වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
ඔය පොඩි පොඩි දේවල් අල්ලගෙන විඳවන්න එපා අත්හරින්න දක්ෂ වෙන්න
බුදුරජාණන් වහන්සේ සැනසීම පිණිස උගන්වාලන්නේ අත්හැරීමයි. නමුත් බොහෝ දෙනා අත්හැරීමට නොව අල්ලා ගැනීමටම පුරුදු වී සිටිති. සමහරෙක් අනුන්ගේ කුඩා වචනයක් අල්ලාගෙන මුළු ජීවිත කාලයත් සසර ගමනත් දුකට පත්කර ගනිති.
ලොව්තුරා බුදුසසුනෙහි සෘද්ධිමත් භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත් වූ මුගලන් මහ තෙරුන් වහන්සේ දිනක් , ඉතාමත් භයානක දුක්ඛ වේදනාවන් විඳින ප්‍රේතයකු අහසේ දුටුසේක. ප්‍රේතයාගේ පෙනුම යොදුන් ගණනක් දිග මහා පිඹුරෙකු සේය. එම ප්‍රේතයා හාත්පසින්ම ගිනිගෙන දැවෙන්නේය. ඉදිරියෙන් නිකුත්වන ගිනිදැල් වල්ගය දක්වාම ගිනිගෙන විහිදී යයි. වලිගයෙන් නිකුත් වෙන ගිනිදැල් මුඛය දක්වාම ගිනිගෙන දැවෙයි. හාත්පසම එසේය. ඉතාමත් බැගෑපත් හඬින් එම ප්‍රේතයා කෑගසන්නේය. එම ප්‍රේතයාට එසේ සිදුවීමට හේතු වූ අතීත පුවත දුටු මුගලන් මහරහතන් වහන්සේට, අවබෝධයෙන් හටගත් සිනහවක් පහළ විය. ඒ කුමක් නිසා පහළ කළ සිනාවක්දැයි ලක්ඛණ මහතෙරුන් වහන්සේ ඇසූ විට එම ප්‍රශ්නය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී අසන්නේ යැයි වදාළ සේක. ඒ එම වේලාව පිණ්ඩපාතය වඩිමින් සිටි වේලාව බැවිනි. ලොව්තුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මෙම පැනය නැඟූ විට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද මෙම බියකරු ප්‍රේතයාව බෝධි මූලයේ දී දුටු බව වදාළ සේක. අතීත ප්‍රවෘත්තිය නොදන්නා භික්‍ෂූන් උදෙසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එම අතීත පුවත ගෙනහැර දැක්වූ සේක.
ගෞතම ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෙර මේ විශ්වයෙහි පහළ වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වූයේ කාශ්‍යප ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. කාශ්‍යප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉතාමත් සැදැහැති ගුණවත් සිල්වත් සිටු කෙනෙකු වූයේය. එතුමා නමින් සුමංගල නම් වූයේය. ඉතාමත් සැදැහැති මෙතුමා පොළොවෙහි රන් ගඩොල් අතුරා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මහා විහාරයක් ඉතාමත් අනර්ඝ ලෙස ඉදි කොට පූජා කළේය. රන් රිදී මුතු මැණික් ආදියෙන් නිම වූ එම විහාරයෙහි අගය ගණනය කළ නොහැකි තරම් විය. සුමංගල සිටුතුමා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කිරීමටත් සුවදුක් විමසීමටත් දිනපතා විහාරයට යන්නේය. දිනක් උදෑසන එසේ යමින් සිටියදී නුවර දොරටුව අසල ශාලාවක නිදා සිටි තැනැත්තකු එතුමාට දකින්නට ලැබිණි.
ශාලාවෙහි එළිවන තෙක්ම නිදා සිටි ඔහු රාත්‍රියෙහි සොරකමෙහි යෙදෙන සොරෙකි. කකුල්වල මඩ තවරාගෙන හිසේ සිට පොරවාගෙන ඔහු තවදුරටත් නිදා සිටියේය.
