වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
මිනිසුන්ට අවබෝධකර ගත නොහැකි විෂයන් පහ
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ලෝකවිදූ යැයි ගුණ නාමයක් තිබේ. එය බුදුරජාණන් වහන්සේගේ නව ගුණස්කන්ධයන් අතර එක් සුවිශේෂී ගුණස්කන්ධයකි.
ලෝකවිදූ ගුණ පදය විස්තර කෙරෙන්නේ ත්‍රිවිධාකාර ලෝකය අවබෝධ කරගත් නිසා ලෝක විදූ වන බවය.
ඒවා නම්,
1. සංඛාර ලෝකය
2. සත්ත්ව ලෝකය
3. ඕකාස (අවකාශ ) ලෝකය යන
ලෝකත්රයයි.
එහි සංඛාර ලෝකය යනු හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයි. නිර්වාණය හැර අනෙක් ජීවී අජීවි සියල්ලම ඊට අන්තර්ගතය.
සත්ව ලෝකය යනු දිව්‍ය මනුස්ස තිරස්චාන ආදී සත්ත්ව සමූහයයි.
ඕකාස හෙවත් අවකාශ ලෝකය යනු ගස්ගල් පර්වත , ග්‍රහලෝක, ග්‍රහ මණ්ඩල, චක්‍රාවාට ආදිය පැතිර තිබෙන්නාවූ අවකාශයයි. ඉඩකඩයි.
මේ ත්‍රිවිධාකාර ලෝකයත් ඒ ලෝකයෙන් එතෙර වෙන මාර්ගයත් ලොව්තුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ අවබෝධ කළ සේක. ලෝක විදූ යැයි ගුණ නාමයක් බුදුරජාණන් වහන්සේට භාවිත කෙරෙන්නෙ ඒ නිසාය.
සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ දී එක් බ්‍රාහ්මණයෙක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ
" භාග්‍යවතුන් වහන්ස, මෙතෙක් කල්පයෝ කීයක් ඉක්ම ගොස් තිබේදැ"යි ඇසූ සේක.
" බ්‍රාහ්මණය, එසේ ඉක්ම ගියා වූ කල්පයන්ගේ ප්‍රමාණය සීයක්ය, දාහක්ය, ලක්ෂයක්ය කියා ප්‍රමාණ වශයෙන් ගණන් කළ නොහැකි තරම්ය" යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන් සේක.
"භාග්‍යවතුන් වහන්ස, උපමාවකින් කිව හැකිදැ"යි බ්‍රාහ්මණයා නැවත ප්‍රශ්න කළේය.
"බ්‍රාහ්මණය, ගංගා නදිය පටන් ගන්නා තැන සිට, එම නදිය සමුද්‍රයට වැටෙන ස්ථානය දක්වා, පොළොවෙහි යම්තාක් වැලි කැට තිබේද එපමණ කල්ප ගණනක් ඉකුත් වී ගොස් ඇතැ"යි භාග්‍යවතුන් වහන්සේ බමුණාට පිළිතුරු දුන් සේක.
එයින්ම කොපමණ අතීතයක සිට මේ විශ්වය පැවතගෙන එන්නේ දැයි අපට නිශ්චය කිරීමට හැකිය. එය උපකල්පනයෙන් ගත හැකිවා වනු මිස නිශ්චිතවම ගණන් කොට දැක්වීමට නොහැකි කාලයකි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන පරිදි ලෝකයේ ආරම්භය, සත්ත්වයාගේ ආරම්භය ආදී කරුණු ලොව්තුරා බුදු කෙනෙකුටම හැර අන්‍ය දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ආදී සත්ත්ව කෙනෙකුට සර්වාකාරයෙන්ම අවබෝධ කරගත නොහැකිය.
එසේ අවබෝධ කිරීමට නොහැකි විෂයයන් පහක් ලොව්තුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ.
1. ලෝක විෂය
2. සත්ත්ව විෂය
3. චිත්ත විෂය
4. බුද්ධ විෂය
5. කර්ම විෂය
යනු ඒ විෂයන් පහයි.
එම අචින්තනීය විෂයන් පහ අවබෝධ කොටගත හැකි වන්නේ ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමකටම පමණි.
අංගුත්තර නිකායේ, තික නිපාතයේ, දෙවන පණ්ණාසකයේ, ආනන්ද වර්ගයේ අවසන් සූත්‍රය සහස්ර ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රයයි. එහි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය පිළිබඳව ආශ්චර්යමත් කරුණු ඉස්මතු වී තිබේ.
දිනක් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ වන්දනා කොට එකත්පසක හිඳිමින් මෙසේ විමසූ සේක.
" ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, සිඛී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අභිභූ නම් ඍද්ධිමතුන්ගෙන් අග්‍ර රහතන් වහන්සේ විසින් සහස්ර ලෝක ධාතුවම ස්වරයෙන් විඥාපනය කළ බව, මම ඔබ වහන්සේගෙන් අසා ඇත්තෙමි. ස්වාමීනී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට (විශ්වයේ) කොතරම් ප්‍රමාණයකට හඬින් විඤ්ඤාපනය කළ හැක්කේද ? "
එම ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ සෘජුව පිළිතුරු ලබා නුදුන් සේක.
"ආනන්ද, ඒ ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා අපරිමේය වෙති." යනුවෙන් පමණක් වදාළ සේක. කුතුහලයෙන් ආනන්ද තෙරුන් වහන්සේ නැවත විමසුවත් දෙවන වරද එම පිළිතුර ම ලබාදුන් සේක.
එයින් තෘප්තිමත් නොවූ ආනන්ද තෙරුන් වහන්සේ තෙවන වර විමසද්දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
"සුතා තෙ ආනන්ද, සහස්සී චූළනිකා ලොකධාතූති"
"ආනන්ද නුඹ සහශ්‍රී චූලනිකා ධාතුව පිළිබඳව අසා තිබේද ?"
එවිට ඒ පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස ආනන්ද තෙරුන් වහන්සේ අයදූ අතර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන්නට වූහ.
" ආනන්දය, සඳහිරු දෙදෙන බබළමින් යම්තාක් තැන් ගමන් කරන්නේ ද, දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් සහශ්‍රී ලෝකධාතුවයි.
ඒ සහස්‍රධාලෝකයෙහි සඳ දහසක් ඇත. හිරු දහසක් ඇත. සුනෙරු පර්වත දහසක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්වවිදේහ දහසෙක් ඇත. මහාසමුද්‍ර සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්‍රයෝ සතර දෙනෙක් ඇත.
චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. තව්තිසා දේවලෝක සහස්‍රයෙක් ඇත. යාම දේවලෝක සහස්‍රයෙක් ඇත. තුසිත දේවලෝක සහස්‍රයෙක් ඇත. නිර්මාණරතී දේවලෝක සහස්‍රයෙක් ඇත. පරනිම්මිත වශවර්ති දේවලෝක සහස්‍රයෙක් ඇත. බ්‍රහ්මලෝක සහස්‍රයෙක් ඇත. ආනන්දය,මෙයට සහශ්‍රී චූලනිකා ලෝකධාතුවයි කියනු ලැබේ"
වර්තමාන තාරකා විද්‍යාව උගතෙකුට මෙය වඩාත් පැහැදිලිව වටහාගත හැකිවනු ඇත. බුදුරජාණන් වහන්සේ එක ලෝක ධාතුවක් ලෙස විස්තර කරන්නේ තිස්එක් තලයකි. එහි කාමලෝක එකොළොසකි. ඒවා අපාය ලෝක සතර, දිව්‍ය ලෝක සය හා මිනිස් ලෝකය වශයෙන් බෙදී තිබේ.
අපාය 04 යි.
1. නිරය
2. තිරිසන්
3. ප්‍රේත
4. අසුර
මනුස්ස ලෝක 1 යි.
දිව්‍ය ලෝක 6 යි.
1. චාතූර් මහා රාජිකය
2. තාවතිංස
3. යාම
4. තුසිත
5. නිම්මාණරති
6. පරනිර්මිත වසවර්ති
රූපාවචර බ්‍රහ්ම ලෝක 16 යි
1. බ්‍රහ්ම පාරිසජ්ජ
2. බ්‍රහ්ම පුරෝහිත
3. මහා බ්‍රහ්ම
4. පරිත්තාභ
5. අප්පමාණාභ
6. ආභස්සර
7. පරිත්ත සුභ
8. අප්පමාණ සුභ
9. සුභකිණ්හ
10. අසඤ්ඤතලය
11. වේහප්පලය
12. අවිහ සුද්ධාවාසය
13. අතප්ප සුද්ධාවාසය
14. සුදස්ස සුද්ධාවාසය
15. සුදස්සී සුද්ධාවාසය
16. අකණිට්ඨ සුද්ධාවාසය
අරූපාවචර බ්‍රහ්ම ලෝක 04
1. ආකාසානඤ්චායතන ලෝකය
2. විඤ්ඤාණඤ්චායතන ලෝකය
3. ආකිඤ්චඤ්ඤායතන ලෝකය
4. නේවසඤ්ඤා නාසඤ්ඤායතන
ලෝකය වශයෙනි.
