සමුහයයි. බුදු ගුණ බලය තව අවුරුදු 2500 කට ඉදිරියට ඇත. බුදු ගුණ අනන්තයි. අප්‍රමාණයි.

පින්වතුනි, අප ලොව්තුරා බුදුපියාණන්ට උපහාර පූජා පැවැත්වීමට අප විවිධ ආකාරයට පුද පූජා පවත්වනවා. තෙල්, මල්, හඳුන්කූරු පූජාකරමින් වෙන වෙනම ගාථා සජ්ඣායනා කරනවා. බුදු පහන දැල්වීමේදී බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර පුජා පැවැත්වීම සිදු කරනු ලබනවා.

ස්ථානය තෝරාගැනීම

ලොව්තුරා බුදු පියාණන් උදෙසා ඔබේ නිවෙසේ පහනක් දැල්වීමේ දී පිරිසුදු යහපත් ස්ථානයක් ඒ සඳහා වෙන්විය යුතුයි. එහිදී මූලික වශයෙන් සුබ දිශාව තෝරාගැනීම අවශ්‍යයි. කිසි කලෙක කිසි විටෙක මරු නොසිටින දිශාව ඊශාන දිශාවේ බුදු පහන තැන්පත් කිරීමට හොඳම දිශාවයි.

අප ඊශාන දිශාව දෙස බලා බුදුන් වඳින්න සූදානම් කර ගත යුතුයි. මොනයම් හේතුවක් නිසාවෙන් හෝ බුදු පහන බිමක තැබීම නොකළ යුතුයි. ඔබේ හිසට උඩින් ඉතාමත් පිරිසුදු තැනක් මේ සඳහා වෙන්කර ගත යුතුය. ඔබ දෙමහල්, තෙමහල් නිවෙසක හිමිකාරිණියක් නම් ඉහළ මහලේ තැනක් මේ සඳහා තෝරාගත යුතු වේ. එසේ නැතිනම් තනි මහලේ නිවෙසක් නම් නිදන කාමර, ආලින්දයෙන් ඔබ්බට ගිය මුළුවල, කෑම කාමරයක පහන නොතිබීමටත් වගබලා ගන්න. නිවෙස වෙත පැමිණෙන අයට බුදු පහන හොඳහැටි දර්ශනය වන්නට තැන්පත් කිරීමට හැකි නම් වඩාත් සුදුසුයි.

වෙලාව

බුදුපහන දැල්වීමේ දී වඩාත්ම යෝග්‍ය වනුයේ හිරු උදාවන වේලාව සහ සවස් කාලයේ අඳුර වැටී එන වේලාවයි. එහෙත් නියමිත වූ වේලාවක් නැත. මෑත කාලයේ බොහෝ දෙනා වැරැදි මත ඉදිරිපත් කරනවා. නිවෙසේ වෙනත් ආලෝකයක් දැල්වීමට පෙර හෝ සවස 6.00 ට හරියටම මේ පහන දැල්විය යුතුයි කියා. එහෙත් ලොව්තුරා බුදු පියාණන් උදෙසා අප දල්වන පහන් ආලෝකයට එවැනි කාල වේලාවක් නිර්ණය කිරීම අවශ්‍ය නොවේ. හැකි නම් බුදු පහනේ තිරය බුද්ධ ප්‍රතිමාවහන්සේ දෙසට යොමු කිරීම සුදුසුයි. “ඝනසාරප්ප දිට්ඨේන - දීපේන තම දං සිනා

තිලෝක දීපං සම්බුද්ධං” මෝහය නැමැති ඝන අඳුර දුරු කිරීමට මේ පහනේ ආලෝකය බුදු හිමියන්ට දල්වමි. එය පූජා වේවා! යි ප්‍රාර්ථනා කරන්න.

ප්‍රතිමාව තෝරා ගැනීම

ඇතැමුන්ගේ දුර්මත බොහෝයි. සුදු බුදු පිළිමය, කළු ගල් පිළිමය, තැඹිලි පැහැති බුදු පිළිමය ආදී වශයෙන් පිළිම නෙළා තිබේ. මෙහිදී වර්ණය වඩාත් වැදගත් නොවේ. දයාව, කරුණාව පිරුණු පිළිමය දැකීමෙන් ඔබට ගෞරවයක් දැනෙන පිළිම වහන්සේ නමක් තෝරා ගත යුතුයි.