ඒ දුටු සුමංගල සිටුතුමා,
"මොහු රාත්‍රිය පුරා එහෙ මෙහෙ ඇවිදිමින් සිට කකුල්වල මඩ තවරාගෙන නිදා සිටින්නෙකු විය යුතු යැයි කීවේය. එය ද්වේශයෙන් කී දෙයක් නොවේ. නමුත් එය ඇසුණු අසත්පුරුෂ තැනැත්තා සුමංගල සිටුතුමා කෙරෙහි එම කුඩා දෙයින් වෛර බැඳ ගත්තේය. පළිගන්නෙමියි සිතා ගත්තේය.
එසේ වෛර බැඳගත් අසත්පුරුෂ තැනැත්තා සුමංගල සිටුතුමාගේ ඉතා සුවිශාල කුඹුරු යාය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කළේය.
එයින් සුමංගල සිටුතුමාව දුකට පත් කිරීමට උත්සාහ කළ නමුත් එතුමා අනිත්‍ය ස්වභාවය සිහිකළා විනා එයින් දුකට පත් නොවිය.
එයින් නොනැවතුණු ඔහු හත් වතාවක්ම අස්වනු නෙළන්නට තිබියදී ඒ මහා කුඹුරු යාය ගිනි තැබුවේය. එයිනුදු සිටුතුමා දුකට ශෝකයට පත් නොවනු දුටු සොරා ඊළඟ වතාවේ සිටුතුමාගේ ගව පට්ටිය වනසන්නට අධිෂ්ඨාන කරගත්තේය. ගවයින්ගේ කකුල් කපා ගවයින් සියලු දෙනාම මැරෙන්නට හැරියේය. අටලෝ දහමින් කම්පා නොවන සුමංගල සිටුතුමා එහිදී ද කම්පා නොවීය. එයින් නොනැවතී හත් වතාවක්ම සුමංගල සිටුතුමා විසින් ඇති කරගන්නා ලද මහත් ගව සමූහයා මොහු විසින් මරා දමන ලදී. එයින් ද සුමංගල සිටුතුමාට කෝපයක් හෝ ශෝකයක් ඇති කිරීමට නොහැකි විය.
ඊළඟ වතාවේ ඔහු සුමංගල සිටුතුමාගේ සිටුමැදුර වනසන්නට සිතුවේය. අවස්ථා කීපයක් ඉතාමත් සූක්ෂ්ම ලෙස කුමන්ත්‍රණය කළ මේ අසත්පුරුෂ තැනැත්තා වරින්වර හත් වතාවක්ම සුමංගල සිටුතුමාගේ මහා මැදුර ගිනිබත් කරන ලදී. ඒ කිසිදු අවස්ථාවක දී සුමංගල සිටුතුමා ශෝකයට පත් වූයේ නැත. කම්පා නොවීය.
තමන්ගේ පළිගැනීමේ උත්සාහය නැවත නැවතත් අසාර්ථක වන විට, මොහු ඉතා සූක්ෂ්ම අයුරින් සැලසුමක් සකස් කරන්නට විය.සිටුතුමාගේ සේවකයකු සමඟ හිතවත් වූ මොහු සිටුතුමා වඩාත් ප්‍රිය වන්නේ කුමකටදැයි අසා දැනගත්තේය. එහිදී සිටුතුමා වඩා ප්‍රිය කරන්නේ එතුමා විසින් බුදුපියාණන් වහන්සේට සකස් කොට පූජා කළ සුගන්ධ කුටියට යැයි දැනගන්නා ලදී.