මෙහි මුල් එකොළස ඇස,කන, නාසය, දිව, කය ආදිය පිනවීමට අපේක්ෂාව ඇති සත්ත්වයන් ඇති ලෝකතලයි. ඉන් එහා ලෝක කිසිවක පංචකාම ආශාවක් ක්‍රියාත්මක නොවේ. ස්ත්‍රී පුරුෂ වශයෙන් ලිංග භේදයක්ද ඒවායෙහි විද්‍යමාන වන්නේ නැත. විද්‍යාවෙන් තවදුරටත් සොයාගෙන නැති ඕපපාතික නම් උත්පත්තියක් පිළිබඳව ඒ ලෝකවල උසස් ජීවීන් සම්බන්ධව කතා කළ යුතුව තිබේ.
රූපාවචර බ්‍රහ්ම ලෝකවල භෞතික ස්වභාවය සහ මානසික ස්වභාවය යන දෙකම ඇති උසස් ජීවීන් ජීවත් වන නමුත් එම ජීවීන්ට ඇස කන නාසය දිව කය ආදී ඉන්ද්‍රියන් පිනවීමේ හැඟීමක් ආසාවක් ඉස්මතු නොවේ. සිතෙහි ධ්‍යාන ප්‍රීතියම ඔවුන්ට ජීවිතය පවත්වා ගැනීමේ උපකාරය බවට පත්වී තිබේ. එනම් භෞතික ආහාරවල අවශ්‍යතාවක් නොපවතින බවයි.
අරූපාවචර ලෝකවල සත්ත්වයින්ට භෞතික ස්වභාවයක් නැත. එනම් ශරීරයක් නොමැත. ධර්මයෙහි උගන්වා ඇති ආකාරයට වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ යන නාමස්කන්ධයන්ගෙන් යමක් අඩුවැඩි වශයෙන් සූක්ෂමව ක්‍රියාත්මකව පවතී. මේ එක් එක් ලෝකයන්හි සත්ත්වයින්ගේ ආයුෂ ද බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට දේශනා කොට තිබේ. උදාහරණයක් ලෙස නේවසඤ්ඤා නසඤ්ඤායතනයෙහි ආයු කාලය මහා කල්ප අසූහාර දහසකි. එනම් පෘතුවිය අසූහාරදහස් වතාවක් සම්පූර්ණයෙන්ම වැනසී නැවත ගොඩනැඟීමට යන කාලය මෙන් 84,000 ගුණයක් එහි උපන් බ්‍රහ්මයෙකුගේ ආයු කාලය බවයි.
මෙවැනි ලෝක තිස්එකක එකතුවක් එක් ලෝක ධාතුවක් ලෙස ගණන් ගැනේ. ඒවා දහසක් එකතු වූ තැන සහශ්‍රී ලෝක ධාතුවයි. එය විශ්වයේ ලෝක ධාතුන් අතර ඉතාම කුඩා ඒකකයක් ලෙස බුදුරජාණන් වහන්සේ විස්තර කොට තිබේ. එවැනි ලෝක ධාතු දහසක් එකතු වූ තැන, එනම් සහශ්‍රී ලෝක ධාතු දහසින් ගුණ වූ කල, ද්වීසහසී ලෝක ධාතුව හෙවත් මජ්ඣිමිකා ලෝක ධාතුව සැකසේ.
එය දෙවන ප්‍රමාණයේ ලෝක ධාතුවකි. මහා මන්දාකිණී පොකුරක් ලෙස අපට එය අර්ථකථනය කළ හැකිය. එම මධ්‍යම ප්‍රමාණයේ ලෝක ධාතුව නැවත දහසකින් ගුණ වූ විට තෙසහශ්රී මහා සහශ්රීලෝක ධාතුව සැකසේ.
ඒ මහා සහශ්‍රී ලෝක ධාතුවටත් එහා අනන්ත විශ්වය විහිදී පැතිරී පවතී.
" ආනන්දය, තථාගතයන් වහන්සේ කැමැති නම් තෙසහශ්රී මහාසහශ්‍රී ලෝකධාතුව හඬින් ආමන්ත්‍රණය (විඥාපනය) කරන සේක. ඉන් පිටතත් අවශ්‍ය නම් යම්තාක් කැමැතිද , ඒ තාක් ද හඬින් විඥාපනය කරන සේක"
යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් වහන්සේට පැහැදිලි කළ සේක. එයින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තුළ පවතින විශ්වය පිළිබඳව අවබෝධයත් මහා ඍද්ධිමත් භාවයත් පිළිබඳව අපට වටහාගත හැකිය.
මෙහි ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තුවන්න.
සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ
අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය ,
කුඩා කිවුල, කොට්ටුකච්චිය)