අපේ බුදු පියාණන් වහන්සේ මනා දේහධාරී (දෙතිස් මහා පුරුෂ ලක්ෂණ) රූපශ්‍රීයෙන් යුක්තයි. එවැනි පිළිම වහන්සේ නමක් වන්දනාමාන කිරීමට තෝරාගන්න. ඇතැම්විට කූට, වංචනික, ශ්‍රද්ධාවෙන් තොර වෙළෙඳුන් කාන්තා රූප හා සමාන බුද්ධ රූප අලෙවි කරනවා. ඒවා පව්කාර අකුසල් කර්මයන්. පින්වත් ඔබ බුද්ධ පිළිම වහන්සේ නමක් තෝරා ගැනීමේ දී යහපත් සිතිවිලි පහළ වන ශාන්ත බුදුරුවක් තෝරාගන්න. ඔබට කිසිදු දෝෂයක් මතු නොවේ.

වඩා වැදගත් වන්නේ ශ්‍රද්ධාවයි.

ඔබ නොදැනුවත්ව වැරැදි ප්‍රතිමාවක් තෝරාගෙන තිබුණත් ඔබේ සිතේ ශ්‍රද්ධාව පාරිශුද්ධ නම් එහි කිසිදු අකුසලයක් නොවේ.

රථ වාහනවල ඉදිරිපිට වුව පුංචි බුදු රුවක් තැන්පත් කිරීම ද ඉතාම සුදුසුයි. බුදුරුව කිසිසේත්ම විසිතුරු භාණ්ඩයක් නොවිය යුතුයි. ඒ බුදුරුව දකින විට ශාන්ත සිතිවිල්ලක් දැනිය යුතුය. කෝපය පහවී යා යුතුයි. අද පාරවල්වල වාහනයක් පදවාගෙන යනවිට දී කෝපයට පත්වන අය බොහොම වැඩියි. එබැවින් බුද්ධ රූපයක් තමා අභිමුව තබාගෙන යාම අතිශය කාලෝචිතයි.

පහන තෝරාගැනීම

ඇතැමුන් තමන්ගේ ලෙහෙසිය පහසුව උදෙසා නිවෙසේ තබන බුදු පහන වෙනුවට බල්බ් එකක් දල්වාලයි. එය බෞද්ධයකුගේ ගුණයක් නම් නොවේ. ඔබ පිරිසුදු පොල්තෙල්වලට පහන් තිරයක් දමා පහන දැල්වීම කළ යුතුයි.

මේ පහන පැය 1/2 කට අඩුවෙන් දල්වන්නට එපා.

අඩුම පැය 5 ක් හෝ ඊට වඩා වැඩියෙන් දැල්වීම සිදුකළ යුතුයි. වැස්මක් තියෙන පහනක් නම් වඩාත් සුදුසුයි. නැතිනම් කෘමි සතුන්, දූවිලි පහනේ තෙල්වලට මුසු වේ. පහන් දැල්ලේ ප්‍රභාවයට හා පවිත්‍රතාවට කිසිදු ගැටලුවක් මතු නොවන සේ ආලෝකය ගත යුතුයි.

පින්වතුනි, නිවෙසේ බුදු පහන මෙන්න මේ විදිහට තබා වත් පිළිවෙත් සිදුකරන්නේ නම් ඔබේ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවි.

අද සමාජය බොහෝ සංකීර්ණයි. වැඩකටයුතු බොහෝයි.

මේ පහන් ආලෝකය ඔබේ නිවෙසට අනාරක්ෂිත බවක් එකතු කරයි නම් ඒ ගැනත් සිතිය යුතුයි.

එනම් දැල්වූ පහන් තිරය සතුන් ගෙන ගොස් වෙනත් තැනක දැමීමෙන් හානි සිදු වේ.

මේ හේතුව නිසාවෙන් අපේ සමාජයේ දුර්මත ගොඩනැඟී තිබේ. එනම් නිවෙස් තුළ බුදු පහන නොතැබිය යුතුයි කියා. එවැන්නක සත්‍යතාවක් නොවේ.

ඔබ ආරක්ෂිතව පහන් සිළුව දල්වා තබන්නේ නම් නිවෙස තුළම පහන දැල්වීම සිදුකළ යුතුයි.

තවත් පැත්තකින් අද පහන දල්වා හෙට පහන දැල්වීමට අතපසු වුවහොත් ඊළඟ දින පහන නොදැල්විය යුතුයි. ඇතැමුන් සිතනවා. මේ කිසිම නීති රීතියක් බුදු පහනක් දැල්වීමට ඔබ බාධාකර ගන්නට එපා. “චේතනාං භික්ඛවේ කම්මං වදාමි....” පිරිසුදු චේතනාවයි වඩාත් වැදගත් වන්නේ.

පිරිසුදු ගතින්, පිරිසුදු සිතින් ඔබේ නිවෙසේ උදේ සවස බුදු පහන දල්වන්නේ නම් ඔබට ඔබේ පවුලට ලැබෙන ආශීිර්වාදය මෙතෙකැයි කිව නොහැකියි.

 උපාලි ජයරත්න