අකුසලයෙහි බරපතළකම නොදන්නා වෛරී තැනැත්තා, මේ අකුසල් හේතු කරගෙන අනන්ත සසර බුද්ධාන්තර ගණන් තමන්ට දුක් විඳින්නට පසුතැවෙන්නට සිදුවන බව නොදැන, ලොව්තුරා කාශ්‍යප සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සුගන්ධ කුටියට භාග්‍යවතුන් වහන්සේ නොමැති විටකදී ගිනි තබන ලදී. මුළු විහාරයම ගිනිගෙන ඇවිළෙන්නට විය.මේ පිළිබඳව ආරංචි වූ සුමංගල සිටුතුමා විහාරය ගිනිගෙන දැවෙන තැනට පැමිණියේය. එය අසලම විහාරය ගිනි තැබූ සොරාත් සක්මන් කරමින් සුමංගල සිටුතුමා එන තෙක් බලා සිටියේය. ඒ සුමංගල සිටුතුමා එතනට ඇවිත් විලාප දිදී හඬනවා බලනු සඳහාය. ඔහුට අවශ්‍ය වූයේ සිටුතුමා දුකට පත් කිරීමටයි. සංවේගයට පත් කිරීමටයි. විලාප දෙනවා බලන්නටයි. නමුත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. සිටුතුමා ගිනිගෙන දැවෙන විහාරය දැක සතුටින් සිනාසෙන්නට පටන් ගත්තේය. ඒ දුටු පිරිස ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පිදූ මහා විහාරය ගිනිගෙන දැවෙන විට ඔබතුමා සිනාසෙන්නේ ඇයිදැයි විමසූහ. එවිට සුමංගල සිටුතුමා පවසා සිටියේ, "පින්වත්නි, මා විසින් විහාරය පූජා කිරීමෙන් සිදුකොටගත් පින රජු විසින් ද, සොරුන් විසින් ද, සතුරන් විසින් ද, ගින්නෙන් ද, ජලයෙන් ද විනාශ කළ නොහැකි වුවකි. එය භවයක් භවයක් පාසා සසරපුරා මා සැපයට පත් කරන අනුගාමික නිධානයකි. විහාරය ගිනි තබා විනාශ කළාය කියා ඒ පින අවසන් වන්නේ හෝ වැනසී යන්නේ හෝ නැත. එසේම පින්වත්නි මට තවත් මහා විහාරයක් එපමණම ධනය වැය කොට සකසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පූජා කොට තවත් මහා පිනක් සිදුකරගන්නට මෙයින් අවස්ථාවක් සැලසුණේය. එනිසා මම දුක් නොවෙමි. මට සතුටුය."
මෙයා අසා සිටි පාපී පුද්ගලයාට ඉතා දැඩි කෝපයක් ඇති විය. "මොහුව දුකට පත් කිරීමට නොහැකි නම් මරණයට පත්කළ යුතුය. කිණිස්සක් ගෙන ඇන මොහුව මරා දැමීම පමණි දැන් කළ යුතුව ඇත්තේ. "
එසේ අදිටන් කර ගත් අසත්පුරුෂයා සිටුතුමා මරා දැමීමට කල්යල් බලමින් හුන්නේය. කාලය ගතවෙද්දී සුමංගල සිටුතුමා ඉතාමත් අලංකාර රනින් රිදියෙන් මැණිකෙන් සකස් කළ මහා විහාරයක් සහ සුගන්ධ කුටියක් නිර්මාණය කළේය. එය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට සඟ සතු කොට පූජා කරන දිනය උදාවිය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නයත් ඒ විහාරයට වැඩම කොට සිටි සේක. විහාරයේ පූජා කටයුතු අවසාන වන තෙක්ම කිණිස්සක් හංගා ගත්, පාපී පුද්ගලයා කොයි මොහොතකද සිටුතුමාව ඇන මරන්නේ දැයි සිතමින් බලා සිටියේය.
මේ මහා විහාර පූජාවේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත උදාවිය. එහිදී පළමුවෙන්ම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණු සුමංගල සිටුතුමා මෙසේ කීවේය."ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, යම්කිසි පුරුෂයෙක් සත් වතාවක් මගේ පීදුණු ගොයම ගිනිබත් කලා. එසේම සත් වතාවක් මගේ ගව පට්ටියේ ගවයින්ව කකුල් කපා විනාශ කළා.
