බිත්තර රහිත රස ගුණ පිරි කේක්

ජූලි 7, 2021

 

මෙවරත් අපි ඔබ වෙනුවෙන් බිත්තර යොදා නොගෙන සාදන ලද රසම රස කේක් එකක් සහ ජෙලි යොදා ගනිමින් සකස්කරන පුඩිමක් මෙලෙසින් ගෙන එන්නෙමු.

 

බිත්තර රහිත කේක් එක

සාදාගැනීම සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 250ක්

පිටි ග්‍රෑම් 250ක්

බටර් ග්‍රෑම් 250ක්

බේකිං පවුචර් තේ හැදි 2ක්

ටින්කිරි කුඩා ටින් 1/2ක්

උණුවතුර මේස හැදි 4ක් පමණ

වැනිලා තේ හැදි 2ක්

 

සාදන ක්‍රමය

පළමුව බඳුනක් ගෙන එයට ටින්කිරි ටින් භාගය දමා එයටම උණුවතුර මේස හැඳි හතර ද දමා දියකර නිවෙන්නට තබන්න. ඉන්පසු සීනි සහ බටර් බඳුනකට දමා බීට් කරගන්න.

එයටම ටින්කිරි මිශ්‍රණය ද දමා බීට් කරන්න. දැන් පිටිවලට බේකිං පවුඩර් එකතුකර තෙවරක් හලාගන්න.

එය ද ඉහත මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරගන්න.

වැනිලා තේ හැදි දෙක ද එකතු කරගන්න. මෙම මිශ්‍රණයේ පදම සාමාන්‍ය කේක් එකක ස්වභාවයට නැතිනම් තවත් ටින්කිරි ටිකක් එකතුකර ගන්න.

එසේම ටින්කිරි දමන නිසා ඔබට කැමැති නම් සීනි ප්‍රමාණය ග්‍රෑම් 200කට අඩුකර ගත හැකිය.

දැන් මෙම මිශ්‍රණය සකස් කරගත් තැටියකට දමා සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 35ක් පමණ බේක් කරගන්න.

*****************************************

ජෙලි සමඟ පලතුරු මිශ්‍ර පුඩිමක්

අවශ්‍ය ද්‍රව්‍ය

ටින්කිරි ටින් 1ක්

වතුර ටින් 1ක්

ඔබට කැමැති වර්ගයකින් ජෙලි පැකට් 1ක්

වියළි පලතුරු හෝ ස්ටු කරගත් පලතුරු

වැනිලා තේ හැන්දක්

 

සාදන ක්‍රමය

 

පළමුව ටින්කිරි ටින්එක සහ වතුර ටින්එක බඳුනකට දමා මිශ්‍රකර ගන්න. එයටම ජෙලි පැකට් එක ද දමන්න. දැන් මේ සියල්ල හොඳින් බීට් කරගන්න. ඉන්පසු බීට් කරගත් මිශ්‍රණය විනිවිද පෙනෙන බඳුනකට දමා ඒ මතට වියළි පලතුරු දමන්න. නැතිනම්

මේ සඳහා හොඳින් ඉදුණු පලතුරු ද භාවිත කළ හැකියි. ඔබ එවැනි පලතුරු යොදා ගන්නේ නම් ස්ටූකර ඉහත මිශ්‍රණයට දමා ශීතකරණයේ තබන්න.

 

 

උපදෙස් -

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

කල්‍යාණි මුණසිංහ