විවාහ සංවත්සරයට පලතුරු පිරුණු කේක් එකක්

මාර්තු 24, 2021

 

මෙවර තරුණි කේක් නිර්මාණ පිටුවෙන් ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නෙ පලතුරු පිරුණු රසම රස කේක් නිර්මාණයකි.

මෙය විවාහ සංවත්සරයක් වෙනුවෙන් නිර්මාණය කර තිබුණත් ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනය වෙනුවෙන් සාදා දෙන්නත් හරිම අපූරුයි. හරිම පහසුවන් වැඩි කාලයක් නොගෙන සාදාගත හැකි මේ කේක් නිර්මාණය හැඩකරන්නට අවශ්‍ය වන්නේ වර්ණ කීපයක පලතුරු පමණයි.

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 250 ක් - බටර් ග්‍රෑම් 250 ක්

බිත්තර 5 ක් - පිටි ග්‍රෑම් 225 ක්

චොකලට් පවුඩර් ග්‍රෑම් 50 - 75 අතර

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

ආප්ප සෝඩා තේ හැඳි ½ ක්

වැනිලා ස්වල්පයක්

කිරිපිටි මේස හැන්දක්

මිශ්‍ර පලතුර ජෑම්

 

සාදන ක්‍රමය

පළමුව බඳුනක් ගෙන එයට සීනි හා බටර් දමා හොඳින් බීට් කරන්න. සීනි කැට දියවූ පසු එයට බිත්තර එකින් එක එක්කරන්න.

ඉන්පසු වැනිලා ස්වල්පයක් එකතුකර හොඳින් බීට් කරගන්න.

දැන් පිටි, බේකිං පවුඩර් සහ කිරි පිටි එකට එකතුකර හලාගන්න. පසුව පිටි මිශ්‍රණය ඉහත මිශ්‍රණයට එකතුකර නැවතත් වැනිලා ස්වල්පයක් දමා හොඳින් බීට් කරන්න.

දැන් මෙයට චොකලට් පවුඩර් එකතු කරන්න. ඉන්පසු ආප්ප සෝඩා ටික කෝප්පයකට දමා එය වතුර මේස හැන්දක් එකතුකර හොඳින් දියකරගන්න. පසුව එය කේක් මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.

ආප්ප සෝඩා ස්වල්පයක් දැමීමෙන් කේක් එකෙහි පැහැය වැඩි කරගත හැකිය.

චොකලට් පැහැය ළා වැඩි නම් තවත් චොකලට් පවුඩර් ස්වල්පයක් එකතු කරගන්න. ඉන්පසු වතුර ස්වල්පයක් එකතු කර මෘදු බවක් ලබාගන්න. (ක්‍රීම් එකක් ආකාරයට)

දැන් මෙම මිශ්‍රණය කිලෝ එකක ප්‍රමාණයේ තැටියකට දමා කලින් රත්කර ගත් අවන් එකක සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් මිනිත්තු 45 - 50 අතර කාලයක් බේක් කරගන්න.

 

 කේක් එක බේක් වී ඇත්දැයි බැලීීමට පිරිසුදු ඉරටයක් කේක් එක මැදින් දමා මිශ්‍රණය ඉරටුවෙහි නොඇලෙන්නේ නම් එය හොඳින් බේක් වී ඇත.

මෙලෙසින් බේක් කරගත් චොකලට් කේක් එක වේලෙන්නට තබා පසුව දෙකට පලා ගන්න.

ඒ මත මිශ්‍ර පලතුරු ජෑම් තවරා සැන්ඩ්විච් කරගන්න. දැන් සාමාන්‍ය බටර් අයිසිංවලට චොකලට් පවුඩර් ස්වල්පයක් දමා සාදාගත් අයිසිංවලින් කවර් කරගන්න.

කේක් එක උඩට ඡායාරූපයේ දැක්වෙන පලතුරු හෝ ඔබ කැමැති ආකාරයට වර්ණ කීපයකින් තෝරාගත් පලතුරු කීපයක් තබා හැඩකර ගන්න.

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

තෙයාගි සධනිකා ගමගේ