ඒ වගේම මාලිගාව සත් වතාවක්ම ගිනිබත් කළා. අවසානයට මා විසින් සම්බුද්ධ ශාසනයට සකසා පූජා කළ විහාර මන්දිරයත් සුගන්ධ කුටියත් ගිනිබත් කොට විනාශ කර දැම්මා. ස්වාමීනී ඒ තැනැත්තා නිසාමයි නැවත වතාවක් මට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මෙවැනි විහාරයක් සුගන්ධ කුටියක් ඉදිකරන්නට හැකියාව භාග්‍ය ලැබුණේ. මේ මහා පින කරගත්තේ ඒ තැනැත්තා නිසයි. ඒ නිසා ස්වාමීනි මෙයින් ලබන යම් කුසලයක් වේ නම් එහි පළමු කොටස ඒ තැනැත්තාටයි මම අනුමෝදන් කරන්න සතුටු."
සිටුතුමා ඝාතනය කරන්නට සිතාගෙන කිණිස්සක් ගෙන සිටි තැනැත්තාට මේ වචන ඇසෙද්දි මහත් කලකිරීමක් තමන් පිළිබඳවම ඇතිවුණි. මෙවන් උතුමෙකුට වෛර බැඳීමෙන් තමන් සිදු කරගත්තේ මහත් පාපයක් බව ඔහුට දැනෙන්නට විය. සමාව නොගතහොත් හෙණයක් හෝ තමන් වෙත පහත් වීමට ඉඩ ඇති බව ඔහුට සිතුණි. එබැවින් සිටුතුමා ඉදිරියේ වැඳ වැටී ඔහු සමාව ඉල්ලා සිටියේය. සමාව කුමකටද සිටුතුමා ඇසීය. එවිට තමා සිදුකළ සියලු දේ ඔහු පැහැදිලි කළේය. කුමන වරදක් නිසා තමාට එසේ සිදු කළේදැයි සිටුතුමා ඇසීය. එදා නිදා සිටියදී කී වචනය නිසා යැයි ඔහු කීයේය. "එසේනම් මම නුඹට සමාව දෙන්නෙමි" සිටුතුමා ඔහුට සමාව දුන්නේය. මෙසේ සමාව දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඔබතුමා අපට සමාව දෙන්නේ නම් මා ඇතුළු පවුල වහලුන් සේ ඔබතුමා ළඟ රඳවා ගන්න යැයි ද ඔහු නැවතත් සිටුතුමාගෙන් ඉල්ලීය. සිටුතුමා එයට කැමති නොවීය.
"පින්වත නිකමට කී වචනයකට ඔබ මෙතරම් කිපුණේ නම්, එකට සිටියදී මොන මොන වචන මාගෙන් කියවේදැයි නොදනිමි. එවිට ප්‍රතිඵල බොහෝ භයානක විය හැකිය. ඒ නිසා ඔබ වෙනම වාසය කරන්න. මමද වෙනම වාසය කරන්නම්." යැයි සිටුතුමා කීයේය.
ඔහු එයින් පිටව ගොස් කාලයාගේ ඇවෑමෙන් අසරණව දුක්ඛිතව මරණයට පත්විය. සිිටුතුමාගෙන් සමාව ගත්තා නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියට ගිනි තැබීමෙන් ද, සත්ව ඝාතනයෙන් ද ඔහු රැස් කළ පව ඉතා බරපතළ බැවින් ඔහු අවීචි මහා නිරයේ උපත ලැබීය.
එහි බුද්ධාන්තරයක් දුක් විඳී ඔහු දැන් අජගර හෙවත් පිඹුරු ප්‍රේතයෙකුව ඉපද සිටින්නේය.
ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පහළ වූවත් ඔහුට ධර්මයෙන් පිහිටක් නොලැබුණි. එසේ වූයේ කුඩා වචනයක් අල්ලාගෙන, කළ යුතු දේ නොකළ යුතු දේ සිතාගත නොහැකිව ඔහු සිදු කළ පාපකර්මයන් නිසාවෙනි.
සමහරු අන්‍යයන් කී කළ දෑ අල්ලාගෙන ජීවිතයම අපායක් කර ගනිති. ගිහි ජීවිත ගත කරන සමහර තැනැත්තන් වෙනකෙකුගෙන් පිටවූ වචනයක් හෝ සිදුවූ සිදුවීමක් අල්ලාගෙන නොයෙකුත් අයුරින් පළිගැනීමට ක්‍රියා කරමින් දෙලොවින්ම පිරිහෙති.
එබැවින් අනුන් කළ කී දෑ පිළිබඳව අප හිතින් ඇලීම් ගැටීම් ඇති කරගත යුතු නැත. නිරතුරුවම සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දිය යුතුව ඇත. ලෝකය පවතින්නේ අපට ඕනෑ විලසින් නොවේ. එය පවතින්නේ, දේවල් සිදුවන්නේ හේතුඵල දහමේ ස්වභාවයට අනුවය.
මේවා මෙසේ සිදුවිය යුතු යැයි, මේවා මෙසේ සිදු නොවිය යුතු යැයි පාලනය කරන්නට අපට පුළුවන්කමක් නැත. එබැවින් කිසිවකට හෝ කිසිදු සංසිද්ධියකට ද්වේශසහගතව හෝ ලෝභසහගතව බැඳී යාමට සිතට ඉඩ නොදිය යුතුය.
ඇලීම් බැඳීම් ජීවිතයට ගෙන එන්නේ දුකක්ම පමණි. සැහැල්ලුවෙන් සංසිඳීමෙන් ලෝකය දෙස බලන්නට පුරුදු වූ විට යථාවබෝධයෙන් ජීවත් වීමට හැකිවෙයි. සුමංගල සිටුතුමාගේ වචනයක් අල්ලාගෙන එහි ගැටීමෙන් බැඳී ද්වේශසහගතව වෛර කරමින් පැමිණි තැනැත්තා මෙලොව වශයෙනුත් පරලොව වශයෙනුත් අප්‍රමාණ පිරිහීමකට පත්වුණි. සුමංගල සිටුතුමා ඊට හාත්පසින්ම වෙනස් ආදර්ශවත් චරිතයකි. තමන් නොදන්නා නොපෙනෙන සතුරෙක් තමන්ගේ බොහෝ දේවල් වනසා දැමුවත් ඒ පිළිබඳව ද්වේශයක් වෛරයක් බැඳීමක් ඇලීමක් ගැටීමක් එතුමා ඇති කරගත්තේ නැත. හැම මොහොතකම සැහැල්ලුවෙන් හා ධර්මානුකූලව ජීවිතය දෙස බැලුවේය. එය අප අපගේ ජීවිතයට එක්කර ගතයුතු උතුම් ආදර්ශයකි. පීඩාකාරී අනවශ්‍ය බැඳීම් පවා එසේමය. පීඩාකාරී නම් හැරදැමිය යුතුය. යමක් අල්ලාගත් විට අත දැවෙන්නේ නම්, දැවෙනවා යැයි එය තදකොට අල්ලාගෙන නොසිටිය යුතුය. වන්නේ තවදුරටත් වඩ වඩාත් පිච්චීමය. දැවීමය. අතහැර දැමිය යුතුය. පිලිස්සුණු අත සුවපත් කරගත යුතුය.
ශෝකී සිතද දහමින් සුවපත් කරගත යුතුය.
එසේ වූ ඔබේ ජීවිතය වඩාත් සැහැල්ලු සැනසීමෙන් පිරුණු සුවබර දිවියක් වනු නොඅනුමානය.
තෙරුවන් සරණයි !
අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය ,
කුඩා කිවුල, කොට්ටුකච්චිය)